Gossip

අර්ජුනගේ තර්ජන මැද්දේ ලබාගත් සනා බෝයිගේ මංගල එක්දින ශතකය

සනත් ජයසූරිය ජාතික එක්දින කණ්ඩායමට එක්වන්නේ 1989 දෙසැම්බර් 26 වනදාය.
ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිවයි.මුලින් ජයසූරිය නම් ක්‍රීඩකයා කණ්ඩායමට එක්වූයේ පන්දු යැවීමේ අංශය හේතුවෙනි.
එකල ජයසූරිය පිතිකරණයට එතරම් ප්‍රසිද්ධ නොවූ නමුත් 90 දශකය මැද භාගය වනවිට ජයසූරිය කෙමෙන් කෙමෙන් කණ්ඩායමේ නම්දැරූ පිතිකරුවන්ගේ ගොන්නට එක්වීමට සුදුසුකම් ලැබීය.
සනාබෝයි මුල්ම එක්දින ශතකය ලබාගන්නේ 1994දීය. ඒ නවසීලන්තයට එරෙහිවයි. මේ එදින සිදුවූ රසවත් සිද්ධියකි.
ඔබ සැම දන්නා පරිදි අර්ජුන රණතුංග කැප්ටන් කූල්ය. ඒ හිතේ ඇතිවන හැඟීම් මූණෙන් නොපෙන්වීමට තරම් අර්ජුන පරිණතයෙකු වීම නිසයි. නමුත් අර්ජුන රණතුංග යනු තද ගති තිබූ නායකයෙකි.
තම කණ්ඩායමෙන් තමන්ට අවශ්‍ය දේ හොඳින් හෝ නරකින් ලබා ගැනීමට ඔහු හොඳින් දැන සිටියේය.
අර්ජුන ගැන වරක් අදහස් දැක්වූ ශේන් වෝන් පැවසූයේ තමාට හමුවූ දරුණුතම ප්‍රතිවාදියා අර්ජුන රණතුංග බවයි. ඒ අර්ජුන රණතුංගගේ සාමාන්‍ය ස්වභාවයයි.
රූපවාහිනියෙන් වරෙක ඔබට පෙනෙන්නේ අර්ජුන තම සහෝදර ක්‍රීඩකයෙක්ගේ කරට අතදමා ආදරයෙන් කතා කරන හැටිය.
නමුත් ඇත්තටම සිදුවන්නේ සහෝදර ක්‍රීඩකයාට අර්ජුන අමු තිත්ත කුණුහබ්බෙන් මුළු පරම්පරාවම මතක් කර ඇමතීම විය හැක.එහි කිසිම වැරැද්දක් දකින්නේ නැත.කණ්ඩායමකට අවශ්‍ය වන්නේ ඔහේ උඩ බලන් ඉන්න නායකයෙකු නොව නිසි වේලාවේදී නිසි තීරණ ගන්නා නායකයෙකි.
අපි අර්ජුනට සදා ණයගැති වන්නේ තම ක්‍රීඩකයන් හැසිරූ අයුරුත් අවශ්‍ය දේ අවශ්‍ය වේලාවේදී නිසි ලෙස ලබාගත් ඒ අසහාය නායකත්වය නිසයි.
අර්ජුන ගැන කතාවෙන් මාතෘකාව අමතක වූවා නොවේ.කවරදාටත් වඩා අර්ජුන, මහේල වැනි නායකයින් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ වර්තමානයේය.එබැවින් එවැනි නායකයින් සිහිපත් කිරීමද මා හට නම් අසීමිත තෘප්තියකි.
ඉතින් 1994 දෙසැම්බර් මස 8 වෙනිදා සිදුවූ ඒ රසවත් සිද්ධියට නැවතත් එමු.
සනාබෝයි මුල් අවුරුදු 5 තිස්සේම උත්සහ කලේ තමාට ආවේනික වූ ඒ හැකියාව හරිහැටි ලෝකයාට පෙන්වීමටයි. 93 වසරේ මාර්තු 20 වෙනිදා මොරටුවේදී එංගලන්තයට එරෙහිව විකට් 6ක් ලබාගැනීම හැරෙන්නට විශේෂ දස්කමක් දැක්වීමට සනා අසමත් විය.
එම නිසා 94දී ලබාගත් ශතකය ක්‍රිකට් ලෝකයට සනත් ජයසූරිය නම් අති භයානක පිතිකරුවාගේ ආගමනයේ සලකුණු පෙන්වූ මුල්ම අවස්ථාව ලෙස සැලකීම වැරැද්දක් නොවන බව මගේ හැඟීමයි.
1994 මැන්ඩෙලා කුසලානය තරඟාවලිය පැවැත්වූයේ දකුණු අප්‍රිකාවේදීය.
ප්‍රබල පකිස්ථානය, දකුණු අප්‍රිකා කණ්ඩායම, නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති මේ තරඟාවලියේ 4 වෙනි තරඟය පැවැත්වූයේ දකුණු අප්‍රිකාවේ Bloemfontein හීදීය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට තීරණය කල අතර ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ රොෂාන් මහනාම සමග සනත් ජයසූරියයි.
අවාසනාවකට එසේ පැමිණි දෙදෙනාගෙන් එක් අයෙකුට ලකුණු නොලබා ක්‍රීඩාගාරයට යෑමට සිදු වුණි. ඒ රොෂාන් මහනාමයි.
මුල් කඩුල්ල ඉතා ඉක්මනින් දැවී ගිය පසු පිටියට පිවිසි කණ්ඩායමේ තාප්පය ලෙස හැඳින්වූ අසංක ගුරුසිංහ සමග එකතු වූ සනත් ජයසූරිය ස්ථාවර ඉනිමක් ගොඩනැගීමේ පියවර තැබීය.
පිටිය සිසාරා හිතේ හැටියට පහර එල්ල කල සනාබෝයිට අර්ධ ශතකය ලබාගැනීමට වැඩි වේලා ගතවූයේ නැත. රසවත් සිද්ධිය ඇරඹෙන්නේ මේ මොහොතේදීය. මෑතකදී තිබූ සාකච්ඡාවකද ජයසූරිය සඳහන් කල පරිදි ජයසූරියගේ භාෂාවෙන්ම මම ඒ කොටස ඉදිරිපත් කරමි.
“මම අර්ධ ශතකයත් පහු කරලා ලකුණු 60ක් වගේ ගහලා ඉන්නකොට මම අනවශ්‍ය පහරකට ගිහින් උඩපන්දුවක් ලබාදුන්නා.
වාසනාවකට ඒ උඩපන්දුව යොමුවුණේ පන්දු රකින්නෙක් නැති තැනකට.
එදා මැච් එකේ සයිඩ් ස්ක්‍රීන් එක කෙලින්ම තමයි අපේ ඩ්‍රෙසින් රූම් එක තිබ්බේ.අර මෝඩ පහර ගහලා ඉවර උනාට පස්සේ මම දැක්කා සයිඩ්ස්ක්‍රීන් එක උඩින් අර්ජුන අයියා ඉන්නවා.
එතන ඉඳන් කියන දෙයක් පිච් එකේ ඉන්න අපිට ඇහෙනවා.

