Gossip

මම ඔහුට ජීවිතයට එන්න ඉඩදේවි – මට මැරෙන්න බෑ – මට ඒක මත්තෙම ඉන්න බෑ කොහොමත් – ශලනි තාරකා

ශලනිව බොහෝ දෙනෙක් හඳුනාගෙන සිටියේ රංගන ශිල්පිනියක් විදියට. දැන් ගීපද රචිකාවියක් විදියටත් ශලනි ප්‍රසිද්ධයි?
මම පොඩි කාලේ ඉඳන් කවි ගීත ලිව්වා. ඒවා ප්‍රසිද්ධ කළේ නැහැ. ලියලා හංගගෙන හිටියා. සතුට වැඩි වුණත් දුක වැඩි වුණත් මම කළේ ලියන එක. මීට අවුරුදු එකහමාරකට දෙකකට කලින් ඉඳලා තමයි මම ලියපු ඒවා ෆේස්බුක් දාන්න පටන් ගත්තේ. ප්‍රේක්‍ෂකයන්ගෙන් ඒවට ප්‍රතිචාර ලැබෙන්න ගත්තා.

ඒ ප්‍රතිචාර නිසාද ලියපු පදවැල් ගීතවලට හරවන්න හිතුවේ?
මට ගීත ලියන්න ඕනකම තිබ්බේ නැහැ. ඒත් මගේ ගීත දෙකක් පෙන්නලා කෙනෙක් කිව්වා මෙලඩි එකක් දාලා ගීතයක් කරමු කියලා.. ‘යළි හමු වෙමු’ ගීතය එළියට ආවේ ඒ විදියට. හැබැයි මම ලියපු දෙවැනි ගීතය ‘මා ඔබ හමුවුණ දිනයේ’ ලිව්වේ නම් ගීතයකටමයි.

පළමු ගීතයට වගේම ශලනිගේ දෙවැනි ගීතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති?
අපි මේක හිට් වෙන්නම ඕන කියලා හිතාගෙන කරපු වැඩක් නොවෙයි. ඒත් තරුණ අය අතරේ මේ ගීතය ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. මල් සින්දු ලියලා අඬා වැලපෙන්න මම කැමැති නැහැ. ඉතින් මේ වගේ ගීතයකට ප්‍රතිචාර ලැබෙද්දී සතුටක් තියෙනවා.

දැන් දිගටම ගීත ලියන කාර්යය කරනවාද?
මේ ගීතයෙන් පස්සේ ගීත ලියන්න ආරාධනා ලැබුණා. ඉඳලා හිටලා හොඳ වැඩක් කරනවා ඔළුව නිදහස් කරගන්නත් හිතාගෙන.

ශලනි මේ ලියන්නේ ඔයාගේ ජීවිතයේ හැංගිච්ච දේවල්ද?
‘මා ඔබ හමුවුණ දිනයේ’ ගීතය ලිව්වේ නම් පසන් එක්ක කතා කරලා ගීතයක් කරන අදහසින්මයි. අපි ලියන දේවල්වලින් ජීවිතේ යම් කොටසක් එළියට එනවා. ඒක ඕන කෙනෙක්ට අදාළයි. මට විතරක් නෙවෙයි.

ඔහොම ඉඳලා ශලනි ගායිකාවකුත් වෙයිද?
අම්මෝ මම බැරි වැඩ නම් කරන්නේ නෑ. මට සින්දු කියන්න බෑ. සින්දු කියන්න අවශ්‍යතාවකුත් නෑ. මේ විදියට පද රචනයෙන් යම් දෙයක් කරනවා.

ශලනි රංගනයෙනුත් මේ දවස්වල කාර්යබහුලයි වගේ?
ඔව්. කෝටිපතියෝ, සූරිය වච්චසා, හරස්පාර කියන නාට්‍ය විකාශය වෙනවා. ඒ නිර්මාණවල රූගත කිරීම් කරගෙන යනවා. ‘විය සිදුරු’ කියන චිත්‍රපටයෙත් වැඩ අවසන් කළා.

කාලයක් නිහඬ වෙලා හිටිය ශලනි දැන් සුපුරුදු විදියට වැඩ පටන්ගෙන නේද?
ඔව්. මම මෙගා නාට්‍යවලට නම් සම්බන්ධ වෙන්නේ නෑ කියලා හිතුවා. ඒත් කෝටිපතියෝ නාට්‍යයට මට ආරාධනා ලැබුණා. මගේ චරිතය කොටස් හැත්තෑවක් පුරා තමයි විකාශය වෙන්නේ. කොහොම වුණත් කොටස් සියයට අඩු නාට්‍යවලට සම්බන්ධ වෙනවා. මෙගා නාට්‍යවලට සම්බන්ධ වෙලා එකම නිර්මාණයේම රැඳිලා ඉන්න අමාරුයි. ඒ තෝරා ගැනීම තමයි කරන්නේ. ඉතින් සුපුරුදු විදියට ඒ වැඩ කටයුතු කරගෙන යනවා.

