Gossip

කොරෝනා වසංගතය මරණයට අත වනන හැටි

එතෙර හෝ මෙතෙර කොරෝනා වෛරසයට ගොදුර වී මිය යන්නේ මිනිසුන්ය. වැළලෙන්නේ මිනිසුන්ය. මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යනු පෙනේ. මේ ව්‍යසනය අවසන් වන දිනය ගැන ලෝකය බලාපොරොත්තු සහගතව සිටී. එහෙත් ඒ කවදාදැයි කිසිවෙකු දන්නේ නැත‍.
මීගමුව පෝරුතොට පදිංචිව වී සිටි මොහොමඩ් ජමල්ඩීන් මොලොව හැර ගියේ පසුගිය මාර්තු 30 දා සවස් වරුවේය. 64 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වූ ඔහුගේ අවසනා ගමනට පවුලේ සාමාජිකයන් හෝ ඥාති හිත මිත්‍රාදීන්ගේ ගුරු බුහුමන් ලැබුණේ නැත. ඔහුගේ මෘත දේහය සමග පසු ගමන් යෑමට කිසිවෙකු එකතු වූයේත් නැත.
ඔහුගේ අවසන් ගමන කිසිවෙකුගේ කර මතින් යෑමට අවසර ලැබුණේ ද නැ. උපතින් ඉස්ලාම් භක්තිවන්තයෙක් වූ මොහොමඩ් ජමල්ඩීන්ට ඉස්ලාම් ආගමික චාරිත්‍රනුකූලව අවසන් කටයුතු කිරීමට ඉඩක් ලැබුණේ ද නැත. හේ හුදකලාව අවසන් ගමන ගියේය. ඔහු පෙන්වා දුන්නේ කොරෝනා රෝගයෙන් අවසන් හුස්ම හෙලූ පුද්ගලයෙකුට අත්වන ඉරණමේ ස්වරූපය ය.
මොහොමඩ් ජමල්ඩීන් මීගමු පුද්ගලික රෝහලකට ඇතුළත් වී තිබුණේ හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුණු බැවිනි. ඊට පෙර හුස්ම ගැනීමේ අපහසුවට ප්‍රතිකාර වශයෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ධුමායනය ( Nebulize ) කර තිබුණද කිසිදු සහනයක් නොවූ බැවින් හේ 29 දා මීගමුව පුද්ගලික රෝහලකට ඇතුළත් කර තිබිණි. එහෙත් එහි සේවය කරන වෛද්‍යවරුන් විසින් ඔහුව කොරෝනා රෝගයට ගොදුරු වී ඇති බව සැක කර මීගමුව මූළික රෝහලට යොමු කරනු ලැබුවේය.
එහි 20 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන විට ඔහුගේ රෝගී තත්වය උත්සන්න වූ බැවින් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි. අනතුරුව පසුගිය 29 දා ලබා ගත් ඔහුගේ රුධිර සාම්පලය බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කළේය.
30 පස්වරුවේ වෛද්‍ය වාර්තාව තහවුරු කරනු ලැබුවේ ඔහු කොරෝනා ආසාදිතයෙකු බවය. එහෙත් ඔහුව අංගොඩ අයි.ඩී.එච්. රෝහලට මාරු කිරීමට පෙර මෙලොව හැර ගියේය. ඔහුගේ මරණය සමග ලංකාවේ දෙවෙනි කොරෝනා මරණය සනිටුහන් විය.
ඔහුට කොරෝනා වැළඳුනේ කෙසේ දැයි විමසා බලන විට ඔහු මිය යෑමට දින 20 පෙර යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතවී ඇති බව වාර්තා විය. ඒ හැර ඔහුගේ පවුලේ කිසිවෙක් විදේශයක සිට මෙරටට පැමිණ තිබුණේ නැත. ඇතැම් විට ඔහුට හුස්ම ගැනීමට අපහසුවක් දැනුණු අවස්ථාවේ දී කොරෝනා වෛරයට ගොදුරු වී ඇති බවට සැකයක් පහළ නොවුනේ එම නිසා විය හැකිය. ඔහු හෘද හා ශ්වසනාබාධයකින් පෙළුන නිසා දුම් ඇල්ලීමට යොමු වූයේ කවදත් සිදුකරන ප්‍රතිකාරය එය විය යුතු නිසා වන්නට පුලුවන. එහෙත් මෙවර ඔහුට වැරදිනි. ශ්‍රී ලංකාවේ දෙවෙනි කොරෝනා මරණය ලෙස වාර්තා අතරට එක් වෙමින් ඔහු මිය ගියේය.
ඔහුගේ දේහය භූමිදාන කිරීමට පවුලේ ඥාතීන් විසින් ඉල්ලීමක් කර තිබිණි. එය සැලකිල්ලට නොගෙන මාර්තු 30 දා මධ්‍යම රාත්‍රියේ මඤ්ඤොක්කාහේන පොදු සුසාන භූමියේ දී දේහය ආදාහනය කෙරිනි.
