Gossip

“මම මිනිස්සු අතර ගැවසෙන්න කැමතියි.. සැමියා කැමති නැහැ එයා ගැන වැඩිය කතා කරනවාට.” – උදාරි පෙරේරා

තිරයේ මෙන්ම සැබෑ දිවියේත් වෙනසක් සොයා යන නිළියක වන උදාරි පෙරේරා මේ දිනවල ‘මිස් ජෙනිස්’ සමගින් සිය රසිකයන් හමුවට විත් සිටිනවා. මෙතෙක් දායක වී ඇති නිර්මාණවලින් ජනප්‍රියත්වය සමගින් ඉහළ ගුණාත්මක බව පසුපසද හඹායන්නියක බව ප්‍රකට උදාරි, හෙට දවසේ වඩා ලාංකේය සිනමා අඹරේ සුපසන් සිනමා තරුවක වනු ඇතැයි යන්න විචාරකයන් මත පළකරනවා.

උදාරි මෙතෙක් පැමිණි සිනමා ගමනේ මංසලකුණු මොනවද?

මම සිනමා දිවිය ආරම්භ කළේ ප්‍රවේගය චිත්‍රපටයෙන්. ඊට පස්සෙ යශෝදරා, නෙලා, සේයා, මිස් ජෙනිස් චිත්‍රපටවලට දායක වුණා. මගේ පස්වැනි චිත්‍රපටය ‘යාත්‍රා’ ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි.

සිනමා නිර්මාණ හතරකින් රසිකයන්ගේ හදවතේ නිළිය වෙන්න හැකි වුණේ කොහොමද?

මාත් එක්ක එක දවසක් හරි කතා කරපු කෙනෙකුට මාව මතකයේ රැඳෙනවා. ඒකට හේතුව මගේ මනුස්සකම, මගේ තියෙන ආදරණීය බව. මම ඒක ආයාසයකින් ආරූඪ කරගත් ගති ලක්ෂණයක් නෙවෙයි. මට සහජයෙන් ලැබිලා තියෙන දෙයක්. මම මිනිස්සු එක්ක කතා කරන්න, මිනිස්සු අතර ගැවසෙන්න කැමතියි. මගේ පළමු රැකියාව වුණේ ගුවන් සේවිකාවක් ලෙසයි. මම ඒ රැකියාවෙදිත් කළේ මිනිසුන්ට ආදරය හා සුහදතාවය පිරිනැමීමයි.

උදාරිට ‘මිස් ජෙනිස්’ ගැන මොනවද කියන්න තියෙන්නේ?

මිස් ජෙනිස් තිර පිටපත අතට ලැබිලා කියවගෙන යද්දි මට දැනුණා මේක ලංකාවට අලුත් අත්දැකීමක් වෙයි කියලා. ඒ වගේම මෙහි ආචාර්ය ජයලත් මනෝරත්නයන් ඇතුළුව රංගනයේ යෙදුණේ ප්‍රවීණ ශිල්පීන් පිරිසක්. මෙම චිත්‍රපටයේ පුංචි චරිතයක් පවා රඟපෑවේ ප්‍රවීණ පරිණත චරිත.

නිළියක් ලෙස ඉදිරියට යන්න ප්‍රශංසාව කොතරම් බලපාලා තියෙනවද?

චිත්‍රපටය නරඹලා මම හොඳට රඟපාලා තියෙනවා කිව්වා. මගේ යාළුවෝ නම් සමහර අඩුපාඩු පෙන්වලා දුන්නා. ඒ සමහර අඩුපාඩු මට පාලනය කරගන්න බැරි දේවල්. මම හිතනවා රංගනයේදී ප්‍රශංසා වගේම අපිට විවේචනත් ඕන. කවුරු හරි අපිට කියනවා නම් මේ තැන මේ විදිහටයි විය යුතුයි කියලා ඒක ලොකු උදව්වක්. අපි රංගන පාසලකට ගිහින් රඟපෑම ප්‍රගුණ කරලා එන අය නෙවෙයිනේ. අපි රඟපාලා දැකල බලලනේ ඉගෙන ගන්නේ. හැබැයි ගොඩක් අය වැරැද්දක් තිබුණට මූණට කියන්නෙ නැහැ. ඒක පාඩුවක්.

තමන් ප්‍රධාන චරිත පමණක් භාරගන්නා නිළියක් බව පවසා සිටියා නේද?

මෙහෙමයි, හැම තැනකම යන රටාවක් තියෙනවා. අපි අපිව සමාජයට ඉදිරිපත් කරන විදිහ අනුව තමයි අපේ තැන රැකෙන්නේ. සුළු චරිතයකින් හරි ගුණාත්මක දෙයක් කරන්න පුළුවන් නම් මම මුදල් බලන්නේ නැතිව එක හිතින් ඒක බාරගන්නවා. ඒ වගේ චරිතයක් තමයි නන්දා කුමරිය. මට රඟපාන්නත් ලැබුණේ දර්ශන කිහිපයයි. හැබැයි අදටත් මම තමයි නන්දා කුමරිය කියලා මිනිස්සුන්ට මතකයි.

