Gossip

රටම වෙළාගත් කොරෝනාවේ ඇතුල් පැත්ත

ලොව පුරා රටවල ඉතා වේගයෙන් පැතිර යමින් පවතින කොරෝනා වෛරසය ශ‍්‍රී ලංකාව පුරා ද පැතිර යෑමේ දැඩි අවදානමක් මේ වනවිට මතුව තිබෙන අතර ඒ බව සනාථ කරමින් 26දා වනවිට මෙරට වාණිජ කේන්ද්‍රස්ථානය වන කොළඹ නගරයේ පොලිස් බල ප‍්‍රදේශ ගණනාවක් ඇතුළුව දිවයිනේ පොලිස් බල ප‍්‍රදේශ ගණනාවකම පොලිස් ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක කර මහජනතාව එහා මෙහා යෑම ඇතුළු ක‍්‍රියාකාරකම් දැඩි ලෙස සීමා කර තිබෙනු දක්නට ලැබේ.
රටේ සුළු පිරිසකගේ නොසැලකිලිමත්කමින් ජනතාවට ලබා දුන් වැරදි පූර්වාදර්ශයන් හේතුවෙන් කොරෝනා වෛරසය දෙවැනි වසංගත රැල්ලක් ලෙස මේ වනවිට රට පුරා පැතිර යෑම ආරම්භ වී ඇත්තේ ඉතාමත් ඛේදජනක අයුරිනි. පළමු වර කොරෝනා වෛරසය පැතිරීමේ දැඩි අවදානමක් පැවැති ඉකුත් මාර්තු-මැයි මාසවල මෙරට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් මහත් පරිශ‍්‍රමයක් දරමින් හා කැපවීම් කරමින් පැතිරීම සාර්ථක ලෙස පාලනය කළ කොරෝනා වෛරසය දෙවැනි රැල්ලක් සේ නැවත පැමිණීමට ඉඩ නොතබන බවට ප‍්‍රකාශ කළ බලධාරීන්ද නිහඬ කරවමින් මේ වනවිට පැතිර යන අතර එම වෛරසයේ හැසිරීම පවා මෙතෙක් නිශ්චිතවම නිගමනය කිරීමට කිසිවෙකුට නොහැකි වීම නිසා එය පවතින තත්ත්වය යටතේ හැඳින්වීමට සිදු වනුයේ මිනිස් ජීවිත පවා අවදානමකට ලක් කිරීමට සමත් වෛරසයක් ලෙසය. මේ බව මේ වනවිට මෙරට වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලබන ප‍්‍රකාශවලින්ද පෙනී යන කරුණකි. රටේ ඉහළ බලධරයාගේ සිට පහළ තැනැත්තා දක්වා කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට තැත් කරන මෙම මොහොතේ වෛරසය ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම, පුද්ගලයන්ගේ රැුකියා, ව්‍යාපාරවල ක‍්‍රියාකාරීත්වය, දෛනික ආදායමින් දිවි ගෙවන සුළු ව්‍යාපාර කරගෙන යන්නන් හා කුලී සේවකයින් දක්වා වූ අංශවලට සිදු කරමින් පවතින හානිය සුළුපටු නොවේ. මේ වනවිට දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල පනවා තිබෙන නීරෝධායන පොලිස් ඇඳිරි නීතිය ඉකුත් මාර්තු මාසයේ ක‍්‍රියාත්මක වූවාට වඩා දැඩි ලෙස ක‍්‍රියාත්මක වීම් හේතුවෙන් මහා මාර්ගවල මිනිසුන් එක් රැස් වීම මේ වනවිට නවතා දැමීමට හැකි වී ඇතත් එම ප‍්‍රදේශවල ජනතාවට ආහාර, බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම අසීරු වී ඇත්තේ ඉකුත් මාර්තු අග සිට මැයි මස දක්වා ක‍්‍රියාත්මක වූ පොලිස් ඇඳිරි නීති සමයේ මෙන් සුපිරි වෙළෙඳසැල් හා පුද්ගලික ඔසුසල් හරහා නිවෙස්වලට අවශ්‍ය ද්‍රව්‍ය ප‍්‍රවාහනය කර ගැනීමේ (හෝම් ඩිලිවරි සර්විස්) සේවාවද ක‍්‍රියාත්මක නොවීම නිසාය.
