Gossip

“දරුවා බඩේ බැඳගෙන ගහේ යටි කැපුම කපනවා. කරේ එල්ලගෙන ගහේ උඩ කැපුම කපනවා. දුප්පත්කම නිසා හරියට දුක් වින්දා” – ටැක්සියෙන් ජීවිතය දිනූ දිනූෂා

ජීවිතේ අන්ත අසරණ විදිහට දුප්පත්කම ඉදිරියේ හඬා වැටෙනවිට , අපි වැනි රටවල කාන්තාවන් හිතන්නේ, උහුලගන්න බැරි ආර්ථික ප්‍රශ්නවලට එක ම විසැඳුම මැදපෙරදිග රැකියාවකට යන එක කියා ය.
ඒකද එක ම විසැඳුම? ඒක නිවැරැදි විසැඳුමක්ද? මැදපෙරදිග රැකියාවකට ගියාම තමන්ගෙ පවුලෙන්, දරුවන්ගෙන්, උපන් බිමෙන් ඈත්වෙලා කොයිතරම් නම් දහදුකක් විඳින්න වෙනවද?
එහෙම දුක් විඳගෙන හරිහම්බ කරලා එවන මුදල්, සමහර වෙලාවට සැමියා, නැත්තම් පවුලේ වෙනත් කවුරුන් හෝ සුරාවට සූදුවට නාස්ති කරලා දාන්නෙත් කිසි ම හිතක් පපුවක් නැති ගාණට ය. ඒ වගේ ම මැදපෙරදිග රැකියාවලට යන අපේ කාන්තාවන්ට විඳින්න වෙන අඩම්තේට්ටම්?
සමහර වෙලාවට නැවත ලංකාවට ආවට පස්සෙවත් සැනසීමෙන් ගෙවන්න පුළුවන් විදිහෙ ජීවිතයක් ඒ අයට ඉතිරි වන්නේ නැත.
මේ හැමදේ ම ගැන කල්පනා කළ දිනූෂා දමයන්ති, දුප්පත්කම අකාමකා දැමීමට ඊට වැඩිය වෙනස් වගේ ම සාර්ථක විකල්පයක් හොයා ගත්තා ය.
ඊරියගල්ලෙ පදිංචි ඇය, ප්‍රසිද්ධ කැබ්රථ සේවයක කාන්තා රියැදුරුවරියක් විදිහට සේවය කරන්න තීරණය කළාය.
ඇගේ දුක්බර ජීවිත කතාවට අස්වැසිල්ලක් ලැබෙන්නේ ඒ තීරණයත් සමඟ ය.
“මමයි , දුවයි විතරයි ගෙදර ඉන්නෙ. දුප්පත් නිසා අපි ඉස්සර හරියට දුක් වින්දා.
කඩේකින් පහේ ටිකක්වත් ණයට දුන්නෙ නෑ . මං මුලදි කුලී වැඩ කළා. රබර් ගස්වල කිරි කැපුවා. දරුවා බඩේ බැඳගෙන ගහේ යටි කැපුම කපනවා.
කරේ එල්ලගෙන ගහේ උඩ කැපුම කපනවා. මැසිමදුරුවන්ගෙන් දරුවා පරෙස්සම් කරගෙන, කුලී වැඩ කරන්න ඒ දවස්වල දහදුක් වින්දා.
ජීවිතේ ප්‍රශ්න, කරදර දරාගෙන ඉන්න බැරි තැන බෝධි පූජාවක් තියලා,ගමේ පන්සලේ හාමුදුරුවන් මුණගැහිලා , ” මං ගොඩක් දුර ඉගෙනගෙන නෑ. ඩ්‍රයිවින් කරන්න කැමැතියි. වාහනයක් හයර් කරන්න කැමැති වුණත් කවුරුත් වාහනයක් කුලියට දෙන්නෙ නෑ.
හුරුවෙන්න විදිහකුත් නෑ “කියලා උන්වහන්සේට කිව්වා. පස්සෙ හාමුදුරුවන්ගෙ ම මල්ලි කෙනෙක් මට රිය පැදවීමට ඉගැන්නුවා. පස්සෙ ලර්නස් ගිහින් රියැදුරු බලපත්‍රය ගත්තා. ලොකු නෝනලා කාර්වලින් යනකොට මං හරි කැමැත්තෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා.
කොහොම හරි ලයිසන් අරන් හාමුදුරුවන්ගෙම නංගි කෙනෙක්ගෙ ත්‍රීවිලර් එකක් හයර් කරන්න ගත්තා.
දවසකට රුපියල් 300යි ඉල්ලුවේ. ඒකත් පස්සෙන් එළෙව්වෙ නෑ. ඒ වුණත් හන්දියේ පාර්ක් එකේ ත්‍රීවිල් එක ගහගෙන ඉන්නකොට මට නොයෙක් ප්‍රශ්න ආවා.
ත්‍රීවිලර් එක දාන්න දෙන්නෙ නෑ. මගේ ත්‍රීවිලර් එකේ හයර් යන කෙනෙක් එක්ක අනිත් අය හදිස්සියකටවත් හයර් යන්නෙ නෑ .
