Gossip

“කරන්නම දෙයක් නැති තැන මම බිම තිබුණු වල් පඳුරු ටිකක් උගුල්ලලා ඌට දමලා ගැහුවා” – ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චිට ප්‍රහාරයක්

ජාතික තරුණ සේවා සභාව හරහා ගායකයෙක් වෙන්න කලින් මම ජීවිතේ ගැටගහන්න අනන්ත අප්‍රමාණ දුෂ්කරතා විඳපු බව අද මුළු රටටම රහසක් නෙමෙයි.
මොකද මීට කලින් මාධ්‍යය හරහා මම ඒ ගැන කිහිපවතාවක්ම කියලා තියෙනවා. කීයක් හරි හොයාගන්න ප්ලාස්ටික් බඩු වෙළෙඳාම, මේසන් වැඩ, වඩු වැඩ ආදී මෙකී නොකී බොහෝ රැකියාවල් ඒ කා‍ලේ මම කළා.
ඒ නිසාම කය වෙහෙසලා වැඩ කරන එක අදටත් මට වෙහෙසකර කටයුත්තක් නෙවෙයි. ඒක මට තෘප්තියක්.
ඒ ගැන චන්ද්‍රසේන මේ විදිහට සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා.

ජාතික තරුණ සේවා සභාවේ “යොවුන් ගී” කණ්ඩායමට ඇතුළත් වුණාට පස්සේ මම මුලින්ම බටංගල පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබලා ඊට පස්සේ නුගලියද්දේ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයට ගියා.
එතැන හරිම සුන්දර තැනක්. කඳු මුදුනක තමයි ඒ ආයතනය පිහිටලා තිබුණේ. ඔය කා‍ලේ තරුණ සේවා සභාවේ ඉගෙන ගන්න අපට කෘෂිකර්ම පුහුණුවකුත් ලැබුණා.
මම සංගීත පුහුණුවෙන් පසු ලැබෙන විවේක කාලය ඔය කෘෂිකර්ම පුහුණුව වෙනුවෙන් දැඩි ලෙස යෙදෙව්වා.
මුලිනුත් මම කිව්වානේ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය හරිම ලස්සන තැනක් කියලා. එතැන වගාවටත් ඉතාම හොඳ පසුබිමක් තිබුණා.
ඒ නිසා ඒ කා‍ලේ මම මගේ විවේක කාලය යෙදෙව්වේ කය වෙහෙසලා වැඩකරන්නයි. ඒක මට හරිම තෘප්තිමත් අත්දැකීමක්. ඒ නිසා පාන්දරින් නැගිටලා එළවළු කොටුවට ගිහින් වැඩ පටන් ගන්න එක මට සුවදායී හැඟීමෙන් දවස පටන් ගන්න හුඟක් ප්‍රයෝජනවත් වුණා.
ඒ දවස්වල අපේ සංගීත කණ්ඩායමේ හිටියේ සෝමසිරි මැදගෙදර, චන්ද්‍ර‍ලේඛා පෙරේරා, තේජා දමයන්ති, ධම්මිකා කරුණාරත්න වගේ අය. හැමෝම හරිම එකමුතුවෙන් තමයි කාලය ගතකළේ. ඔවුනුත් මගේ වගා වැඩවලට උපරිම සහයෝගය ලබාදුන්නා.
මගේ අත් ගුණය හොඳයි කියන එක හැමෝම පාහේ කියන දෙයක්. මොකද මම හිටවන පැළ බොහෝම සරුවට වැඩෙනවා. සරුවට ඵලදාව වැඩෙද්දී ඒ එළවළු අපි අපේ කෑම වේලට එකතු කරගත්තා. ඒ කා‍ලේ අපි නිවාඩුවට ගෙවල්වලට ගියේ අපිම වවපු එළවළුත් අරගෙනයි.
වගාවක් කරගෙන යද්දී විවිධ සතුන්ගෙන් ඊට හානිවෙනවානේ. සරුවට වැඩුණු මගේ වගාබිමට සර්පයෝත් ආවා.
ඒ නිසා මගේ යාළුවෝ එළවළු කොටුවට ඇවිත් මගේ වැඩවලට උදව් කළේ ටිකක් බයෙන්. ඒ විතරක් නෙමෙයි ඌරන්ගෙනුත් වගාවට නොයෙකුත් හානි පැමිණුනා. ඔය අතරේ එක දවසක් හරි අමුතු සිදුවීමක් වුණා. අදටත් ඒ සිද්ධිය මතක් වෙද්දී මගේ ඇඟපත සීතල වෙලා යනවා.
