Gossip

ඇයගේ ප්‍රේමයෙන් අන්ධ වූ ඔහුට පිහිටවූ පොඩි හාමුදුරුවෝ

ප්‍රේමය පුදුමාකාරය, ඔහුත් ඇයත් පේ‍්‍රමයෙන් බැඳුණේ ගැටවර වියේදීය. ඔහු වැරදි කරුවකු වු විට ද ඇය ඔහු අතහැර නොගියාය. එය සැබෑ ප්‍රේමයයි. ඔහුට ජීවිතය ගෙන ආවේ, වසර පහළොවක් සිරගෙදර ජීවිතය ගෙවා දමන්නට එකම බලාපොරොත්තුව වුයේ ඇයයි.

“සර් මං අද ගෙදර යනවා”
ජයසිරි තමන්ට හිතවත් යැයි කියලා හිතුණ හැම නිලධාරියෙක් ළඟටම ගිහිල්ලා දෑත් එකතු කරලා සමුගත්තා.

“හොඳයි…. හොඳයි.. ආයේ එහෙම මෙහෙ එනවා නෙමෙයි.”
ඒ හැමෝම ජයසිරිට එහෙම කිව්වා. ජයසිරි මහදොරින් එළියට ඇවිල්ලා වටපිට බැලුවා. යන්නේ කොහෙද කරන්නේ මොනවද කියලා හැඟිමක් නොතිබුණු නිසා පැත්තකට වෙලා ඒ ගැන මොහොතක් කල්පනා කළා. ගමේ පන්සලේ පොඩි හාමුදුරුවෝ ඇවිත් ඉන්න බව දැක්ක ජයසිරිට පුදුම හිතුණා. ජයසිරි දුවගෙන ඒ දෙසට ගියා. දෑත් එකතු කරලා දණ ගහලා පොඩි හාමුදුරුවන්ට වැන්දා.
“යමුද එහෙනම්”
පොඩි හාමුදුරුවෝ ජයසිරිවත් ඉස්සර කරගෙන පාර දෙසට වඩින්නට වුණා.

පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?”
ජයසිරිවත් පොඩි හාමුදුරුවෝ වත් මම කළ ඒ ඉල්ලීමට අකැමැති වුණේ නැහැ.

“අවුරුදු කීයකට පස්සෙ ද ගෙදර යන්නේ?”
මම ජයසිරිගෙන් ඇහැව්වා.

“හරියටම අවුරුදු දහ අටකට පස්සේ.”
“මොනවා කරලා ද හිරේ එන්න වුණේ?”
“ස්ත්‍රී දුෂණයකට.”
වට පිට බලලා ඔහු හීන් සැරේ කිව්වා.
“අපි දෙන්නම එකම ඉස්කෝලේ ඉගෙන ගත්තේ. ඒත් පහේ පන්තියේදී විතර පොඩි හාමුදුරුවෝ මහන වුණා.
ඊට පස්සේ මට මහා පාළුවක් දැනුණා. මමත් ගමේ පන්සලට නිතර නිතර ගියා. මගේ අම්මා විතරයි හිටියේ. අම්මත් මට අවුරුදු පහළොවක් විතර කාලේ මැරුණා. ඊට පස්සේ මං වැඩිපුරම හිටියේ පන්සලේ. ගමේ කවුරුත් මට අනුකම්පා කරන්න ඇති. ඒ නිසා වෙන්නැති පන්සලේ හිටපු මට කවුරුත් ආදරේ කළේ.”

ඒ කියන්නේ පන්සලේ ඇබිත්තකම් කළාද?
“අපොයි නැහැ. පොඩි හාමුදුරුවොයි මමයි එකට පාඩම් කළා. විභාග වලට ලිව්වා පාස් වුණා. විශ්ව විද්‍යාලයට ගියා. ලොකු හාමුදුරුවෝ අපි දෙන්නටම ඉගෙන ගන්න වියදම් කළා. අපි නිවාඩුවට ගෙදර ආවා.
අපි ගමට ආවම ගමේ කවුරුත් අපිව බලන්න එනවා. පොඩි හාමුදුරුවොයි මමයි ගමේ ඉංග්‍රීසි පන්තියක් පටන් ගත්තා. අපි ඒක කළේ නොමිලේ.
ගමේ හැමෝම වගේ ආවා ගියා. ඒ අතර හිටියා ලස්සන ගෑනු ළමයෙක්. ඒ ගමේ ධනවත්ම පවුලක ළමයෙක්. මගෙ හිත ඒ ළමයා ගැන බැඳුණා. අපි දෙන්නගේ ආදරේ දවසින් දවස වැඩි වුණා. එයා නිර්මලී. ඒ වෙනකොට මම කැම්පස් එකෙත් කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා. ඒත් ඒක නිර්මලීගේ බැඳීම තරම් තද එකක් නෙමෙයි.
නිවාඩු ඉවරවෙලා අපි කොළඹ යනකොට නිර්මලී ඇඬුවා. ඒත් මොනවා කරන්නද? අපි ගියා. මම නිතර නිතර නිර්මලීට ලියුම් ලිව්වා. එයත් මට ලිව්වා. සමහර ලියුම් වලට උත්තර ලිව්වේ පොඩි හාමුදුරුවෝ.