මෙරට නාගරික ජනගහනයෙන් කොටසකට කෙටි පණිවිඩයක් (එස්. එම්. එස්.), වයිබර්, වට්ස්ඇප් හෝ විද්‍යුත් තැපෑල (ඊ මේල් ) හරහා ගෙන්වාගත යුතු භාණ්ඩ හා බෙහෙත් ලැයිස්තුව යවමින් ළඟම පිහිටි සුපිර් වෙළෙඳසැලෙන්/ඔසුසලෙන් ඒවා ගෙන්වා ගැනීමේ හැකියාව පැවතිය ද තවත් කොටසකට එවැනි නවීන තාක්ෂණය භාවිතයෙන් තම දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකියාවක් නොමැති බව බලධාරීන් අමතක නොකළ යුතුය.
ගම්බද ප‍්‍රදේශවල තත්ත්වයද එසේමය. බොහෝ දෙනාට පහසු හා ලාභදායි වනුයේ ළඟම පිහිටි සිල්ලර වෙළෙඳසැල , ඔසුසල , සතියේ පොළ වෙත ගොස් තම දෛනික අවශ්‍යතාවයන් මිලදී ගැනීමටය. එහෙත් එවැනි වෙළෙඳසැල් , ඔසුසල් පොළවල් මෙන්ම සුපිරි වෙළෙඳසැල් යනු කොරෝනා වෛරසය පැතිරීමට හේතු වන මහජනතාව විශාල වශයෙන් ඒක රාශි වන තැන් බව නොකිවමනාය.
එහෙත් එසේ පවසමින් විශේෂයෙන්ම වෛද්‍යවරුන් හා පෝෂණවේදීන් විසින් පුන පුනා පවසන දිනපතා සමබල ආහාර වේලක් අනුභව කළ යුතු බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් මෙන්ම නිසි පෝෂණයක් අවශ්‍ය ඇඳිරි නීතිය පනවා ඇති ප‍්‍රදේශවල වාසය කරන ළදරුවන් පාසල් දරුවන් ,වියපත් පුද්ගලයන්, ගැබිනි කාන්තාවන් ඇතුළු සියලූ පුද්ගලයන් හට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමේ ඉඩකඩ ඇහිරිය යුතු නොවේ.
සිල්ලර වෙළෙඳසැල් /සුපිරි වෙළෙඳසැල් /ඔසුසල් හරහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා බෙහෙත් ලබා ගැනීමේ ඉඩකඩ ඇහිරී තිබීම හේතුවෙන් බොහෝ දෙනකුට අද සිදුව ඇත්තේ කුමන හෝ කෙටි ආහාරයක් අනුභව කර දවසෙන් හරි අඩක් කුසගින්නේ සිටීමටය.
කොරෝනා වෛරසය පැතිරිය නොහැකි ආකාරයෙන් ආහාර හා බෙහෙත් ජනතාවට ලබා ගැනීමේ පහසුකම් සැලසීමට හැකියාව තිබියදීත් එය ඇඳිරි නීතිය පනවා ඇති ඇතැම් ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වන ආකාරයක් දක්නට ලැබෙන්නේ නැත. බොහෝ බලධාරීන් අමතක කරලන දෙයක් වනුයේ මෙවැනි හදිසි අවස්ථාවක ජනතාව කොරෝනා වෛරසයෙන් ආරකෂා කරනවාක් මෙන්ම ඔවුන් අනවශ්‍ය අයුරින් කුසගින්නේ තැබීමෙන් පෝෂණය පිළිබඳ අනාගතයේ ගැටලූ මතු විය හැකි බවයි.
