Gossip

“කවුරුහරි මනුස්‌සයෙක්‌ එක්‌ක යනවට වඩා හොඳයි තනියම ඉන්නවා” – ආදරය නිසා ශාලිකා කලකිරීමෙන්

ඇය කලා ක්‌ෂේත්‍රයට පය තබලා පොඩි කාලයක්‌ කියලනම් කාටවත්ම කියන්නට බැහැ. මොකද අවුරුදු දහසයක්‌ කියන්නේ සුළුපටු කාලයක්‌ නොවෙන හින්දා. ඇය එදා වගේම ජනප්‍රියයි. තවමත් ඇයට ප්‍රේක්‍ෂකයා ආදරෙයි. තමාගෙ පාඩුවේ නිදහසේ තමන්ගේ ගමන යන ඇය සුරූපී රංගන ශිල්පිනී ශාලිකා එදිරිසිංහ. ඇයගේ උපන්දිනයත් පහුවුණා. ඇයට සුබ පතන්න අපි ඇයට කතා කළා. ඒ අතරේ ඇය අපිට මෙන්න මෙහෙමත් කියනවා….

ඉතිං ශාලිකා කොහොමද ?

හොඳින් ඉන්නවා. වරදක්‌ නෑ.

වැඩද මේ දවස්‌වල ?

ටෙලි නාට්‍යයක වැඩ කරගෙන යනවා. තවත් චිත්‍රපටයක කටයුතු කරගෙන යනවා. ඒ වගේම සොකරි කියන වේදිකා නාට්‍යයේ පුහුණුවීම් කටයුතුත් කරගෙන යනවා. ඒවා තමයි මේ දවස්‌වල වැඩ.

වැඩිපුර පේන්න නැත්තේ ?

පසුගිය කාලේ නම් පේන්න හිටියා. පේන්න නැතුව හිටියේ නැහැ. දැන් මේ කාලේ තමයි ටිකක්‌ රූපවාහිනියේ අඩුවෙන් පේන්නේ. කරපු ටෙලි නාට්‍යය තියෙනවා. ඉදිරියේදී බලන්න පුළුවන්.

උපන්දිනේ ජයටම සැමරුවා කියලා ආරංචියක්‌ ආවා ?

මට ජය සැමරුවා නෙවෙයි. ගියපාරත් උපන්දිනේට පන්සලේ තමයි පිළිවෙත් කළේ. මේ පාරත් ඒ වගේම සමාජ සේවා කටයුතුවල තමයි යෙදුණේ. මේ පාරත් ළමා නිවාසයක දරුවන් සමඟ ඒ අයගේ සතුට වෙනුවෙන් මගේ උපත මං කැප කළා.

මේ වගේ කාලෙක ඒ වගේ දෙයක්‌ කරන්න හිතුවෙ මොකද ?

එතන හිටියේ දෙමාපියන් නැති දරුවන්. ඒක උපත හා සම්බන්ධ දෙයක්‌. එයාලට ඒ දේ උපතින් ලැබුණේ. අපි මැරෙන්නෙ කවදද කියන්න අපි දන්නෙ නැහැ. එහෙම දෙයක්‌ අපිට කරන්න පුළුවන්නම් ඒක හරි වටිනවා. හැමෝටම ඒ සතුට දෙන්න පුළුවන්නම් ලොකු දෙයක්‌ ඒක. මගේ උපත වෙනුවෙන් දවසකට හරි එහෙම කරපු එක තමයි මම කරපු හොඳම දේ. එහෙම තමයි උපන්දිනේ සැමරුවේ.

උපන්දිනේම හැමදාම සමරන්නද හිතන් ඉන්නේ ? වෙඩින් එක දැන් සැමරුවොත් හොඳ නැද්ද ?

ගන්නනම් ඕන. ඒක ඒතරම් ලේසි දෙයක්‌ නෙවෙයි. මෙච්චර කාලයක්‌ හිටපු එකේ හරියන කෙනෙක්‌ හමු නොවුණොත් ඒක හරි අපරාධයක්‌. මොකද ජීවිතේ තියෙන්නෙ විඳින්න. හරි කෙනෙක්‌ මුණ නොගැහුණොත් ජීවිතේම අපරාදේ. හොඳ කෙනෙක්‌ ලැබුණොත් නම් ජීවිතේ ඉදිරි කාලය හොඳින් ගෙවෙයි. හදිසිවෙලා හැඟීම්වලට වහල්වෙලා තීරණ ගත්තොත් ජීවිතේ විඳවිමක්‌ වෙනවා. ඊට වඩා හොදයි මෙච්චර කල් හිටපු එකේ ටිකක්‌ පහුවෙලාම විවාහ වෙනවා.

එතකොට ශාලිකාගෙ ජීවිතේ අමාරුම දේද හරියන කෙනෙක්‌ හොයාගන්න එක ?

