Gossip

“මගේ කකුල් දෙකම ඉස්පිරිතාලෙදි කපලා. මම ඒ සේරම හොඳටම දැන ගත්තේ දවස් හතරක් ගියාට පස්සෙයි.”

මිනිසුන්ගේ ශරීරයේ අවයවයක් අහිමි වූ සැණින් ඔවුන් ඊළඟට රැකියාව වශයෙන් තෝරා ගන්නේ සිඟමන් යැදීමය.
එසේ නොකරන අය සිටී නම් ඒ අතළොස්සකි. ආබාධිත වූ පුද්ගලයන් වෙත අපේ ජන සමාජයේ සෙසු වැසියන්ගෙන් ලැබෙන කාරුණිකභාවය නිසා ආබාධිත බොහෝ දෙනෙක් ඒ කාරුණිකභාවයට පින් සිදු වන්නට ජීවත් වෙති.
නමුත් කෙතරම් ආබාධිත වුවද ස්වෝත්සාහයෙන් මේ මහ පොළොවේ දෙපයින් නැඟී සිටීමට වෙර වීරිය දරන පුද්ගලයෝද අපිට ඉඳ හිට මුණ ගැසේ.
කිලිනොච්චියේ නාච්චිකුඩා ධීවර ගම්මානයේ පදිංචිව සිටින වීරයියා අකිලේන්ද්‍රන් පාරම්පරික ධීවරයකු වුවද ඔහුද ආබාධිතයෙකි.
පාද දෙකම අහිමි වී පූර්ණ ආබාධිතයකු වශයෙන් රෝහල් පොතේ සටහන් කරන ලද නමුත් අද ඔහු ජීවත් වන්නේ පාද දෙකම ඉතා හොඳින් ඇති පුද්ගලයකුටත් වඩා අභිමානයකිනි. අකිලේන්ද්‍රන් අයත් වන්නේ ආබාධිත දෙපා ඇති මිනිසුන්ට වඩා ඉහළින් දෙපයින් නැඟී සිටින අයවලුන්ගේ ගොඩටය.
පාසලේ අටවැනි පන්තිය දක්වා ඉගෙනුම ලැබූ අකිලේන්ද්‍රන්ට අතරමඟදී පාසල් යාම නතර කොට ධීවර රස්සාව තෝරා ගැනීමට සිදුවූයේ ඔහුගේ පියා හෘද රෝගයකින් මිය යාමත් සමඟිනි.
”මම ඉස්කෝලේ යන අතරේ තමයි මගේ තාත්තා නැති වුණේ. මට තේරුණා අම්මටයි නංගිලා දෙන්නටයි ජීවත් වෙන්න විදිහක් නෑ කියලා.
මම ඉස්කෝලේ යන්නේ නැති දවසට තාත්තත් එක්ක මුහුදු ගියා. තාත්තට පුළුවන් වුණේ ඒ රස්සාව විතරයි.
ඉතින් මමත් මුහුදු යන රස්සාව තාත්තගෙන් ඉගෙන ගත්තා. මුලදිනම් මේක පුරුදු වුණේ විනෝදයට වගෙයි. ඒත් තාත්තා මැරුණට පස්සේ මගේ රස්සාව වුණෙත් මේ මාළු අල්ලන රස්සාවම තමයි.
“මම මේ රස්සාව කරලා අම්මවයි නංගිලා දෙන්නවයි ජීවත් කෙරෙව්වා. නංගිලා දෙන්නටම ඉගැන්නුවා.
ඒත් ලොකු නංගී ඉගෙන ගන්න අතරෙම කොටි සංවිධානෙට බැඳුණා. එයා එදයින් පස්සේ අපි කවදාවත් දැක්කේ නෑ.
මේ දුකටමද කොහෙද අම්මත් පපුවේ අමාරුවම හැදිලා අකාලයේ මිය ගියා. මට ඉතුරු වුණේ අනෙත් නංගි විතරයි. එයා මගේ එකම බලාපොරොත්තුව ඉෂ්ට කළා. නංගිට උගන්වලා එයාව හොඳ කෙනකුට කසාද බන්දලා දුන්නා. එයා දැන් හොඳින් ජීවත් වෙනවා.
“යුද්ධ කාලේදි රණ්ඩු වැඩිවෙනකොටම අපි නාච්චිකුඩා ධීවර ගම්මානය අතහැරලා වන්නියට ආවා.
ඒ ගම්මානය අතඇරලා සේරම අය ආවා. ඒක නිසා අපිටත් එන්න වුණා. අපි ධර්මපුරම්වලට තමයි ආවේ. අපි කියලා කිව්වේ මම එතකොට කසාද බැඳලා. ඔහොම ඉන්නකොට 2007 අවුරුද්දේ අපි හිටිය පළාතට කාලතුවක්කු උණ්ඩ වැටුණා. මගේ ළඟම උණ්ඩ දෙකක් පිපිරිලා ගිහින් තියෙනවා.