නිර්මලීගේ ගෙදරින් කැමති වුණාද?
“නැහැ. ඒ කවුරුත් මේ ගැන දන්නේ නැහැ. ඒත් අපි ආදරෙන් බැඳිලා හිටියේ. මම හිතා ගත්තා නිර්මලීව බඳිනවා කියලා.
කොහොම හරි අපේ ලොකු හාමුදුරුවෝ අසනීප වෙලා අපවත් වුණා. ඉන් පස්සේ පොඩි හාමුදුරුවෝ පන්සලේ නතර වුණා. ලොකු හාමුදුරුවෝ අසනීප වෙලා ඉන්න කාලේ පොඩි හාමුදුරුවෝ තමයි බලා ගත්තේ. පොඩි හාමුදුරුවෝ ගමේ නතර වුණාට පස්සේ මට කැම්පස් යන්න කම්මැලි හිතුණා. ඒත් පොඩි හාමුදුරුවන්ගේ බලකිරීමට තමයි මම ගියා.”
“ඔය අතර මම කැම්පස් එකේ යාළුවෙලා හිටපු ගෑනු ළමයා නිතර නිතර මගේ බෝඩිමට යන්න එන්න ගත්තා.
මමත් හැඟිම් දැනීම් තියෙන කෙනෙක් නේ. දවසක් මගේ අතින් ඒ ළමයාට කරදරක් වුණා. මුල දී එයා අකමැති වුණත් පස්සේ කැමති වුණා. ඒත් මං හිතුවේ නැහැ එයා මාව මේ තරම්ම පහත් මට්ටමකට දායි කියලා. එයා එයාගේ යාළුවන්ට කියලා මම එයාට කරදර කළා කියලා. එයාගේ පවුලේ සල්ලිකාර සහෝදරයෝ හිටියා.
මං හිතුවේ නැහැ මාව නැති කරදරයක පැටලෙයි කියලා. මං මේ සිද්ධිය වුණ දවසට පස්සේ දවසේ ගමේ ගියා. කැම්පස් කෙල්ලගේ ගෙදර අය ඇවිල්ලා මාව හොයලා.
මං නැති නිසා එයා පොලිසි ගිහිල්ලා. මං පන්සලේ ඉන්නකොට පොලිසියෙන් ආවා. මාව අල්ලගෙන ගියා. පොඩි හාමුදුරුවෝ මගෙ හැම නඩු වාරයකටම ආවා. වියදම් කළා. ඒත් මට නීතියෙන් බේරෙන්න බැරි වුණා.”

ඉගෙනීමට මොකද වුණේ?
“මොනවා වෙන්නද? හැමදේම කඩා කප්පල් වුණා. අර ළමයා පොලිසියට කියලා තිබුණේ මම එයාව මරන්න ගියා. බලහත්කාරකම් කළා කියලා. මට දෙන්න උත්තරයක් තිබුණේ නැහැ. මං හැම වැරැද්දක්ම නිහඬව බාර ගත්තා. ඒ තීන්දුව දුන්නේ නඩුකාර නෝනා කෙනෙක් එයා මට අවුරුදු පහළොවක දඬුවමක් නියම කළා.”

ඇපිල් කළේ නැද්ද?
“පොඩි හාමුදුරුවෝ කරන්න ඕන හැමදේම කළා. ඒත් නිදහස් වෙන්න මඟක් තිබුණේ නැහැ. අන්තිමට මං පොඩි හාමුදුරුවන්ට කිව්වා කරදර වෙන්න එපා මම මේ දඬුවම විඳින්නම් කියලා.”