එතැනදි හරියට අසරණ වුණා. ඒත් මං අතෑරියෙ නෑ. ඒ දවස්වල මං පාරක් තොටක් හරියට දන්නෙ නෑ. ගමෙන් එළියට වැඩිය ඇවිල්ලත් නෑ. එක දවසක් මං කළුබෝවිල රෝහලට හයර් එකක් ආවා. ඒක තමයි ගමේ ඉඳලා ආව දුරම හයර් එක . ඒ ආවම මං දැක්කා කැබ් සර්විස් එකකට අයිති වාහනයක් එහෙට මෙහෙට යනවා. ඒ
කෙ හිටියෙ හරි හොඳ මුස්ලිම් මල්ලි කෙනෙක්. මං එයා එක්ක කතාවට වැටිලා, මං හරි දුප්පත්, අසරණයි, ඒත් මට නැගිටින්න ඕනකම තියෙනවා, මං අනුන්ගෙ වාහනයක් එළවන්නෙ කියලා ඔහුට කිව්වා. මට කැබ් සර්විස් එකට සම්බන්ධ වෙන්න මඟ පෙන්නුවෙ අවසානයේදී ඒ මල්ලි.
මම ආයතනයට ඇවිත් මුලින්ම ඇහුවෙ, ආරක්ෂාව කොහොමද කියලයි. ඒ ආයතනය තාක්ෂණයත් එක්ක බැඳිලා තිබුණ නිසා, ඩිවයිස් එකක් හරහා මම යන එන තැන එයාලට පේනවා. කස්ටමර්ස්ලව නග්ග ගන්න තැන, බහින තැන පේනවා. කාත් එක්කද මං හයර් එක ගියේ කියලා ආයතනය දන්නවා . මං ආයතනය ගැන පැහැදුණා. හොඳ පුහුණුවකුත් එක්ක මට රැස්කියාව ලැබුණා.
ගමේ හන්දියේ ත්‍රීවිලර් එක හයර් කළ කාලෙත් හොඳ ආදායමක් ලැබුවා. අපි එක්ක හයර් යන අයත් කියන්නෙ, ජීවත් වෙන්න සමහරු වැරැදි වැඩ කරද්දි, ඔයාලා මේ රස්සාව කරන එක වැදගත් කියලයි.
එහෙම කියලා බැහැලා යන හැමෝම කීයක් ම හරි හයර් එකට වඩා වැඩිපුර දීලා තමයි යන්නෙ. පිරිමි කෙනෙක් නැග්ගා වුණත් කිසි ම කරදරයක් නෑ. ආයතනයේ නමත්, ආයතනයෙන් අපට දෙන ආරක්ෂාවත් එක්ක කවුරුවත් වැරැදි දේකට එන්න ලෑස්ති වෙන්නෙ නෑ. මං සමහර දාට රෑ වෙනකල් වැඩ කරනවා.
කාන්තා රියදුරුවරියක් විදිහට මම වැඩ කරන්න පටන් අරන් දැන් අවුරුදු දෙකක්.පස්සෙ පොඩි ගාණක් එකතු කරලා ඉංග්‍රීසි නම්බර්ස් තුනක් ගත්තා. ඒකත් මාස තුනක් විතර එළවනකාට මට හරි ආසාවක් ආවා නැනෝ කාර් එකකට. පොඩි ගාණක් දීලා මම නැනෝ කාර් එකක් ගත්තා. මේ රස්සාව නිසා නිදහස තියෙනවා. මහන්සිය අඩුයි. සතුටින් රස්සාව කරන්න පුළුවන්. හිතත් පිරිලා. කාලා ඇඳලා ජීවත් වෙන ගමන්, දුවගේ වැඩකටයුතුත් කරගෙන, කරදරයක් නැතුව මේ රස්සාවෙන් ෆිනෑන්ස් එකත් ගෙවාගෙන යනවා.
ඕනකම තියෙනවා නම් ජීවිතේ කරන්න බැරි දෙයක් නෑ. දුප්පත්කමේ අඩියෙ ම ඉඳපු මං , දැන් බොහෝ අභියෝග ජයගෙන ඉස්සරහට ඇවිල්ලා. මේ රියැදුරු රස්සාවෙන් මම තෘප්තිමත්. ‍ඒක තමයි මට හරියන ම රස්සාව.
මමත් කාලයක් හිතුවා දුප්පත්කමෙන් මිරිකි මිරිකි ඉන්නෙ නැතුව මැදපෙරදිග රස්සාවකට යන්න.
ඒත්, එහෙ ගියොත් අපිට දරුවො දුරයි. ඒ අය බලා කියාගන්න බෑ. අසනීපෙකටවත් ටිකක් නිදහසේ ඉන්න නෑ.
අම්මට අසනීපයක් වුණොත්, දුවගෙන එන්න විදිහක් නෑ. ශ්‍රී ලංකාවෙ ඉඳගෙන මේ වගේ රස්සාවක් කරන එකෙන්, ඊට වඩා සතුටින් ජීවිතේ ගෙවන්න පුළුවන්. මැදපෙරදිග දි අපේ කාන්තාවන් හොයනවට වැඩිය ගාණක් අපි ශ්‍රී ලංකාවෙ ඉඳලා උපයනවා. මේ වගේ විකල්ප අවස්ථා ගැන මිනිස්සු දැනුම්වත් නෑ .
මං කියන්නෙ, ජීවිතේ ආර්ථික ප්‍රශ්න නිසා දුක් විඳින ඕනම කෙනකුට , මේ වගේ රැකියාවක් කරලා බලන්න කියලයි. තව රැකියාවක් කරන ගමන් වුණත් ඕනෙ කෙනෙකුට මේ රැකියාව කරන්න පුළුවන්.
ඕනෙ ම දෙයක් කරන්න කලින් ටිකක් හිතට බයයි තමයි. ළිඳේ ගැඹුර දැනගන්න නම් ළිඳට බැහැලම බලන්න ඕනෙ. කාන්තාවො හැටියට අපිටත් ජීවිතේ ජය ගන්න පුළුවන්. හැමෝට ම කියන්නෙ, දුප්පත්කමට ශාප කර කර ඉන්නෙ නැතුව, ටිකක් උත්සාහ කරලා බලන්න කියලයි. ”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!