මම ඒ මොනවත් දන්නේ නෑ. මට මතක ”ඩෝං..” ගාලා මහා හයියෙන් සද්දයක් ඇහුණා විතරයි.”
ඔහුගේ දෑස්වල කඳුළක් නලියනු පෙනේ. ඔහුව ඉන්පසු ධර්මපුරම් රෝහලට ගෙනිහින් තිබුණු බවත් එතැනින් වවුනියාවට මාරු කළ බවත් ඔහු පැවසුවේය.
“කාලතුවක්කු උණ්ඩවලට තුවාල වුණු මගේ කකුල් දෙකටම බරපතළ විදිහට හානි සිද්ධ වෙලා නිසා මගේ කකුල් දෙකම වවුනියාව ඉස්පිරිතාලෙදි කපලා. මම ඒ සේරම හොඳටම දැන ගත්තේ දවස් හතරක් ගියාට පස්සෙයි. අනිත් සේරම මට මතක යාන්තමටයි. මට සනීප වෙන්න මාස තුනක් වගේ ගියා. ඊට පස්සේ අපිට ධර්මපුරම් යන්න බය හිතුණා. නෝනගේ අක්කා කෙනෙක් හිටියා මන්නාරමේ. අපි 2008 අවුරුද්දේ මන්නාරමට ගිහින් එහේ පදිංචි වුණා. එහේදි කරන්න පුළුවන් වුණු රස්සාවත් මාළු අල්ලන එක තමයි. ඒත් මගෙ කකුල් දෙකම නැති නිසා මාව කවුරුවත් මුහුදු එක්ක ගෙන ගියේ නෑ. ඊට පස්සේ මමයි මගේ නෝනයි මාළු වාඩියක මුදලාලි කෙනෙක් ළඟ මාළු තෝරන රස්සාවට ගියා. ඒකෙන් ලොකු ගාණක් නොලැබුණත් අපි දෙන්නට ජීවත් වෙන්න හොයා ගන්න පුළුවන් වුණා.
“මේ මුදලාලිට බෝට්ටු කිහිපයක්ම තියෙනවා. අවුරුද්දක් වගේ අපි දෙන්නා මෙතන මාළු තෝරන රස්සාව කරගෙන යනකොට මුදලාලි අපිට ගොඩාක් හිතවත් වුණා. දවසක් මම මුදලාලිගෙන් එක බෝට්ටුවක් කුලියට ඉල්ලුවා. එයා ඇහුවා ඇයි කියලා. මම කිව්වා මට මුහුදු යන්න කියලා.
‘යකෝ කකුල් දෙකම හොඳට තියන උනුත් මුහුදේ ගිහින් ගිලිලා මැරෙනවා. උඹ හදන්නේ මේ ගෑනිත් අතරමං කරලා මාවත් පොලීසියට අරන් යන්නද? ඔන්න ඔහේ කරන රස්සාව කරගෙන හිටපන්’ කියලා.”
එහෙත් ඔහු තමන්ගේ උත්සාහය අතහැර නැත. හැකි සෑම විටම මුහුදු යෑම සඳහා මුදලාලිගෙන් බෝට්ටුවක් ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස දිනක් මුදලාලි බෝට්ටුවක් දීමට කැමති වී ඇත.
“අපේ නෝනාව එක්කන් ඇවිත් අපි දෙන්නම එකට තියලා මුදලාලි ලොකු දේශනයක් තියලා තමයි මට බෝට්ටුවක් දුන්නේ. මම දෙවියන්ට බාර වෙලා ඒ බෝට්ටුවත් අරන් තවත් යාළුවෙක් එක්ක මුහුදු ගියා. මට වැරදුණේ නෑ, කකුල් දෙකම තියන අය මාළු අල්ලගෙන එන ගානටම මමත් මාළු අල්ලන් ආවා.
“මාළු අල්ලන් අවිත් බෝට්ටුව වැල්ලේ නතර කළාම මගේ බිරිඳ ඇවිත් අනිත් වැඩ සේරම කරනවා. මගෙ යාළුවත් උදව්වට හිටියා. ඉතින් වැඩේ ඒ තරම් අමාරු වුණේ නෑ. මේක මම දිගටම කරගෙන ගියා. මුදලාලිට බෝට්ටුවේ කුලියත් ගෙවලා යාළුවටත් පංගුව දීලා ධීවර සමිතියටත් ගාස්තුව ගෙවලා අපිත් කාලා බීලා හිටියා.”
ඕනෑම හොඳ කාර්යයකදී එහි නරක පැත්තකුත් දක්නට ලැබීම සාමාන්‍ය සිද්ධියකි. අකිලේන්ද්‍රන් විසින් ගොඩනඟාගත් ඒ දෛනික ජීවිතය යළිත් වෙනස් වන්නේ රජයේ යහපත් ක්‍රියාදාමය අකිලෙන්ද්‍රන්ට නොගැළපුණු නිසාවෙනි.