මෙම අවස්ථාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පොලිස් නිලධාරීන් විසින් නිරීක්ෂණය කළහ. ඊට පවුලේ කිසිම ඥාතියෙක් සම්බන්ධ වූයේ නැත.
මේ සිද්ධියත් සමග ඔහුගේ අවසන් කටයුතු ඉස්ලාම් ආගමට පටහැනිව සිදුකළ බව පවසමින් රට තුළ ආන්දෝලනයක් ඇති කරන්නට අයෙක් උත්සාහ කළේය. එහෙත් දේහය ඉවත් කර තිබුණේ මෙවැනි රෝග අවස්ථාවක ගැනෙන ජාත්‍යාන්තර නිරෝධායන රෙගුලාසිවල ප්‍රධානම මගපෙන්වීමට අනුවය. ප්‍රධානම මගපෙන්වීම වූයේ කොරෝනා රෝගියෙකු මිය ගිය විට සීල් කළ බෑගයක බහා පැය 24ක් ඇතුළත අදාහනය කිරීමය. මෘත දේහය භූමිදාන කරන්නේ නම් අඩි 8 ගැඹුරට වලක් කපා මිහිදන් කළ යුතුය.
සෞඛ්‍ය අංශයේ සහ පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අවසන් කටයුතු සිදු කළ යුතුය. මෘතදේහය සුසාන භූමියට රැගෙන යෑමට පෙර සීල් තැබූ කවරයේ බහාලූ මෘතදේහයේ මුහුණ පමණක් අවශ්‍ය නම් ඥාතීන් දෙදෙනෙකුට පෙන්වනු ලැබේ. කොරෝනා රෝගියෙක් මියගිය විට ආදාහනය කිරීම වඩාත් සුදුස් සේ නිර්දේශ කරන්නේ විජෂබී සියල්ල පිලිස්සී විනාශවන නිසාය. භූමිදානය කිරීමේදී විෂබීජ ජල මූලාශ්‍රවලට එකතු වීමේ අවදානමක් තිබෙන නිසාය.
මේ ආකාරයට, එනම් ජාත්‍යාන්තර නිරෝධායන රෙගුලාසි අනුව අවසන් කටයුතු සිදු කෙරුණු ප්‍රථම කොරෝනා රෝගියා ලෙස වාර්තා වන්නේ මාරවිල පදිංචිකරුවෙකි.
ඉලංගම්පේඩිගේ ධර්මසිරි ජනානන්ද නම් ඔහු 60 වැනි වියේ පසුවූවෙකි. සංචාරක මගපෙන්වන්නෙකි. ඔහුට එක් දියණියක් පමණක් සිටියේය.
ඔහුගේ බිරිඳ කලකට පෙර මියගොස් තිබිණි. අවසාන වතාවට ජර්මන් ජාතික සංචාරකයන් පිරිසකට මඟ පෙන්වූ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වූයේ එකී සංචාරකයන්ගෙන් යැයි අනුමාන කෙරිනි. කෙසේ හෝ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කරන ලදී. ඔහු ලංකාවෙන් වාර්තා වූ හතරවැනි කොරෝනා රෝගියාය.
හේ දියවැඩියා රෝගියෙක් විය. වකුගඩුවක් බද්ධ කිරීමේ සැත්කමටකට ද ඔහු මුහුණ දී සිටියේය. දිනෙන් දින අසාධ්‍යවන ජනනාන්ද දැඩි සත්කාර ඒකකයට යොමු කෙරිනි.
මාර්තු 28 දා ඔහු මෙලොවින් සමු ගත්තේය. ඔහුගේ ඥාතීන් දෙදෙනෙක් ඔහුගේ මුහුණ දැක අවසන් ගෞරව දැක්වීම සඳහා අයි.ඩී.එච්. රෝහලට පැමිණියහ. මාර්තු 29 දා ඉරිදා පෙරවරුවේ කොටිකාවත්ත සුසාන භූමියේ දී දේහය ආදාහනය කෙරිනි.
රටේ තෙවැනි කොරෝනා මරණය වාර්තා වූයේ අප්‍රේල් 01 දා රාත්‍රියේය. ඒ මරදාන ප්‍රදේශයෙනි. හේ 72 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි. ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු කොරෝනා ආසාදිතයෙක් බව තහවුරු ඇත්තේත් ඔහු මිය ගිය අප්‍රේල් 01 දා පස්වරුවේය.
ඉන් අනතුරුව ඔහු අයි.ඩී.එච්. රෝහලට රැගෙනවිත් ඇතුළතු කිරීම සඳහා බාහිර රෝගී අංශයේ තබාගෙන සිටින අවස්ථාවේදී මිය ගොස් තිබිණි. මෙම රෝගියා අධික රුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු අකර්මණ්‍යවීම, වැනි රෝග ගණනාවකින් පෙලුණ අයෙක් බව වෛද්‍ය වාර්තා ප්‍රකාරව කියැවිනි. අනාවරණය වූයේ ඔහු සිය තොරතුරු හා රෝග ලක්ෂණ සඟවා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී ඇති බවය.