රජය යටතේ පවතින සතොස වෙළෙඳසැල් හරහා අදාළ ප‍්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළ හැකි වුවද එයද නිසි පරිදි සිදු නොවන බව වාර්තා වී තිබේ. මෙතැන පැහැදිලිවම ඇත්තේ නිවෙස්වලට ගොස් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජනතාවට බෙදා ගැරීමට පවතින බියක් නම් මෙහිදී වඩාත් බිය විය යුත්තේ ඇතැම්විට මුහුණු ආවරණයක්මවත් (මාස්ක්) නිසි පරිදි නොපැළඳ ආහාර ද්‍රව්‍ය බෙදා හරින ඇතැම් සුපිරි වෙළෙඳසැල් සේවකයන්ගෙන් එසේ ඇනවුම් කළ ද්‍රව්‍ය භාර ගනු ලබන මහජනතාවයි.
මෙවර බොහෝ කොරෝනා වෛරස් ආසාදිතයන් හඳුනාගත් ප‍්‍රදේශවලට නීරෝධායන පොලිස් ඇඳිරි නීතිය පනවන ලද්දේ හදිසියේ මිනිසුන්ට හැරීමටවත් ඉඩක් නොතබා වීම නිසා එම ප‍්‍රදේශවල බොහෝ දෙනකුට තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තබා බෙහෙත් වත් කලින් මිල දී ගැනීමට වේලාවක් නොතිබිණි.
එහෙත් ඇතැම් ප‍්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ආකාරය අනුව පොලිස් ඇඳිරි නීතිය දමනු ඇතැයි අනුමාන කරමින් ඉකුත් බදාදා කොළඹ ඇතුළු බොහෝ ප‍්‍රදේශවල ජනතාව අනවශ්‍ය ලෙස පොර කමින් සුපිරි වෙළෙඳසැල් හා ඔසුසල් ඉදිරිපිට පෝලිම් ගැසී සිටීම නිසා එය කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට බාධාවක් යැයි සිතා එම ආයතන නැවත දැනුම් දෙන තෙක් වසා තබන ලෙසට අදාළ බලධාරීන්ගෙන් උපදෙස් ලැබෙන්නට ඇත. එම තත්ත්වය වටහා ගත හැකි වුවද එසේ ආහාර හා බෙහෙත් අදාළ ආයතනවලින් ඇණවුම් කර නිවෙස්වලට ගෙන්වා ගත හැකි බව කොරෝනා මර්දන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ පැහැදිලිව සඳහන් කර තිබියදීත් එම සේවාව නැවත්වීමට හේතුව මෙතෙක් කිසිවෙකු විසින් පැහැදිලි කර නොතිබීම ගැටලූවකි. ලොව සෙසු රටවල සුපිරි වෙළෙඳසැල් / සාප්පු හා ඔසුසල් කොරෝනා වෛරසයේ පැතිරීම් හේතුවෙන් පුද්ගලයන් සීමිත පිරිසක් එකවර ඇතුළු විය හැකි ලෙස ක‍්‍රියාත්මක වන අතර නිවෙස්වලට ඇණවුම් කර අදාළ ආයතනවලින් ආහාර /බෙහෙත් හා භාණ්ඩ ගෙන්වා ගැනීමේ සේවාව මෙන්ම ආහාර අලෙවිසැල් මගින් ආහාර මිලදී ගෙන යෑමේ (ටේක් අවේ) සේවාවද සාමාන්‍ය පරිදි ක‍්‍රියාත්මක වනුයේ කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමිනි.
පළමුවර වෛරසය පැතිරීමේ අවදානමක් මතු වූ අවස්ථාවේ දී හෝ එවැනි සැලැස්මක් මෙරට සකස් කර තිබුණේ නම් කොරෝනා වසංගතයේ දෙවැනි රැුල්ල පැතිරෙන මේ මොහොත වනවිට එම සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමට හැකි වන්නට ඉඩ තිබිණි. අනෙක් අතට මහජනතාව ද ඇඳිරි නීතිය පැනවීමේ අවදානමක් මතු වූ විට වෙළෙඳසැල් හා සුපිරි වෙළෙඳසල්වල භාණ්ඩ අනවශ්‍ය ලෙස වැඩිපුර මිලදී ගෙන රාක්ක ශුද්ධ කිරීම දැන්වත් නතර කළ යුතුව ඇත. බටහිර රටවල පවා දක්නට ලැබෙන මෙම ක‍්‍රියාව හේතුවෙන් කොරෝනා වසංගත සමයේ බොහෝ පිරිසකට තමන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී යයි.