ශලනි දැන් ක්‍ෂේත්‍රයට ඇවිත් කාලයක් වෙනවනේ. දවසින් දවස අලුත් අලුත් රංගන ශිල්පිනියන් ක්ෂේත්‍රයට එකතු වුණත් ශලනිගේ වටිනාකම අඩුවෙලා නෑ නේද?
මම දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහයක් වෙනවා. මගේ ඉල්ලුම අඩුවෙලා නැහැ. මාසෙකට නාට්‍ය හතරකටවත් මට කතා කරනවා. දින කළමනාකරණය කරගන්න අමාරු නිසා එන හැම වැඩේම භාර ගන්නේ නෑ. මගේ අවශ්‍යතාවට තමයි මම මාස තුනක් ක්ෂේත්‍රයේ නිහඬ වෙලා හිටියේ.

ක්ෂේත්‍රයෙන් නිහඬ වෙලා පුංචි කාලයක් හරි හිටියනේ. ඒත් තාමත් ඔබ ජනප්‍රිය නිළි සම්මානයෙන් පිදුම් ලබනවා.
ඒක වාසනාවක්. ක්ෂේත්‍රයට ඇවිත් හැලිලා ගිය අය ඕන තරම් ඉන්නවා. රැඳී ඉන්න හරි අමාරුයි. ක්ෂේත්‍රයේ රැඳෙන්න දක්‍ෂතාව වගේම වාසනාවත් තියෙන්න ඕන. මොන ප්‍රශ්නය ආවත් මට ආදරය කරන මගේ රංගනයට ආදරය කරන ප්‍රේක්‍ෂකයෝ ගලවන්න බෑ. ඒක මට මේ පාර ලැබිච්ච ජනප්‍රිය නිළිය සම්මානයෙනුත් ඔප්පු කරලා තියෙනවා.

ශලනිට පසුගිය දවස්වල බොහෝ විවේචන එල්ල වුණා. ඒ විවේචන එක්ක බොහෝ අය හිතුවේ ශලනිගේ කාලේ දැන් ඉවරයි කියලා. හැබැයි ශලනි ඒ සිතුම් පැතුම් බොරුවක් බවට පත්කළා නේද?
මම කාටවත් වරදක් කරලා නැහැ. අවංකවම මම සතෙකුටවත් වරදක් නොකරපු කෙනෙක්. වැරැදි කරපු අයට ස්වභාවධර්මයෙන් දඬුවම් ලැබුණා. මම තව තවත් ශක්තිමත් වෙලා ඉදිරියට ආවා. වෙච්චදේ එක්ක ක්ෂේත්‍රයේ වගේම ක්ෂේත්‍රයේ පිට ගොඩක් මිනිස්සු හඳුනාගන්න ලැබුණා. ඒ වුණ සිද්ධිය මගේ ජීවිතයට පරීක්‍ෂාවක් වගේ. මට කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ. ඒ සිද්ධිය ගැන මට පසුතැවීමක් නෑ. මම ගොඩක් ශක්තිමත් වුණා. දැන් ඉතිං මාව වට්ටන්න පුළුවන් මාරයට විතරයි.

ඒ සිදුවීමේදී ශලනිව අතහැරලා දාපු ක්ෂේත්‍රයේ අය හිටියද?
අපි වැටෙනකල් බලාගෙන ඉන්න අය ඉන්නවනේ. මම වැඩ කරන්නේ නැතුව හිටියම සමහරු හිතුවා මම ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලාම යයි කියලා. මම ආයෙත් වැඩ පටන් ගත්තම දරාගන්න බැරිවුණ අය හිටියා. අදටත් මාව ආරක්‍ෂා කරගෙන ඉන්න විශාල පිරිසක් ඉන්නවා. හිතුවේවත් නැති අය මං වෙනුවෙන් හිටියා. හිතාගෙන හිටපු අය මං වෙනුවෙන් හිටියේ නැහැ. කොහොම වුණත් මම හැමෝම එක්ක කතාබහ කරලා ඉන්නවා. සතුටේදී ඉන්න අය දුකේදී අපිත් එක්ක නැහැ. ඒක තේරුම් ගත්තා. කොහොම වුණත් කෙනෙක් වැටිලා ආයෙම නැඟිටින්නේ පන්නරයක් ලබලා. ආයෙත් කාටවත් මාව වට්ටන්න බෑ.