අර්ජුන අයියා මා දිහා බලාගෙනම ඇඳන් හිටපු තුවායත් ගැටගහගෙන නැගිට්ටා.
නැගිටලා අතකුත් උස්සලා කිව්වා,
“…… උඹ 100ට මෙහායින් අවුට් වෙලා එහෙම ඩ්‍රෙසින් රූම් එකට එහෙම එන්ඩ හිතන්නවත් එපා” කියලා.
ඒක ඇහුනම මගේ මයිල් කෙලින් වුණා ඇත්තම කිව්වොත් අර්ජුන අයියගෙන් බැනුම් අහන්න නම් ලේසි නෑ.එවෙලෙම මම හිතාගත්තා පුළුවන් උපරිම ගාන මම අද ගහනවා කියලා.”
ඉතින් මේ සිද්ධියෙන් පසු ඉතා හොඳ සබඳතාවයන් දෙකක් ගුරුසිංහත්, අරවින්දත් සමඟ පවත්වාගත් ජයසූරිය දැවී යනවිට පන්දු 143කදී ලකුණු 140ක් රැස්කර අවසන්. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 288ක් ලබාගන්නවා.
සනා – 140
ගුරා – 53
අරා – 55
අර්ජුන – 20*
අවාසනාවකට මේ තරඟයට වර්ෂාවෙන් බාධා වෙනවා. වර්ෂාව ආරම්භ වනවිට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරපු නවසීලන්තය පන්දුවාර 14.3ක් අවසානයේ ලකුණු 68ක් 1 විකට්ටුවක් දැවී රැස්කරගත්තා.
දෙපිලටම ප්‍රසාද ලකුණු 1 බැගින් ලබාදෙමින් තරඟය අත්හැර දැමුණා.
ජයසූරිය ශතකයක් ලබාගත් තරඟයක් ශ්‍රී ලංකාව ජය නොගත්තේ ඉතාම කලාතුරකින්.මේ තරඟය ඒ විරල අවස්ථාව මුලින්ම සිදුවූ දිනයයි. එදායින් ඇරඹුන සනාබෝයිගේ එක්දින ශතක රැස්කිරීමේ ඒ ගමන නැවතීමේ තිත තැබූයේ 2011 ඔහු විශ්‍රාම යන විටදීය.අදටත් ඔහු ශ්‍රී ලංකාවේ වැඩිම ශතක ලාභියාය.
මේ ලිපිය ලියන අවස්ථාවේදී
“ICCයට අවශ්‍ය වූ වේලාවේදි පෞද්ගලික ජංගම දුරකථනය ඉදිරිපත් නොකිරීම” වෙනුවෙන් පමණක් චෝදනා ලැබ සිටින ඔහුට තරඟ පාවාදුන් කෙනෙකු ලෙස සලකා ඔහු රටට කල කී දෑ සැනින් අමතක කර නිරපරාදේ බැන වැදීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමින් ලිපිය හමාර කරමි.
* සනාට මැච් විකුණනවා නම් ලෝකේ හිටපු අනිත් හැම ප්ලේයර්ටම වැඩිය චාන්ස් තිබ්බා තමන් ක්‍රීඩා කරන කාලෙදිම ඒක කරන්න.
කවදාවත් එහෙම නොකරපු සනා දැන් එහෙම කරයි කියලා නම් හිතන්නේ නෑ

– හේලිත හෙට්ටිආරච්චි –

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!