බලධාරීන්ගේ වත්මන් ක‍්‍රියාකලාපය නිසාම තමන්ට අත්‍යවශය ද්‍රව්‍ය මිලදී ගැනීමට නොහැකිවේ යැයි බියක් ජනතාව තුළ හට ගැනීමද සාධාරණය. එසේ නම් දැන්වත් සැවොටම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පහසුවෙන් ලබා ගත හැකි ක‍්‍රමයක් සකස් කර කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමට බලධාරීන් විසින් පියවර ගත යුතුව තිබේ. එහිදී ද මහජනතාව අනවශ්‍ය ලෙස පෝලිම් ගැස්වීමෙන් තොරව එය ක‍්‍රියාත්මක කළ යුතු අතර නිවෙස්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන ගොස් බෙදා හරින්නේ නම් එසේ බෙදාහරිනු ලබන පුද්ගලයන් මෙන්ම එම ද්‍රව්‍ය භාර ගනු ලබන පුද්ගලයන් ද ඍජුවම එකිනෙකා හා මුහුණට මුහුණ නොදී කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් එම කාර්යය කිරීම අත්‍යවශ්‍ය බව වසංගත රෝග වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ.

අනෙක් අතට මෙම දිනවල අප රට තුළ ක‍්‍රියාත්මක වන කොරෝනා ආසාදිතයන් සොයා ගත් පසු ඔවුන්ගේ ආශ‍්‍රිතයන් නීරෝධායනය සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද මහජනතාවගේ එතරම් ප‍්‍රසාදයක් නොමැති බව වාර්තා වී තිබේ. මෙහිදී කිසියම් පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට ‘‘PCR. ” පරීක්ෂණයක් හරහා හඳුනා ගත් පසු එම ආසාදිත තැනැත්තා රෝහල්ගත කිරීමෙන් පසු එම තැනැත්තාගේ සමීපතම ආශ‍්‍රිතයන් නීරෝධායනය සඳහා ඔවුන්ට ඇඳීමට ඇඳුම් පැළඳුම් වත් සකස් කරගැනීමට ඉඩක් නොතබා රැගෙන යෑම හේතුවෙන් බොහෝ පිරිස් අසීරුතාවයට පත් වන බව වාර්තා වේ. මෙම තත්ත්වය මත පසුගියදා එසේ එක් කාන්තාවක් තමන්ව නීරෝධායනය කිරීම සඳහා රැුගෙන යෑමට පැමිණි හමුදා නිලධාරියෙකු වෙත සිය සුනඛයා ලිහා දැමීමේ සිද්ධියක් වාර්තා වී තිබිණි. මෙසේ කඩිමුඩියේ අපරාධකරුවන් රැගෙන යන ආකාරයෙන් කොරෝනා ආසාදිතයන්ගේ සමීපතම ආශ‍්‍රිතයන් නීරෝධායනය සඳහා ගෙන යෑමේ ක‍්‍රියාදාමය වෙනුවට ඔවුන්ට සුහදව තත්ත්වය පැහැදිලි කර දී සිය ඇඳුම් පැළඳුම් මල්ල සකස් කරගැනීමට කිසියම් වෙලාවක් ලබා දී ඔවුන්ව නීරෝධායනය සඳහා යොමු කරන්නේ නම් එම පිරිසද නිලධාරීන්ට සිය සහාය ලබා දෙනු ඇත.
එමෙන්ම එසේ නීරෝධායනය සඳහා යොමු කරන පිරිස් හා ඔවුන්ගේ පදිංචි නිවෙස් ප‍්‍රසිද්ධ කිරීමෙන් වැළැක්වීම ද වැදගත් වන අතර එසේ කිරීමෙන් එවැනි නිවෙසක සියලූ සාමාජිකයන් නීරෝධායනය සඳහා ගෙන ගියවිට ඔවුන්ගේ නිවෙස් කොල්ල කෑමට පවා ලක් වීමට ඉඩ තිබීම එයට හේතුවයි.