කැම්පස් කෙල්ලට මොකද වුණේ?
“කැම්පස් එකේ යාළුවෝ මාව බලන්න ආවා. ඒ අය මං ගැන දුක් වුණා. ඒ කෙල්ල රට ගියා කියලා මට දැන ගන්න ලැබුණා.
මට අවුරුදු ගානක දඬුවමක් ලැබුණා කිව්වම නම් ඒකි දුක් වුණාලු.”

ගමේ නිර්මලී?
“ගමේ නිර්මලී ඇත්තටම නිර්මලයි. එයා විවාහ වුණේ නැහැ. මට වෙච්ච දේ අහලා එයා හුඟාක් දුක්වෙලා. එකම එක දවසක් නිර්මලී මාව බලන්න හිරගෙදරට ආවා. ඒ මම හිරේ ඇවිල්ලා අවුරුදු හතරකට විතර පස්සේ. එයා ආවේ එයාගේ නැන්දා කෙනෙක් එක්ක. නිර්මලී මා එක්ක වචනයක් වත් කතා කළේ නැහැ. එයා මගෙ අතට ලියුමක් දුන්නා. ඊට පස්සේ එයා යන්න ගියා. ඒ තමයි මං එයාව දැකපු අන්තිම දවස.”

මොනවද ලියලා තිබුණේ?

“නිර්මලී එයාගේ අක්කා එක්ක ඔස්ට්‍රේලියාවට යනවා කියලා ලියලා තිබුණා. එයා මට ආදරේ කරපු තරම්, මා එක්ක පවුල් ජීවිතයක් ගත කරන්න ආශාවෙන් හිටපු තරම් ලියලා තිබුණා. ආයේ කිසිම දවසක ලංකාවට එන්නේ නැහැ කියලා ලියලා තිබුණා. මට නිර්මලී ඇවිල්ලා ගිය දවසේ නින්ද ගියේ නැහැ. මං දවස් ගානක් ඒ ලියුම බල බලා ඇඬුවා.”

ඉන් පස්සේ මොකද වුණේ?

“පොඩි හාමුදුරුවෝ විතරයි මට ඉතිරි වුණේ. උන් වහන්සේ මා ගැන හොයලා බැලුවා. සහෝදරයෙක් වගේ.”

දැන් ගමට ගිහිල්ලා මොකද කරන්නේ?

(මා එසේ ඇසු විට ඊට උත්තර දෙන්නට වුයේ පොඩි හාමුදුරුවෝය)

“මිනිස්සුන්ට බොහෝම නපුරු කාල එනවා. මං හිතන්නේ කමල් ගෙව්වෙත් එහෙම කාලයක්. දැන් කමල්ට ජීවිතේ ගැන අවබෝධයක් තියෙනවා. නිර්මලී මෝනා ගමෙන් ගියාට මේ රටෙන් ගියාට කමල්ව අමතක කළේ නැහැ. හැම වෙලාවකම මට ලියලා කමල් ගැන තොරතුරු ඇහුවා. අහලා බොහෝම දුක් වුණා. ගෙවුණු අවුරුදු පහළොවම කමල් ගැන නිර්මලී නෝනා හොයලා බැලුවා. මං හිතුවේ නැහැ ඒ මෝනා මේ තරම් ගුණ යහපත් කියලා. ඒත් නිර්මලී නෝනා තීරණය කරලා තියෙනවා කමල්ව ඒ රටට ගෙන්න ගන්න. එයා දැන් ඒ රටේ රස්සාවක් කරනවා.”

කමල්ව බලන්න නිර්මලී, එනවද එහෙම නැත්තම් නිර්මලීව බලන්න ඔයා යනවද?

මම කමල් ගෙන් ඇහැව්වා.
“නිර්මලී තව සතියකින් එනවා කියලා තියෙනවා. එයා එයාගේ ගෙදර අයවත් කැමති කරගෙන තියෙන්නේ. නිර්මලී ඒ තරම් හැඩකාර නැහැ. ඒත් එයාගේ ලස්සන හිත තමයි ගෙවුණ අවුරුදු පහළොවම මාව ජීවත් කළේ, මට පොඩි හාමුදුරුවෝ දාලා යන්න දුකයි. ඒත් මේ ගමන මං යන්නම වෙනවා. මං වෙනුවෙන් අවුරුදු පහළොවක් බලාගෙන හිටපු එයාව මම හොඳින් රැක බලා ගන්න ඕන.”
ඔහු පවසන්නට වුයේ ආදර බර වදනිනි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!