Gossip

ලිංගික සංක්‍රාංතිකයින්ට රැකියා තහනම්ද?

bhoomi_harendran

ලිංගිකත්වය, ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය කිසියම් වෘත්තියක නිරතවීම ගැටලුවක් වන්නේ කෙසේදැයි සංක්‍රාන්තික ලිංගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරනියක් වන භූමි හරේන්ද්‍රන් ප්‍රශ්න කරයි.

මධ්‍යම පළාතේ ආණ්ඩුකාර පදවියට වෙනත් පුද්ගලයකු පත්කිරීම පිළිබඳව සලකා බලන්නැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමිවරුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.

ආණ්ඩුකාර ධුරය දරන තැනැත්තාට ශ්‍රී දළදා මාලිගයේ පරිපාලනය ප්‍රමුඛ නාහිමිවරු සමග කටයුතු කිරීමට සිදු වන බැවින් ඒ සඳහා කාන්තාවක් පත් කිරීම නුසුදුසු බව නායක හිමිවරුන් අමාත්‍යවරුන් පිරිසකට පවසා ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

මේ අතර සංක්‍රාන්ති ලිංගිකයකු වීම හේතුවෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමන්ට එල්ල වන විවේචන පිළිබඳව මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාරවරිය දැඩි කනස්සල්ල පල කර තිබුණි.

‘මිනිසුන් නොවේද?’

එම වාර්තා පිළිබඳව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වූ භූමි හරේන්ද්‍රන්, ”සංක්‍රාන්ති ලිංගිකයකුට, කාන්තාවකට හෝ සමකාමියකුට ලාංකීය සමාජය තුළ පිරිමියකුට හිමි සමාන අවස්ථා නොලැබෙන්නේද?,” යනුවෙන් ප්‍රශ්න කරයි.

”ඔවුන්ට අනන්‍යතාවක් නොමැතිද? ඔවුනුත් සමාන හැඟීම් දැනීම් ඇති මිනිසුන් නොවේද?, ඔවුන්ට තම අනන්‍යතාව රැක ගනිමින් සිතැඟි රැකියාවක් කිරීමේ අයිතිය නැතිද?.”

භික්ෂූන් වහන්සේගේ ඉහත කී විරෝධයට ඇතැමුන් සහාය පල කරන අතරවාරයේ, තවත් සමහරුන් සමාජ ජාල ඔස්සේ එය විවේචනයට ලක් කර තිබිණි.

“තමන්ට ලැබෙන තනතුරට, එහි වගකීමට, සහ තමන්ට ලැබෙන වැටුපට සාධාරණයක් ඉෂ්ට කරනවා නම්, අවංකව රාජකාරියේ නිරත වෙනවා නම්, පිරිමියෙක්ද, ගැහැනියෙක්ද, සංක්‍රාන්ති ලිංගිකයෙක්ද කියන එක වැදගත් කියලා මම හිතන්නේ නැහැ,” භූමි හරේන්ද්‍රන් කියා සිටින්නීය.

බෞද්ධ සමාජය තුළ සිදු කෙරෙන ඇතැම් ආගමික කටයුතු කාන්තාවන්ට අකැප යැයි පැවසීමද ඇයගේ විවේචනයට ලක්වෙයි.

හේමමාලා කුමරිය

“කාන්තාවක් දන්ත ධාතූන් වහන්සේ වැඩම කරවන්න සුදුසුයි නම්, පිරිමින්ට සමානව දන්ත ධාතූන් වහන්සේට පුද පූජා පවත්වන්න කාන්තාව ඇයි නුසුදුසු” ඔවුන්ගේ මාසික ක්‍රියාවලිය නිසාද? නැතිනම් ලොවට දරුවන් බිහි කරන නිසාද?” යනුවෙන්ද ඇය ප්‍රශ්න කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

ස්වභාවිකව තමන්ට ලැබුණු අනන්‍යතාවය විවේචනයට ලක් කරමින් ආගමික විශ්වාසයන් මත හිඳ කුමන හෝ පුද්ගලයකුට ගැරහීම බෞද්ධ දර්ශනයටත් ශිෂ්ට සමාජයකටත් නුසුදුසු බවයි ඇය පෙන්වා දෙන්නේ.

“ආසියාතික රටක් වන ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයකු වීම දුෂ්කර දෙයක්. තමාගේ ජීවිතයේ ගොඩක් දේවල් සමාජය විසින් උදුරා ගන්නවා.”

“විශේෂයෙන්ම තමන්ගේ පවුල, රැකියාවක් කරන්න තිබෙන අවස්ථාව, අධ්‍යාපනය, තමන් කැමති අයකුට ආදරය කිරීමට තිබෙන අවස්ථාව, විවාහ වීම වැනි දෑ සමාජය විසින් උදුරා ගන්නවා,” සංක්‍රාන්තික ලිංගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරනියක් වන භූමි හරේන්ද්‍රන් වැඩිදුරටත් කියා සිටින්නීය.

මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාරවරියගේ ලිංගිකත්වය පදනම් කරගෙන ඇයට ගැරහීම හෙලාදකින අතරම, පළාතේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා වන ආණ්ඩුකාර පදවියට පත්කිරීමට තරම් ඇය සපුරා තිබෙන සුදුසුකම් කවරේදැයි ඇතැම් විවේචකයෝ ප්‍රශ්න කරති.

BBC ඇසුරෙනි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!