Gossip

ඒක මගේ ජීවිතේටම බද්ධ වෙලයි තියෙන්නේ – ආදරේ මතයි අපේ ජීවිත තීරණය වන්නේ – මාධව විජේසිංහ

මාධව විජේසිංහ කියන්නේ රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් විදියටත් ප්‍රසිද්ධ වූ කෙනෙක්. මේ ඔහුගේ අලුත් තොරතුරුයි.

මොනවද අලුත් තොරතුරු?
මේ දිනවල නාට්‍යවල වැඩකටයුතු වල නිරතවෙලා ඉන්නවා. ඊට අමතරව සුපුරුදු පරිදි ටීවී දෙරණේ මගේ නිවේදන වැඩත් කරගෙන ඉන්නවා.

නිතරම ටීවී දෙරණ හරහානේ ඔබව දකින්නේ. මුලින්ම කොහොමද දෙරණට එකතු වුණේ?
ටීවී දෙරණ ආරම්භයත් එක්කම වගේ මටත් දෙරණට එකතු වෙන්න අවස්ථාව ලැබෙනවා. ජනප්‍රිය නිළි වොල්ගා කල්පනී තමයි මටත් දෙරණ ‘ස්ටාර් ඉන් අ මිනිට්’ කියන වැඩසටහනේ නිවේදකයන් විදිහට යමුයි කියන ආරාධනය කරන්නේ. ඒ විදිහට ආපු ගමනේ මේ වෙනකොට මම නිදහස් මාධ්‍යවේදියෙක් හැටියට ටිවී දෙරණ හරහා මිනිස්සු අතරට ගොඩක් ළංවුණා. පාසල් යන කාලේ ඉඳන් අවුරුදු 12ක් වගේ කාලයක් තවමත් මම ටීවී දෙරණත් එක්ක රැඳිලා ඉන්නවා.

නිතරම පුංචි දරුවොත් එක්කම ඉන්න නිසා ඔවුන් ඔබට ගොඩක් සමීප ඇති නේද?
සාමාන්‍ය ජීවිතයේදීත් මම පොඩි දරුවන්ට ගොඩක් ආදරෙයි. එයාලා මාත් එක්ක හරි යාළුයි වගේම මට ගොඩක් සමීපයි. ඉතින් මේ වැඩසටහන තුළදීත් පොඩි දරුවෝ මට හරිම එකතුයි. ඒක ලොකු පහසුවක් ඔවුන් සමග වැඩ කරනකොට. කැමරා ගොඩක් මැද නුහුරු පරිසරයක හුරු බවක් දෙන්න අපි එයාලට ගොඩක් ළංවෙන්න ඕන.

පුංචි දරුවොත් එක්ක වැඩ කරනකොට වුණු අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති නේද?
ළමයින් එක්ක වැඩ කරන එක තමයි අමාරුම දේ. මොකද අපි එයාලව හොඳින් තේරුම් ගන්න ඕන. අපි කරපු එක වැඩසටහනක රෑ අට විතර අපි එක වැඩසටහනක් කළා. එතකොට අවුරුදු 4ක පුංචි පුතෙක් හිටියා තෙහාන් කියලා. ඒ වෙලාවේ එයා හොඳටම නිදි. ඉතින් එයාගේ අවස්ථාවේ එයා ඇහැරුණා. නමුත් සින්දු කියන්න බෑම කීවා. ඉතින් පස්සේ මම එයාව ටිකක් වඩාගෙන හිමිහිට එයාව කැමති කරගෙන සින්දුව කියන්න වේදිකාවට යැව්වා. ඒ වගේ අවස්ථා ගොඩක් තියෙනවා.

ඔබ වඩාත් කැමති නළුවටද, නිවේදකයාටද?
ඒක උත්තරයක් දෙන්න අමාරු ප්‍රශ්නයක්. වැඩියෙන්ම ආදරේ අම්මටද, තාත්තටද ඇහැව්වා වගේ. වෘත්තීන් දෙකක්. ගොඩක් ආදරෙන් වගකීමෙන් අවබෝධයෙන් වෘත්තීන් දෙකේම නියැළෙනවා.

වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ නළුවාටද? නිවේදකයාටද?
එතැනදිත් ලැබෙන ප්‍රතිචාර වෙන් කරලා හඳුනා ගන්න අමාරුයි. මොකද එකිනෙකා මාව දකින්නේ විවිධ විදිහට. ඉතින් විවිධාකාර ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක්ම මාව ධෛර්යමත් වන ආකාරයේ හොඳ ප්‍රතිචාර නිතරම ලැබෙනවා.

රංගනයේදී ඔබ එකම චරිතයකට කොටුවෙලා කීවොත්?
මට එහෙම හිතෙන්නේ නෑ. මොකද මට විවිධ චරිත හමුවුණා. වර්ණ ටෙලි නාට්‍යයේ මම වෙනස්ම චරිතයක් කළා. ඒ වගේම සිකුරු ලග්නය නම් හාස්‍යයෝත්පාදක නාට්‍යක මම රංගනයේ යෙදුණා. රාමුවෙන් මිදිලා විවිධ චරිත තුළින් මම ප්‍රේක්ෂයෝ අතරට ගිහින් තියෙනවා. තවම තාරුණ්‍ය පසු කරමින් ඉන්න නිසා බොහෝ දෙනෙක් මම එක චරිතයකට කොටුවෙලා කියලා දකිනවත් ඇති.

ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්න චරිතයක් තියෙනවාද?
එහෙම විශේෂ චරිත නැහැ. නමුත් අරක්කු, සිගරැට් භාවිත නොකරන කෙනෙක් හැටියට අරක්කු සිගරැට් සහ මත්ද්‍රව්‍ය ප්‍රවර්ධන වන ආකාරයේ චරිත මම භාරගන්නේ නෑ. මොකද මම විශ්වාස කරනවා අපි දිහා බලන පිරිස යම්තාක් දුරට හෝ අපිව අනුගමනය කරනවා. ඉතින් මම සමාජයට වැරදි ආදර්ශයක් දෙන්න කැමති නෑ. ඒක මගේ සමාජ වගකීමක්.

සිනමාවට ඔබේ වැඩි කැමැත්තක් නැද්ද?
මුලින්ම මම ක්ෂේත්‍රයට එන්නෙත් සිනමාව හරහා. මට සිනමාවට සම්බන්ධ වෙන්න ලොකු අවස්ථා ලැබිලා නෑ. ලැබුණු එකම අවස්ථාව අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත කතාව ඇසුරින් නිමවුණු චිත්‍රපටය. එහි ඒ චරිතය පිළිබඳ හොයා ගිය ගවේෂණශීලී තරුණයෙක්ගේ චරිතය මට ලැබුණා. අශෝක හඳගම මහතාගේ චන්ද කින්නර චිත්‍රපටයෙනුයි මම මුලින්ම මගේ කලා ගමන ආරම්භ කරන්නේ. එතකොට මට අවුරුදු පහයි.

පෙම්වතිය ගැන ආදරේ ගැන කතා කළොත්?
තවම පෙම්වතියක් නම් නෑ. ආදරේ නම් ඉතින් ජීවිතේ මුළු ජීවිත කාලෙටම අපිට ලැබෙන්න ඕන. ආදරේ මතයි අපේ ජීවිත තීරණය වන්නේ. අම්මා, තාත්තාගේ, සහෝදර සහෝදරියන්ගේ මේ හැමෝගේම ආදරේ අපිට අත්‍යාවශ්‍යයි

අනාගත සැලසුම් මොනවාද?
නිවේදනය සහ රඟපෑම මම නතර කරාවි කියලා මම හිතන්නේ නෑ. ඒක මගේ ජීවිතේටම බද්ධ වෙලයි තියෙන්නේ. ගොඩක් කැපකිරීම් කරලයි අද මෙතැන ඉන්නේ. ඉතින් දිගටම කලාවේ නියැළෙනවා. ඒ වගේම නිෂ්පාදන සහ අධ්‍යක්ෂනය කටයුතුත් කරගෙන කලාවේ සාර්ථක ගමනක් යෑමයි මගේ බලාපොරොත්තුව.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!