යුද්ධයෙන් උන් හිටි තැන් අහිමි වී ගිය පිරිස යළි ඔවුන් කලින් පදිංචි වී සිටි පළාත්වල පදිංචි කරවීමට රජය ගත් වැපිළිවෙළට අනුව මොහුටද ආපසු මන්නාරම අතහැර දමා නාච්චිකුඩා ධීවර ගම්මානයට පැමිණීමට සිදුවුණි.
වසර ගණනාවකට පසුව යළි පදිංචියට පැමිණි පිරිස වර්ග කෙරිණි. සියලු දෙනාගේම නිවාස අහිමි වී ගොස් ඇති නිසා නාච්චිකුඩා ගම්මානයේ සියලු දෙනාටම සේම අකිලේන්ද්‍රන්ටද නිවසක් ලැබිණි.
අතීතයේදී කරන ලද රස්සා අනුව නාච්චිකුඩා ගම්මානයේ වැසියන් වර්ග කිරීමේදී මුළු ගම්මානයම බෙදුණේ කොටස් දෙකකට පමණි. ඒ කෘෂිකර්මාන්තයේ නිරත අය හා මාළු අල්ලන පිරිස වශයෙනි. මාළු අල්ලන්නට වැසියන් අට දෙනකු තේරෙද්දී වගා කටයුතු ගොඩට වැටුණේ තවත් එක් අයකු හෝ දෙදෙනකු පමණි.
අකිලේන්ද්‍රන් වැටුණේ ධීවරයන් ගොඩට වුවත් අවසානයේදී ධීවරයන්ට ලැබෙන සහන ඔහුට අහිමි වී ගියේය. ඒ ඔහුගේ දෙපා අහිමිකම නිසාය. අවසානයේදී ඔහුට හිමිවූයේ රජයෙන් ආබාධිතයන්ට ලැබෙන විශේෂ කූපනය පමණි. මේ කූපනය සදහා රජයෙන් මසකට ලැබෙන්නේ රුපියල් තුන්දහසක් පමණි.
නාච්චිකුඩා ධීවර ගම්මානයෙන් යුද්ධයට බියේ පිටව ගිය අකිලේන්ද්‍රන්ට එදා සිටියේ බිරිඳ පමණක් වූවත් දැන් පුතකුද සිටියි. පවුලේ බර වැඩිවත්ම මසකට රුපියල් තුන් දහසකින් ජීවත් වීමට නොහැකි බව කිසිවකුත් තෝරා බේරා ගත්තේ නැත. මුහුදු යෑමට කුලියට බෝට්ටුවක් සොයමින් ඔහු මුළු නාච්චිකුඩාවම පීරුවද ඉන් පලක් නොවීය .නැවතත් මේ දෙදෙනා කළේ මාළු තෝරන රස්සාවය.
කාලය මෙසේ ගෙවී යද්දී එවකට උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයාව සිටි පී. ඩැනීස්වරන් මහතාව අකිලේන්ද්‍රන්ට හමු විය. අමාත්‍යවරයාට තමන්ගේ දුක කියා සිටියද අකිලේන්ද්‍රන් ඉල්ලා සිටින බෝට්ටුව ලබා දීමට පවත්නා නීති රීති හමුවේ නොහැකි විය. ඒ අකිලේන්ද්‍රන්ගේ පාද දෙකම නොමැති නිසාය.
නමුත් අමාත්‍යවරයා කැනඩාවේ සිටින ඔහුගේ හිතවතුන් පිරිසකට මේ බව කියා සිටියේය. කටින් කට ගිය මේ ආරංචිය අවසානයේදී කිලිනොච්චියෙන් කැනඩාවට ගොස් සිටින තරුණ පිරිසකට ආරංචි විය. පසුව අකිලේන්ද්‍රන්ට උදවු කිරීමට කිලිනොච්චියෙන් කැනඩාවට ගිය තරුණ පිරිස ඉදිරිපත් වූහ.
ඔවුන් මුදල් එකතු කොට මේ වසරේ නිවාඩුවට පැමිණි තරුණයන් හතර දෙනකු අත රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා මුදලකට අලුත් බෝට්ටුවක්, දැල් ආම්පන්න හා සෙසු ධීවර උපකරණ පමණක් නොව නිවසට අවශ්‍ය කළමනාද ලැබිණි.
බලාපොරොත්තු සුන්ව සිටි අකිලේන්ද්‍රන්ටත් ඔහුගේ පවුලේ උදවියටත් නැවතත් ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් ඇති විය. මෙවර අකිලේන්ද්‍රන් යළිත් දෙපයින් සිටගෙන ඔහුගේ ජීවිතය ජය ගන්නවාට කිසිදු සැකයක් නොමැත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!