නමුත් වාසනාවට ජයවර්ධනපුර රෝහලේ කාර්යමණ්ඩලය ආරක්ෂාකාරී පියවර අනුගමනය කරමින් ඔහුට ප්‍රතිකාර කර තිබිණි. එබැවින් මීගමුවේ දී සිදුවූවාක් මෙන් දින 20ක් වාට්ටුව මුද්‍රා තැබීමක් හෝ කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයකට ලක් වීමට සිදුවීමක් නොවුණි.
නමුදු ඔහු වාසය කළ මරදාන ගනි නිවන හමුදා මූලස්ථානය අසල ඇති මහල් නිවාස සංකීර්ණයේ නිවාස 218 ජීවත් වූ 1300 පමණ වැසියෝ මේ වනවිට නිවෙස් තුළ නිරෝධායනයට ලක් කර සිටිති. තවත් 280ක් දෙනා පුත්තලම විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටිති. කොළඹ නගර සීමාව තුළ සිදුවූ මුල්ම කොරෝනා මරණය මෙයය. මල සිරුර දැනට ලංකාවේ අනුගමනය කරන සම්ම්ත ක්‍රමවේදයට අනුව උඩුමුල්ල ආදාහනාගාරයේ දී ආදාහනය කරන ලදී.
මෙය මොහොත වනවිට ලංකාවේ සිව්වන කොරෝනා මරණය ද වාර්තා වී තිබේ.
අයි.ඩී.එච් රෝහලේදී බ්‍රහස්පතින්දා ( 2 ) සවස 58 හැවිරිදි කොරෝන් ආසාදිත පුද්ගලයෙක් මිය ගියේය. වකුගඩු බද්ධ කර තිබීම, වකුගඩු අකර්මන්‍ය වීම, අධික රුධිර පීඩනය ,දියවැඩියාව. ශ්වසනාබාධ, වැනි සංකුලතා හේතුවෙන් කොරෝනා වයිරසය සමඟ සටන් වැදීමට නොහැකිව ශ්‍රී ලංකාවේ තිදෙනෙකුට මිය යද්දි එවැනි කිසිම සංකුලතාවක් නොමැතිව කොරෝනාකොරෝනා රෝගය නිසාම ශ්‍රී ලාංකිකයකුමිය ගියේඅප්‍රේල් 02 වැනිදා රාත්‍රියේය.
ඔහු අංගොඩ අයි. ඩී. එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 58 වැනි වියේ පසු වූ හේමාල් සිල්වාය. රත්මාලාන ප්‍රෙද්ශයේ පදිංචි ඔහු බිරිඳ සමඟ ඉන්දියාවට ගොස් ඇති බව අනාවරණය වී තිබේ. ඔහුගේ බිරිඳ ද කෙරෝනා ආසාධිතයෙකු ලෙස අයි. ඩී. එච් රෝහලෙන් ප්‍රතිකාර ගෙන සුවය ලැබූ යෙකි. දැනට ඈ නිවසේ ස්වයං නිරෝධානයට ලක්වී සිටියි. ඔවුන් කටුනායක ගුවන් තොටුපලේදී ඉතාලියෙන් පැමිණි පිරිසකට මැදි වූ බව පවසා තිබේ.
මීට පෙර විදේශීය රටවල දී කොරෝනා ආසාදනය වීමෙන් ලාංකිකයෝ තිදෙනෙක් මිය ගියහ. ඉන් පළමුවැන්නා වන්නේ මාර්තු 27 දා ස්විස්ටර්ලන්තයේ දී මරණයට පත් වුණු තසාසිවම් ලෝගනාදන්ය. ඔහු යාපනයේ පදිංචිව සිට කලකට පෙර ස්විස්ටර්ලන්තටය සංක්‍රමණය වූවෙකි. මීට අමතරව එංගලන්තයේ පදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් කොරෝනා රෝගය නිසා මිය ගියහ. ඒ ලක්ෂාන් විජේරත්න හා හෙන්රි ජයවර්ධනය. 61 හැවිරිදි ලක්ෂාන් විජේරත්න මහරගම ප්‍රදේශයේ ජීවත් වූවෙකි. එංගලන්තයට ගොස් අත්තේ අට වසකරකට පෙරය. හෙන්රි ජයවර්ධන 70 වියේ පසුවූ වෘත්තීය ඉන්ජිනේරුවෙකි.
ඉතාලියේ සිටි ශ්‍රී ලාංකිකයෙක් මරණයට පත් වූ අයුරු වෙබ් අඩවි වාර්තා කළේය.
එය සාවද්‍ය බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා තහවුරු කර ඇත. එතෙර හෝ මෙතෙර කොරෝනා වෛරසයට ගොදුර වී මිය යන්නේ මිනිසුන්ය. වැළලෙන්නේ මිනිසුන්ය. මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යනු පෙනේ. මේ ව්‍යසනය අවසන් වන දිනය ගැන ලෝකය බලාපොරොත්තු සහගතව සිටී. එහෙත් ඒ කවදාදැයි කිසිවෙකු දන්නේ නැත‍.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!