Gossip

දෙයියනේ එක දරුවෙක් මදිවට තවත් දරුවෙක්, මට කාගේ පිහිටද? මං මේ දරුවව මරලා දානවා, ඒ බරින් නිදහස් වෙනවා

ලෝකයේ පැවැත්ම අනුව ඇතැම් විට අරුම පුදුම දේ මවාපායි.
මනුෂ්‍යත්වය උරුම කර දුන්නද ඇතැම් විට එහි කිනම් හෝ අඩුවක් මවන්නට කටයුතු කරයි.
රූපය, ධනය, බලය නොඅඩුව ලබා දුන්නත් දිළිඳුකම කරපින්නාගෙන උපත ලැබීමත් එවැන්නකි.
අත පය හරි අගේට තිබුණත් අඳ ගොළු බිහිරි ජීවිතයක් උරුම කර දෙන්නටද පසුබට නොවේ.
තමන්ගේ උරුම කරුමවලට සාපේක්ෂව සියල්ල ලොව පවතිනු ඇත.
මේ කතාවද එවන් සංවේදී කතාවකි.
ඇය ඒ වන විට ජීවත් වුයේ මහනුවර තලාතුඹය ප්‍රදේශයේය.
දිළිඳුකමේ පාපය කරපින්නාගෙන දුප්පත් පවුලක උපන් වාසනා උපතින්ම ගොළු දැරියක වූවාය.
දුප්පත්කමේ ශාපය විඳිමින්ම ජීවිතයට මුහුණ දුන් ඇයට දිළිඳුකමත් තම ආබාධිත බවත් හේතුවෙන්ම ප්‍රමාණවත් අධ්‍යාපනයක් පවා ලබාගැනීමට බාධා එල්ල විය.
එහෙත් ගැහැනියකට උරුම රූපකායත් බාහිර පෙනුමත් නිසාම ඇයට විවාහවීමට භාග්‍යක් උදා වුයේය.
වාසනා විවාහ වූයේ ද ඇය වැනිම ආබාධිත ගොළු තරුණයකු සමඟය.
අනෙක් සෑම යුවතියක සේම ඇය ද පතිකුලයට පිවිසියේ ජීවිතයේ සොඳුරු කඩඉමට පය ඔසවන අතෙර්ය.
කාලය ගෙවී ගියේය. දින සති මාස ගණන් ගත වී වසරක් දෙකක් ගෙවී ගියේ නොදැනීමය.
එහෙත් ඇය පැතූ ලෝකය එහි නොවීය.
දිළිඳු කමත් නොදන්නා කමත් නිසාවෙන් මේ අහිංසක ලෝකය තුළද නිරන්තරයෙන්ම ගැටුම් ඇති විය.
සැමියා ද සැර පරුෂ ගති පෑවේය. ඒ ලෝකයේ හුදකලාවම ඇය සුසුම් හෙළුවාය.
ඒ පවුල් දිවිය එතරම් සතුටුදායක එකක් නොවීය. ටික දිනක් ගතවන විට ජීවිතය නීරස කටුක එකක් වීම ඇයට දුකක් ගෙන දුන්නේය.
වාසනා ගැබිණියක වූයේ ඔය අතරය. දුක් කරදර අගහිඟකම් ඉවසා දරමින් ඇය දරුවකු ප්‍රසුත කරන්නේ ඉන් පසුවය.
ඇය බිහිකළ දරුවා හුරුබුහුටු ලස්සන සිඟිත්තියකි.
දරුවකු බිහිකරමින් මවක් වූ ඇයට හරිහැටි කෑමක් බීමක් පවා නොතිබුණ ද දරුවා ලොකු මහත් කර ගැනීමට ඇය බොහෝ දුක් වින්දාය.
ගොවිතැන් වැඩ කරමින් දවසේ වියදම සොයාගත් සැමියාට තම දරු පවුල ගැන එතරම් තැකීමක් නොවීය.
ඇතැම් විට ගෙදර වියදමට හෝ දරුවාගේ වියදමට අමතර මුදලක් පවා ඔහුගෙන් ඉල්ලුවද ඇයට ලැබුණේ ඔහුගෙන් කුරිරුකම්ය.
කෙලෙස හෝ ඇය දරුවා සමඟ නොමැරී ජිවත් වුවාය.