උදාරි ටෙලි නාට්‍යවල රඟපාන්න උනන්දුවක් නැද්ද?

මම ටෙලි නාට්‍ය කරන්නේ නැතිවෙන්න හේතුව තමයි මම මගේ පෞද්ගලික ජීවිතයට ලොකු තැනක් දීම. මට පුතෙක් ඉන්නවා. එයාගෙ ජීවිතය කියන සිනමා පටයේ අධ්‍යක්ෂණය කරන්නේ මම. ඒක ලස්සනම චිත්‍රපටය කරන්න තමයි මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ.

රංගනය කියන තැනින් නොනැවතී බොහෝ දේ සොයා යන්නියක් නේද?

මම ගුවන් සේවිකාවක් විදිහට රැකියාවක් කරපු කෙනෙක්. ඊට පස්සේ මම ජාත්‍යන්තර සම්බන්ධතා දේශපාලනය යන විෂයයන් ඉගෙන ගත්තා. මට පුතා ලැබෙන්න කලින් මම රුපලාවණ්‍යාගාරයකුත් පවත්වාගෙන ගියා. පුතාගේ වැඩ නිසා මම ඒ ව්‍යාපාරය කෙනෙකුට භාරදුන්නා. දැනටත් මම ව්‍යාපාරයක් කරනවා.

සතුටෙන් පිරෙන්නේ මොන වගේ දේවල් එක්කද?

මම හරි ආසයි පොත් කියවන්න, භාවනා කරන්න, මගේ යාළුවෝ එක්ක කාලය ගත කරන්න. මම කැමතියි හැමෝම මේ ජීවිතයේ තියෙන එළිය දකිනවාට. තව කෙනෙක්ගේ ජීවිතයක් කරදරයකින්, කනගාටුවකින්, අඳුරෙන් වහගන්නවාට මම කැමති නැහැ. මමත් ප්‍රශ්න නිසා වැටිලා හිටිය කාලයක් තිබුණා. මට වචනයකින්වත් උදව් කරන්න කෙනෙක් හිටියෙ නැහැ. හැබැයි පොත් කියවීමෙන්, භාවනාවෙක් මනුස්සයෙක් සොබාදහම එක්ක එකතුවෙලා මේ සමාජයේ නොසැලී ඉන්නේ කොහොමද කියලා අනිත් අයට උගන්වන්න එක තමයි මගේ ජීවිතයේ අරමුණ. ඒක ඇතුළේ මම අම්මා කෙනෙක්, බිරිඳක්, නිළියක් වෙලා තියෙනවා.

සැමියා ගැන පවසන්නත් මේ කතාබහේදි ඉඩක් ගමු නේද?

එයා කැමති නැහැ මාධ්‍ය ඉදිරියේ එයා ගැන වැඩිය කතා කරනවාට. ඒ නිසා එයා ගැන සඳහන් නොකර ඉන්න මම කැමතියි.

උදාරි කියන්නේ අනුන්ගේ ප්‍රශ්න දරාගන්න චරිතයක්ද?

මම කාගෙවත් ප්‍රශ්න ගන්නෙ නැහැ. අපි හැමෝටම ජීවිතයේ ප්‍රශ්න විසඳගන්න ශක්තිය තියෙනවා. ඒකට මාර්ගය පෙන්වන එක තමයි මම කරන්නේ. හොඳ මාර්ගෝපදේශකයෙක් කියන්නේ හොඳ සවන් දෙන්නෙක් තමයි. නමුත් මම ඒ ප්‍රශ්න මා තුළට අවශෝෂණය කරගන්නෙ නැහැ.

ජනප්‍රිය නිළිය වීමෙන් පසු ඔබේ සම්මාන දිවිය තවම නතර වෙලාද?

සම්මානයක් හම්බ වෙන්න කෙනෙක්ගේ දක්ෂතාවය විතරක් නෙවෙයි, වාසනාවත් බලපානවා. මම ප්‍රවේගය චිත්‍රපටයේ රඟපාලා අවුරුද්දක්වත් ගියේ නැහැ මට ජනප්‍රියම නිළියගේ සම්මානය හම්බ වුණා. ඊට පසු සම්මානයක් ගන්න ලැබුණේ නැහැ. සම්මානයක් ගන්න කියල වැඩ කරන්නෙ නැහැ, සම්මානය ලැබෙනවා කියන එක හරි තීරණාත්මකයි.

ධම්මිකා සුරංජි පතිරණ – අරුණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!