ඔව් ඇත්තටම ඒක ලේසි දෙයක්‌ නෙවෙයි. මොකද වෙනමම කෙනෙක්‌ තමයි ජීවිතේට ළංවෙන්නේ. ඒ කෙනා අපිට සුදුසු විය යුතුයි. අඩුම තරමේ අපේ ජීවිතේ ගැනවත් ඒ කෙනාට අවබෝධයක්‌ තිබිය යුතුයි. කවුරුහරි මනුස්‌සයෙක්‌ එක්‌ක යනවට වඩා හොඳයි තනියම ඉන්නවා. ඒකයි ඒක මට ඒ තරමටම අමාරු. බලමු ඉතිං.

ක්‌ෂේත්‍රය මේ යන ක්‍රමය ගැන මොකද අදහස ?

මේ යන ක්‍රමය ගැනනම් ලොකු සතුටක්‌ නැහැ. මොකද මං දැන් ක්‌ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 16 ක්‌. ඒ කාල පරාසය ගැන හිතනකොට දැන් තත්ත්වය ගැන නම් දුකයි.

හේතුව ?

එදා දේවල් අද නැහැ. හැමදෙයක්‌ම වෙනස්‌වෙලා. ඒ වෙනස්‌වීම හොඳ පැත්තට නෙවෙයි. වැරදි පැත්තටයි වැඩි. ගොඩක්‌ දේ පිරිහිලා තියෙනවා. කලකිරෙන අවස්‌ථා වැඩියි.

නිර්මාණ ගැන තෘප්තිමත්ද ?

නිර්මාණ වුණත් හොඳ නිර්මාණ දැන් කෙරෙනවා අඩුයි. ඉන්දියානු ටෙලි නාට්‍යය ලංකාව ආක්‍රමණය කරල අද වන විට. අපේ දේ අපිට නැතිවෙලා ගිහිල්ලා. 8 – 10 බෙල්ට්‌ එක පිටරටට ගිහිල්ලා. ඒවගේත් තියෙන හොඳ දේවල් අඩුයි. දුකයි ඉතිං.

ශාලිකා කලකිරීමෙන්ද කතාකරන්නේ ?

ඔව් කලකිරීමක්‌ තියෙනවා හිතේ ඒ දේවල් එක්‌ක. ඒවා වෙනස්‌ කරගෙන දැන්වත් ගියොත් අපිට ගොඩ එන්න පුළුවන් වෙයි.

ගොඩනගන්න උත්සාහ කළොත් කෙනෙක්‌ ශාලිකා සූදානම්ද දායකත්වය ලබාදෙන්න ?

මම අනිවාර්යෙන් දායකත්වය ලබා දෙනවා ඒ වෙනුවෙන්. මොකද මේක අපි හම්බකරගෙන කන රස්‌සාව. ආදරෙයි අපි ඒකට. අනිවාර්යෙන් දෙයක්‌ කළයුතුයි අපි ඒ වෙනුවෙන්. ප්‍රේක්‌ෂකයා බලන් ඉන්නවා අපි ඔවුන්ට හොඳ දෙයක්‌ දෙනකන්.

මෙගා රැල්ල ගැන මොකද හිතන්නේ ?

ඒකටම පිරිසක්‌ ඉන්නවා. ඒ හින්දා ගොඩක්‌ දෙන්නගෙ හැකියා සීමාවෙලා තියෙනවා. ඒක හානිකරයි.

ටෙලියක්‌ නිෂ්පාදනය කරන්න අධ්‍යක්‌ෂණය කරන්න අදහසක්‌ නැද්ද තාම ?

අදහසක්‌ තියෙනවා. තවත් ඉගෙනගන්න තියෙනවා ගොඩක්‌ දේවල්. කරනවනම් හරියට දෙයක්‌ කරන්න ඕන. බොරුවට කළා කියන්න කරල වැඩක්‌ නෑ.

රංගනය රැකියාව කරගෙන ඉන්න එක සුදුසුද දැන් ?

මේ යන රටාවටනම් ඒක අමාරුයි. මොකක්‌හරි ව්‍යාපාරයක්‌ පටන්ගත්තනම් හොඳයි කියල හිතෙනවා දැන්.

ඒ කියන්නේ ශාලිකා අනාගතේ ව්‍යාපාරික කාන්තාවක්‌ වෙයිද ?

අනිවාර්යෙන් එහෙම වෙයි.

ඉදිරියේදි එන්න තියෙන වැඩ ගැන කිව්වොත් ?

චිත්‍රපට කරපුව ගණනාවක්‌ තියෙනවා එන්න. ශ්‍රී වික්‍රම රාජසිංහ, රාක්‌ෂා, බුද්ධි, තුන් වරක්‌ තුන වගේ චිත්‍රපට ගණනාවක්‌ බලාගන්න පුළුවන් ඉදිරියේදී. වේදිකා නාට්‍යයක්‌ සහ ටෙලිනාට්‍යයකුත් තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!