කාලය ගෙවී ගියේ කිසිවක් සිතන්නට පවා ඉඩ නොතබාය. වාසනා දෙවැනි වරටද ගැබ්බර වුවාය. ඇය ඒ බව දැනගත් විට දුක්වුවා මිස සතුටු වුයේ නැත.
“දෙයියනේ එක දරුවෙක් මදිවට තවත් දරුවෙක්. මට කාගේ පිහිටද? මං කොහොමද උන්ගේ බඩගින්නවත් මකන්නේ. මේ මිනිහා අපට සලකන්නෙ නැහැ.”
ඇය මුවින් කියන්නට බැරි දහසක් දේ කඳුළින් සුසුමින් සෝදා හැරියාය.
ඇය සිතුවා නිවැරැදිය. ගැබ්බර වාසනාත් සිඟිති දරුවාත් අතහැර දමා ඇගේ ගොළු සැමියා යන්නට ගියේ අකාරුණික මිනිසකු ලෙසය.
මෝරා එන දරු ගැබ දරාගෙන දරුවාද කරපින්නාගෙන ඇය පාරට බැස්සාය.
වාසනාට සිදු වූ මේ අවනඩුව ඇගේ බාල සොයුරියට සැලවුයේ ඉන්පසුවය. සොයුරිය ද විවාහකය.
ඇයට ද ඒ හැටි යමක් කමක් තිබුණේ නැත. මහපාරට වැටුණු තම සොයුරියත් දරුවාත් නූපන් දරුවාත් වෙනුවෙන් ඇය වේදනාවට පත් වුවාය. තමන්ටය කියා දරු පවුලක් ඇතත් තවත් දරු පවුලක් බාර ගන්නට හැකියාවක් ඇයට තිබුණේ නැත.
දිළිඳු බව සියල්ල පරයා නැගී සිටියේය. එහෙත් එක කුසේ උපන් තම ආබාධිත සොයුරියට පිහිට වීමට තරම් ඇගේ සොයුරු පෙම උත්තරීතර එකක් විය. තම නිවෙසට පය තැබූ සොයුරියට ඇය තියෙන හැටියකට නවාතැන් දුන්නාය.
“නංගියේ ආපහු යන්න එපා. ගිය මිනිහා ගැන හොයන්නත් එපා. ඒකා හරි හමන් මිනිහෙක් නම් උඹලව දාලා යයි ද? තියෙන හැටියකට මෙහෙට වෙලා ඉඳිල්ලා.”
නෙත් අගින් කඳුළු වෑහෙන වාසනාගේ සිත සනසවමින් ඇය කීවාය. ගැබ්බර අක්කාගේ සියලු ඇප උපස්ථාන කරමින් නංගී වාසනාව රැකබලා ගන්නේ මවක මෙනි.
නංගීට ද යුග දිවියක් තිබුණි. ඇය විවාහවී සිටියේ යුද හමුදාවේ සේවය කළ අයකු සම ඟය.
දුර පළාතක සේවය කළ ඔහු නිවෙසට ආවේ මසකට වරකි.
ඒ නිසාම එක අතකින් වාසනාගේ පැමිණීම ඇයට ද තනි නොතනියට මහත් උපකාරයක් වන බවට සිතෙන්නට ඇත.
එනිසාම අක්කාගේ පැමිණීම ඇයට සැනසීමක් ගෙන දුන්නේය. අක්කාගේ වැඩිමහල් දරුවා ද පුංචි අම්මාට හොඳ හැටි එකතුය.
එලෙසම ඇයද දරුවාට ආදෙර්ය. කාලයක් මෙලෙස ගෙවී ගියේය. නංගීගේ ඇප උපස්ථාන විඳින අතරේම වාසනා දෙවැනි වරටද දරු සිඟිත්තියක මෙලොවට බිහි කළාය. වැදුම්ගෙයි සියලු වියහියදම් දැරුවේ නංගි විසින්ය.
දරුවකුට කිරිදෙන මවක ලෙස අක්කාට අවැසි සියලු දේ නොපමාවම නංගි විසින් සපයා දෙනු ලැබීය. මේ සියල්ල හදවතින්ම ඉටු කර දුන්නත් නංගීගේ පවුලට ද එතරම් ශක්තිමත් ආර්ථිකයක් නොතිබුණු බවද සැබෑය.
ආබාධිත වුවත් හොඳ සිහිකල්පනාවෙන් යුතුව ඇය මේ සියල්ල දැන සිටියාය.