දැනට රට තුළ පැතිර යන කොරෝනා වෛරසය මෙම දිනවල ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව හා යුරෝපා රටවල පැතිර යන කොරෝනා වෛරසයම ද යන්න පිළිබඳව මෙරට සෞඛ්‍ය බලධාරීන් විසින් තවමත් හඳුනාගෙන නොතිබීම ද ගැටලූ සහගතය.
කෙසේ වුවද දැනට පැතිර යනුයේ ඉකුත් මාර්තු මස මෙරට පිරිසක් අතර පැතිර ගිය වෛරසය නොව වෙනත් කොරෝනා වෛරස් ප‍්‍රභේදයක් බවට ඉඟියක් පළ කරමින් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් පසුගියදා පවසා සිටියේ වර්තමානයේ පරීක්ෂණවලින් හඳුනාගනු ලබන කොරෝනා ආසාදිතයන්ගේ ශරීරගතව පවතින වෛරස් අංශු ප‍්‍රමාණය ඉකුත් මාර්තු මාසයේ පැතිර ගිය ප‍්‍රථම කොරෝනා වසංගත රැුල්ලේ ආසාදිතයන්ගේ ශරීරගතව පැවති කොරෝනා වෛරස් අංශු ප‍්‍රමාණයට වඩා වැඩි බවයි. එසේ නම් මේ වනවිට පැතිර යනුයේ බටහිර රටවල හා ඉන්දියාවේ පැතිර යන ශීඝ‍්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් ප‍්‍රභේදය බවට අනුමාන කළ හැකිය.
එහෙත් වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසනුයේ අඩුම වශයෙන් මෙරට පැතිර යන කොරෝනා වෛරස් ප‍්‍රභේදය හෝ නිශ්චිතව හඳුනාගැනීමට මෙරට සෞඛ්‍ය අංශවලට නොහැකිවීම කනගාටුදායක බවයි .
මෙම තත්ත්වය යටතේ වෛරසය කුමක්දැයි යන්න හඳුනාගැනීම වැදගත් බව ඔහු කියයි. මේ වනවිට ශ‍්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිත පොකුරු ප‍්‍රධාන වශයෙන් තුනක් පමණ ක‍්‍රියාත්මකව පවතින නිසා ඔවුන්ගේ ආශ‍්‍රිතයන් සොයා යෑම ද එතරම් පහසු කාර්යයක් නොවන බව පෙනී යන කරුණකි.
මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස්, පැලියගොඩ මාළු වෙළෙඳපොළ හා කුලියාපිටිය යන කොරෝනා ආසාදිත පොකුරු මේ වන විට හඳුනාගෙන ඇති අතර තැනින් තැන එකිනෙකට සම්බන්ධ නොවන කොරෝනා ආසාදිතයන් මතු වීමට පටන් ගෙන තිබීම නිසා මහජනතාව ද කොරෝනා වෛරසය පැතිර යා හැකි යැයි අනුමාන කරන ස්ථානවලට මෙම දිනවල යෑමෙන් වැළකී සිටීම වැදගත්ය. විශේෂයෙන්ම තමන්ට අවශ්‍ය සේවාවන් ලබා ගැනීමේදී මුහුණු ආවරණයක් (මාස්ක්) පැළඳීම ,මීටරයකවත් දුරස්ථභාවයක් එකිනෙකා අතර පවත්වාගැනීම හා නිතර සබන් යොදා දෑත් සේදීම යන කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් තරයේ අනුගමනය කිරීමට සැවොම පෙළ ගැසිය යුතු කාලය දැන් එළැඹ තිබේ.