මේ ප්‍රශ්නයේදී සමහරු ඔබව වැරැදිකරු කළේ ඔබෙන් කිසිදෙයක් අහන්නේ නැතිව නේද?
ලංකාවේ අය දෙන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ. මගේ පැත්තෙන් දේවල් අහන්නේ නැතුව සමහරු තීන්දු දෙන්න ගත්තා. මම ඒවට නිහඬව හිටියා. මම හරි කියලා මගේ හෘද සෘක්‍ෂිය දන්නවා. මම නිවැරැදියි කියලා කී දෙනෙක්ට කියන්නද. මම දන්නවා මම වැරැද්දක් කළේ නෑ කියලා. මම ගත්ත හොඳම තීරණය ගත්තේ. වගකීම ඉෂ්ට කරගන්න බැරි වුණ අය කෑ ගැහුවට මම දන්නවා මම හරි කියලා.

ඔබ නිහඬ වෙලා නොහිටියා නම් ඔබ ඒ තරම් වැරැදිකාරියක් වෙන්නේ නෑ නේද?
මටත් කියන්න දේවල් වගේම සාක්‍ෂි ඇතුව ඔප්පු කරන්න දේවල් තියෙනවා. කෙනෙක්ගේ ජීවිතයට කැළලක් ඇති කරලා ජීවත් වෙන්න මට ඕනේ නැහැ. මට මීඩියා කනෙක්ෂන් ඕනතරම් තියෙනවා. නමුත් මම ඒවට කිසිම වෙලාවක කතා කළේ නෑ. තේරුම් කරන්න ගියේ නෑ. විශ්ව ශක්තිය කියන දේ කැරකිලා එනවා. සියයට අනූවක් දෙනා ඇත්ත දේ තේරුම් අරගෙන තියෙනවා.

ඒ අඳුරු සිදුවීම වෙලා වසරකුත් ගතවෙලා. ඒ සිද්ධිය සහ කෙනාව ඇත්තටම අමතක කරලා දාන්න පුළුවන්ද?
ජීවිතයේ නොහිතපු දෙයක් වුණේ. තමන්ගේ ළඟින් හිටපු, එක මොහොතකට හරි ළංවෙලා හිටපු කෙනෙක්ව අවුරුදු ගාණක් දන්න යාළුවෙක්ව අමතක කරන්න පුළුවන්කමක් නෑ. හැබැයි මම ඒකෙම එල්බගෙන ඉන්නෙ නෑ. මගේ ගමන මම යන්න ඕන. මට මැරෙන්න බෑ. මට චරිත දෙද්දී ඒක හිත හිත අඬ අඬ ඉන්න බෑ. මම කරන දේ හරියට කරන්න ඕන. මගේ අන්තිම හුස්ම වෙනකල් මට ඒ දේ අමතක කරන්න බැරිවෙයි. මම ඒ කාලෙම අයින් වෙලා මගේ ජීවිතය හදාගෙන වෙන පැත්තකට ගියා. ඒක මම දන්නවා. මට ඒක මත්තෙම ඉන්න බෑ කොහොමත්.

ශලනි දැන්ම ජීවිතයට විශේෂ කෙනෙක් තෝරගන්න එකක් නැද්ද?
එහෙම දෙයක් දැන්ම හිතන්නේ නැහැ. මට දැන් ඊට වඩා වැඩ තියෙනවා. මම මානසිකව, කායිකව දුක් විඳලා හිත හදාගත්තා විතරයි. ඇත්ත කියන මාව බලාගන්න පුළුවන් හරි හමන් කෙනෙක් මගේ හිත වෙනස් කළොත් මම ඔහුට ජීවිතයට එන්න ඉඩදෙයි. සමහරු කියනවා ඒ දේ අමතක කරලා විවාහ වෙන්න කියලා. කවුරුවත් අහන පළියට ඒ කියන පළියට විවාහ වෙන්න මට ඕනේ නැහැ.

ශලනි ජීවිතයේ ලොකු ලොකු බලාපොරොත්තු තියාගෙනද ඉන්නේ?
එහෙම ලොකු බලාපොරොත්තු මට නැහැ. ඉස්සර නම් මෙහෙම කරන්න ඕන කියලා එක එක බලාපොරොත්තු තිබ්බා. දැන් තියෙන්නේ මේ මොහොතේ කරදරයක් නැතුව ජීවත් වෙන එක. මම හෙට මැරෙයිද දන්නේ නෑ. අපට තියෙන්නේ අස්ථිර ජීවිතයක්. මම කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න තමයි උත්සාහ කරන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!