“මගේ පව්වලට නංගිත් දුක් විඳිනවා. මට ඒක දරාගෙන ඉන්න බැහැ. දරු දෙන්නෙක්ගෙ බර එයාටත් දරන්න බැහැ. කියලා මං දන්නවා”
ඇය නිතර දෙවේල්ම ඒ ගැන දුක් වුවාය. පුංචි එවුන් හැම තිස්සෙම අසනීපවන්නට විය. ඒවාට බෙහෙත් හේත් ගැනීමට වියහියදම් දැරුවේද නැගණිය විසින්මය.
“සතේක ආදායමක් නැති මං මොනව කරන්නද නංගිියෙ. උඹ මට අම්මා කෙනෙක් වාගේ මේ කරන හරිය හොඳටෝම ඇති.”
ඇය දැඩි සිත් වේදනාවටපත් වුවාය.
එහෙත් ජීවිතයට වෙන හවුහරණක් නැත. ඇත්තේ ඇයගේම පිහිට පමණකි. ඇය නිතර දෙවේලේ සිතුවේ මේ කරදරයෙන් ඇයට සහනයක් දෙන විසඳුමක් ගැනය. දරු දෙදෙනකු ද සමඟ තමාද නඩත්තු කිරීමට තම නැගැණියට සිදුවීම ගැන ඇය රෑ දහවල් දුක් වුවාය.
එයට විසඳුමක් සොයන හැටි ද ඇය කල්පනා කළාය. සිතේ උපන් දහසක් සිතිවිලි අතර ඇය අතරමං වුවාය. ඒ අතරේ උපන් දරුණු සාහසික සිතිවිල්ලක් ඇගේ සිතිවිලි ඉදිරියේ බලවත්ව නැඟී සිටියේය. 26 හැවිරිදි ළාබාල වියේ පසු වූ ඇය මෙතරම් කුරීරු බිහිසුණු තීරණයක් ගනු ඇතැයි කිසිවකු සිතන්නට නැත. දින එකොළහක් වයසැති හිරිමල් බිළිඳු සිඟිත්තිය දෙස ඇය බොහෝ වේලාවක් බලා සිටියාය. ඒ රෝස පාට තොල්පෙති අතර කිරිබිඳු තැවරී තිබෙනු ඇය දුටුවාය. තවමත් හරි හැටි දෙනෙත් හැර ලෝකය දෙස නොබැලු ඇය, සුරඟන සිහින දකිමින් උණුසුම තුළ දැවටී සිටියේ තවත් මොහොතකින් මෙලොවින් තුරන්ව තවත් ලොවකට යන්නට සැරසීගෙනය. ඇය රුදුරු තීරණයකට එළඹුණාය.
“මං මේ දරුවව මරලා දානවා. ඒ බරින් නිදහස් වෙනවා.”
ඇය සිතන්නට ඇත.
නංගිගේ නිවෙසෙහි කාසි දමා තිබුණු “පෙංෂුයි” පෙට්ටියක් ඇගේ ඇස ගැටුණේ අහම්බෙනි.
එවිට ඇගේ සිතට ආවේ පුදුම සිතිවිල්ලකි. පෙට්ටියේ නොයෙක් වර්ගයේ කාසි පිරී තිබුණි.
වටපිට බලා සුදුසු වේලාවක් සොයාගත් ඇය ඉන් එක් කාසියක් අතට ගත්තේ ගැහෙන හදවතින් යුතුවය. ආයේ දෙවරක් නොසිතාම ඇය කාසිය දරුවාගේ මුව තුළට දමා උගුරටම තල්ලු කළාය.
ලෝකය ගැන හසරක් නොදත් මොළ කැටි සිඟිත්තිය මඳක් තිගැස්සී තදින් හුස්ම ගැනීමට වෙර දැරුවේ තමාට මේ අපරාධය කළේ ලේ කිරි කර පෙවු අම්මා බව නොදැනය.
ළපටි මුවේ හා නාස්පුඩුවලින් රුධිරය ගලා එන්නට විය. නාසයෙන් කටින් ලේ පෙරමින් දැඩි වේදනාවකින් ආයාසයකින් දඟලන කිරිසප්පයා දෙස දෙනෙත් යොමා සිටි ඇයට දරු දුකක් දැනුණෙන් ඇයගේ ළමැද පුරා කිරිබිඳු ගලා ගියාය.