අනෙක් අතට කොණ්ඩය කැපීමට යෑමේදී, වෙළෙඳසැලකට අත්‍යවශය ද්‍රව්‍ය ලබා ගැනීමට යෑමේදී, බෙහෙත් මිලදී ගැනීමට යෑමේදී, ප‍්‍රතිකාර සඳහා රෝහලකට /බෙහෙත්ශාලාවකට යෑමේදී, බැංකු /සාප්පු ආදියට යෑමේදී වැඩි පිරිසක් නොමැති අවස්ථාවල යෑම මෙන්ම ඒවායේ සිටින නිලධාරීන් කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත්වලට අනුව කටයුතු නොකරන්නේනම් ඔවුන්ට ඒ බව පෙන්වා දීම ට තරම් දැනුවත් භාවයක් මහජනතාව තුළ මේ වනවිට තිබිය යුතුය. පොදු ප‍්‍රවාහන සේවාවන් මෙන්ම ත‍්‍රිරෝද රථවල ගමන් කිරීමේදී රියැදුරන් /කොන්දොස්තරවරුන් හා සෙසු මගීන් සමග අනවශ්‍ය ලෙස කථා කිරීමෙන් හෝ ඔවුන් හා ඍජුවම මුහුණට මුහුණ ලා සිටීමෙන් වැළකීම ද කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීමට උපකාරී වන බව වෛද්‍යවරු පවසති. මේ වනවිට මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා ආසාදිත පොකුරුවලට අයත් සාමාජිකයන්ගේ ආශ‍්‍රිතයන් රජයේ රෝහල්වලින් පවා වාර්තා වීම නිසා ගැටලූකාරී තත්ත්වයක් හටගෙන ඇති අතර ඉදිරියේදී ඉන්ෆ්ලූවන්සා හා ඩෙංගු වැනි රෝග ද හිස එසවීමේ අවදානමක් පැවැතීම නිසා කොරෝනා වෛරසය නිසි පරිදි කඩිනමින් පැතිරීම පාලනය නොකළහොත් එය රටේ රෝහල් පද්ධතියට දරා ගත නොහැකි තත්ත්වයක් වනු ඇත. දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව පුරා පිහිටි රටවලට සිදු කර ඇති අනතුරු ඇඟවීම වනුයේ කිසි විටකත් කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා ගෙන ඇති ක‍්‍රියාමාර්ගයන් මෙම දිනවල වෛරසයේ පැතිරීම තරමක් අඩු වුවද ලිහිල් නොකරන ලෙසයි.
මේ නිසාම මෙරට කොරෝනා වෛරසයේ පැතිරීම දැනට නියපොත්තෙන් කැඩිය හැකි තත්ත්වයක පවතී නම් එය තවදුරටත් විශාල වීම වැළැක්වීම බලධාරීන් සතු යුතුකමක් හා වගකීමක් වේ. මේ වනවිට රටේ තරු හෝටල් මෙන්ම රජයේ රෝහල්වල වාට්ටුවලින් පවා කොරෝනා ආසාදිතයන් මතු වීම නිසා එම අංශ පවත්වාගෙන යෑම ද අභියෝගයට ලක්ව තිබේ. අප විසින් මෙම අංශ කොරෝනා වෛරසය පැතිරීම වළක්වමින් පවත්වාගැනීම මෙන්ම රටේ ආර්ථිකය බිඳ වැටීම වළක්වා රටේ සියලූ ආයතනවල ක‍්‍රියාකාරීත්වය පවා බිඳ වැටීමට ඉඩ නොදී පවත්වා ගැනීමට නම් දීර්ඝ කාලීන සැලැස්මක් හරහා දුරදර්ශීව කටයුතු කළ යුතුව තිබේ. ඒ සඳහා අප රටේ විශේෂඥන්ගේ යෝජනාවලට අනුව කටයුතු කළ යුතුව තිබේ.
කොරෝනා වෛරසය සමග ජීවත් වන ලෙස ජනතාවට පැවසීමට වඩා මෙම අවස්ථාවේ යෝග්‍ය වනුයේ තවමත් හැසිරෙන ආකාරය පිළිබඳව හරියට හඳුනාගත නොහැකි වී ඇති කොරෝනා වෛරසය පැතිරීම සම්පූර්ණයෙන් පාලනය කර, හැකිනම් තුරන් කර ඉදිරියේදී එම වෛරසයට නැවත නැඟී සිටීමට නොහැකිවන ලෙස අවශ්‍ය කටයුතු සිදු කිරීම බව බලධාරීන් විසින් අමතක නොකළ යුතුය. එමෙන්ම නොබෝදා නිකුත් කළ කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අඩංගු ගැසට් නිවේදනය පොදු මහජනතාවගේ යහපත තකා දැඩිව ක‍්‍රියාත්මක කිරීම ද මේ මොහොතේ වැදගත්ය.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!