බෙල්වුඩ් එක තිබුණේ නුගලියද්දේ. ඒ කා‍ලේ මම එළවළු ඇට මිලදී ගන්න තලාතුඔයට යනවා.
ඒ ඇවිත් ආපහු යන්නේ බස් එකෙන්. බෙල්වුඩ් එකේ ඉඳලා බස් නැවතුමට ටිකක් දුරයි. දෙපසින්ම උස ගස් තියෙන පටු පාරක තමයි ඒ ගමන යන්න තියෙන්නේ. ඉතින් ඔන්න මම එදා උදේවරුවේ සුපුරුදු පරිදි මගේ සංගීත කටයුතු කරලා හවස දෙකට විතර පිටත්වෙලා ගියා.
ඒ ගිහින් තලාතුඔයට ඇවිත් එළවළු ඇටත් අරගෙන ආපහු එන්න සූදානම් වුණා. ඔය වෙද්දී “තවලම”, “සීත කඳු යායේ” වගේ ගීත ගායනා කරලා මට තරමක ජනප්‍රියත්වයකුත් ලැබිලයි තිබුණේ. ඒ හින්දම මගතොටදී හමුවෙන ගොඩාක් අය මාව දන්නවා. තලාතුඔය ප්‍රදේශයේ මම දන්නා කියන යාළු මිත්‍රයොත් හුඟක් ඉන්නවා.
එදා ආපහු යද්දීත් ඒ කිහිපදෙනෙක් පාරෙදී මුණගැහිලා මා එක්ක කතාවට වැටුණා. කතාවෙන් කතාවෙන් දන්නෙම නැතිව කාලය ගෙවිලා ගියා. යාන්තම් අන්තිම බස් එකේ නැගලා මම ආයෙමත් එන්න පිටත් වුණා.
බෙල්වුඩ් එකට යන පාර ළඟින් මම බහිනකොට කළුවර වැටිලා. මම අඳුර අතරින් එන්න පිටත් වුණා. කඳු මුදුණේ බෙල්වුඩ් එක පෙනෙනවා.
හැබැයි දෙපැත්තේ උස ගස් මැදින් පාර නම් අඳුරුයි. මම එළවළු ඇට මල්ලත් අරගෙන ඒ අඳුරු පාර දිගේ එන්න පටන් ගත්තා. ඔය වෙලාවේ මට පේනවා කළුපාට ගුලියක් ඈතින් පහළට එනවා. මමත් බොහෝ උනන්දුවෙන් ඒ දිහා බැලුවා. බැලින්නම් කැලෑව දිගේ ඒ එන්නේ ඌරෙක්. මම එහෙමම බිම වැටුණා.
දැන් ඔන්න අර ඌරු තඩියා මට අනින්න දුවගෙන එනවා. කරන්නම දෙයක් නැති තැන මම බිම තිබුණු වල් පඳුරු ටිකක් උගුල්ලලා ඌට දමලා ගැහුවා. මගේ ඉස්සරහට ආපු ඌරා මාව පහු කරගෙන යන්න ගියාට පස්සෙයි යාන්තම් මගේ හිතට සැනසිල්ලක් දැණුනේ. ඌරගේ කරදරයෙන් බේරිලා මම අඩියට දෙකට වාගේ එන්න පිටත් වුණා. එහෙම ටිකක් දුර ඇවිල්ලා නිකමට වගේ මම ආපහු හැරිලා බැලුවා. ඒ වෙලාවේ ආයෙමත් මගේ ඇඟපත සීතල වෙලා ගියේ අර ඌරා මා පසුපස පන්නාගෙන එනවා දැකපු නිසයි.
මම උඩ බැලුවා. කඳු මුදුනේ බෙල්වුඩ් එක පේනවා. ඌරා එන්න කලින් මට එතැනට දුවලා යන්න පුළුවන් කියන විශ්වාසය මගේ හිතට ආවා.
ඒක තනිකරම කඳු පාරක්. මම මගේ මුළු වීරියම යොදලා දුවන්න පටන් ගත්තා. දුවලා දුවලා ගිහින් මම නැවතුණේ බෙල්වුඩ් එකේ. සෝමසිරි, චන්ද්‍ර‍ලේඛා, තේජා, ධම්මිකා ඇතුළු අපේ කට්ටිය හැමෝම ඒ වෙලාවේ මාව වටකරගත්තා. ඒ වෙද්දී මම හිටියේ දාඩියෙන් නෑවිලා. කොහොම හරි යාළුවෝ අතරට ගියාට පස්සේ තමයි මගේ හිතේ තිබුණ බය සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියේ.

උපුටා ගැනීම – ලක්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!