එහෙත් ජීවිතය විසින් ඇගේ හදවත උතුරා තිබු දරු කැක්කුම මඳකට උදුරා දමා තිබුණි.
නාසයෙන් කටින් ලේ ගලමින් දරුවා දඟලමින් සිටිනු ඇයට පෙනේ. දරුදුක වියළී ගල් වූ ඇගේ හදවත හැඟීමකින් තොරව ගල් ගැසී තිබුණා සේය. ඇගේ ඉලක්කය වෙත යාම ඇයට එයට වඩා දැඩිය.
ඇගේ නැගණිය දරුවා වෙත දිව එද්දී ලේ ගලමින් දඟලන බිළිඳිය දුටුවාය.
දරු දුකින් උණු වූ හදවත ආයේමත් වැහිරී කඩා වැටුණේ මොහොතක් ගතව යද්දීය. දරුවා රැගෙන මාරස්සන රෝහළ වෙත දිව ගියේ ද මේ අම්මාමය. මවගේ පැතුම ඉටුකරදෙමින් බිළිඳිය මරු වැළඳගෙන යන්නට ගියාය.
එහෙත් ඇය සිතූ තරම් ලෙහෙසි පහසුවෙන් සියල්ල අවසන් වුයේ නැත.
සොයා ගැනීමට නොහැකි රෝගී තත්ත්වයකින් මියගිය බිළිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුවෙද්දී හෙළි වුයේ බිහිසුණු අපරාධයක සුලමුලය. මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් දේහය කපා බලා තහවුුරු කළේ දරුවාගේ උගුරෙහි කාසියක් සිර වී ඇති බවය.
කාසිය සිර වු නිසා දරුවාට හුස්ම ගැනීම අවහිර වී දරුවා මියගොස් ඇති බවට හෙළි විය. කාසිය ද සොයාගනු ලැබු අතර, පරීක්ෂාකර බැලීමේදී එය කුටේව් රටේ කාසියක් බවට හඳුනාගන්නා ලදී. මෙහිදී කාටත් තිබු ගැටලුව වුයේ දින එකොළහක් වයසැති කිරිසප්පයකුට කාසියක් සිරවුයේ කෙසේ ද යන්නය. එවැනි දරුවකුට තනිවම කාසියක් අතට අල්වා ගැනීමට හෝ මුවට දමා ගැනීමට හැකියාවක් නැත. එසේ නම් කිසිවකු විසින් එය මුවට දමන්නට ඇති බවය.
මේ අනුව සැක පහළ කළ පොලිසිය ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කළේය.
ඒ අනුව මවගෙන් ද තොරතුරු ලබාගත යුතුවිය. ගොළු කතක් වූ නිසා ගොළු භාෂාව සම්බන්ධයෙන් විශේෂඥ පරිවර්තිකාවකගේ උපකාරය ලබාගැනීමට පොලිසිය තීරණය කළේය.
ගොළු භාෂාවෙන් සැකකාර මවගෙන් ප්‍රශ්න කෙරිණි. ඒ අනුව ප්‍රශ්න කිරීම් හමුවේ මේ අපරාධය කළේ ඇය විසින් බව ඇයට පිළගත්තාය.
ජීවිතයේ ඇය මෙතෙක් ආ ඉරණම් ගමන කෙළවර වන්නේ බන්ධනාගාරයෙනි.
තම කුසින් වැදු බිළිඳාට මෙලෙස කුරීරු අමානුෂික ලෙසට වේදනාකාරී මරණයක් අත්කර දීමේ වරදට අත්අඩංගුවට පත්වන 26 හැවිරිදි වාසනා සමන් කුමාරි නම් ගොළු කාන්තාව පොලිස් භාරයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතවන්නේ ඒ පාපයද කරපින්නාගෙනය. මහනුවර මහේස්ත්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇය රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි.
දෛවයේ සරදමට ඇය ගොළු වී ඉපදුණාය. දරු දෙදෙනකු උරුම කළත් සැමියා අකාරුණික ලෙස ඇයව අතැර ගියේය. සුවහසක් දුක් කම්කටොළු හමුවේ දැරිය නොහැකි දුප්පත්කම අතරේ කිමිදී ගිය ඇය අවසානයේ මෙතරම් රුදුරු අපරාධයක හිමිකාරිය වුයේ ඉන් අත් වු පීඩනය පුපුරා ගිය මොහොතකය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!