Gossip

“ටිපර් එකේ වැදිලා මගේ වාහනේ හිරවෙලයි තිබුණේ.ඒත් එක්කම එක කකුලක් ඇඳලා දැම්මත් අනෙක් කකුල ඇඳලා ගන්න බැරි වුණා..” – දරුණු රිය අනතුරකට මුහුණ දුන් රංගන ශිල්පිණි සනෝජා බිබිලේ

කිසිම කෙනකුට ලෙහෙසියෙන් මාව මරන්න බැහැ..

රංගන ශිල්පිනී සනෝජා බිබිලේ පසුගිය දිනෙක (04)මරදාන ප්‍රදේශයේදී දරුණු රිය අනතුරකට මුහුණ දුන්නා.
ෙමම අනතුරෙන් ඇයගේ ජීවිතය බේරී තිබුණේ අනූනවයෙන්.
ඒ අනතුර ගැනත් මාර්ග නීතිවල ස්වාභාවය හා අපේ රියැදුරන් කරන විවිධ වැරැදි, නීතියේ තිබෙන හිඩැස පිළිබඳත් ඇය සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

පසුගියදා ඔබ මුහුණ දුන් රිය අනතුර සිදු වූයේ කුමන ස්ථානයක ද?
පසුගිය සඳුදා උදේ 8. 45ට පමණ මරදාන ඩීන්ස් පාරෙදියි මා මේ සිදු වීමට මුහුණ දුන්නේ.

එතැනදි සිදු වුණේ මොන වගේ දෙයක් ද?
මා සුපුරුදු විදියට එදත් මගේ රථය පදවගෙන පැමිණෙමිනුයි සිටියේ. ඒ මරදාන ඩීන්ස් පාරේදී එක්වරම පොලිසියෙන් මාව නැවැත්වුවා.
පොලිසියෙන් නැවැත්වීමට හේතුව එතැනින් වාහන ගමන් කරන නිසයි. බැංකුව පැත්තටත් වාහන ගමන් කරනවා.
රෝහල පැත්තෙන් පොලිස් නිලධාරියා පැමිණ මාව නැවැත්වුවා. එක පැත්තකට පමණක් වාහන ගමන් කරන නිසා මා සිටියේ මැද ලේන් එකෙයි. මගේ වාහනය නැවැත්වීමත් සමඟම මගේ පිටුපසින් පැමිණි ටිපර් එකක් තමයි මගේ වාහනය හැප්පුවේ.

ඔබ එය දෑසින් ම දුටුවා ද?
මම ඉදිරිය බලාගෙනයි හිටියේ. ඒත් එකාපරටම වගේ මට ඇස් කොණෙන් පැත්ත පෙනුණා.
එවිට මා දැක්කේ කළු පාට විශාල වාහනයක් මගේ පැත්තට එන බවයි. මා කළේ එහා සීට් එකට ඔළුව නමා ගැනීමයි. ඒත් එක්කම එක කකුලක් ඇඳලා දැම්මත් අනෙක් කකුල ඇඳලා ගන්න බැරි වුණා.
ඒ ඇසිල්ලේ ඒ වාහනය මගේ වාහනයේ දොර, වීදුරු, ස්ටියරින් එක සියල්ල කුඩුපට්ටම් කරමින් ඉදිරියෙන් නැවතුණා.

ඔබ රියැදුරු ආසනයේ සිටියා නම්?
මා ඒ විදියට පැත්තට හැරුණේ නැත් නම් මගේ ඔළුව වදිනවාමයි. මේ විදියට බේරුණේ පෙර කරපු පිනකටයි. ඒ වගේ ම කිසිම කෙනකුට ලෙහෙසියෙන් මාව මරන්න බැහැ. එහෙම කියන්නේ මා රිය අනතුරුවලින් මේ ගැලවුණ පළමු වැනි වතාව නොවෙයි. මීට පෙරත් තුන්වතාවක් පමණ මා රියඅනතුරුවලට ලක් වුණා.
ඒත් හොඳීන් ඉන්න තරම් වාසනාවන්ත වුණා. ඒ මා නිවැරැදි නිසයි.

අවට අයගෙන් ඒ වෙලාවෙම ඔබට ප්‍රතිචාර ලැබුණා ද?
ඒ විදියට ටිපර් එක ඉදිරියෙන් නැවතුණාට පස්සේ පොලිසියේ නිලධාරියා හා පාරේ සිටි අය, වාහනවල සිටි අය ඔළුවේ අත ගසා ගත්තා. ටිපර් එකේ වැදිලා මගේ වාහනේ හිරවෙලයි තිබුණේ. ඒකත් කඩාගෙන ඒ මනුස්සයාගේ වාහනේ එහාට ගත්තා. ඒ වෙලාවේ මට කතා කරගන්න බැරි වුණා. මාව හිර වුණා වගේ වුණා.
ඒ වෙලාවේ පොලිසියට විතරක් යන්න පුළුවන් විදියට රථයේ ටයර් එක හදාගෙන පොලිසියට ගියා.

ඉන් පස්සේ සිදු වුණේ මොනවා ද?
මා නොවෙයි මේ රටේ ජනතාවට වුණත් සිදු වන්නේ එක ම දෙයයි. මොකද මා ඔවුන්ගෙන් විමසුවේ මම ද වරදරුකරු කියලයි. ඔවුන් පැවැසුවේ ‘නැත’ යන්නයි. මම වරදකරුත් නොවෙනවා නම් වරදකරුට දෙන දඬුවම මොකක් ද යන්නයි මගේ සිතේ ඊළඟ නැඟුණු ප්‍රශ්නය වුණේ. ඔහුට නැවතත් ඒ වැනි වරදක් කරන්න නොදෙන දඬුවම මොකක් ද යන්නයි මගේ සිතට නැඟුණේ. මේ කිසිම ප්‍රශ්නයකට පොලිසියේ උත්තරයක් නැහැ. පොලිසිය කතා කරන්නේ මේ රටේ තිබෙන නීතිය ගැන පමණයි.

ඔබ එහෙම කියන්නේ ඇයි?
මේ රියඅනතුරට පොලිස් නිලධාරියා සාක්ෂියි. අප දෙදෙනාගෙන් ම කටඋත්තර ගත්තා. එයට පස්සේ ඒ තරම් අනතුරක් සිදු වුණත් අනතුර කළ රියැදුරා හා ටිපර් එක නිදහස් වුණා. මා විමසන්නේ වැරැද්දක් කළ මනුස්සයාට දෙන දඬුවම කුමක් ද යන්නයි. මේ රටේ මට නොවෙයි වෙනත් කෙනකුට මෙවැනි දෙයක් වුණත් වන්නේ මේ දෙයම නේද?

ඔබ පවසන්නේ නීතියේ පවතින මෙවැනි දේවල් වෙනස් විය යුතු බව ද?
ටිපර් වගේම ත්‍රී රෝද රථ කරන මෙවැනි වරදවලට දඬුවමක් කෝ කියායි මා විමසන්නේ. එන්න එන්නම ජනගහනය වගේ ම වාහනත් වැඩි වෙනවා. එවැනි තත්ත්වයක තවමත් තිබෙන්නේ යල්පැන ගිය නීතියක්. එහෙම නම් වර් තමානයට ගැළපෙන අයුරින් නීතිය සංශෝධනයට ලක් කිරීමට නොහැකි ඇයි? මේවා සම්බන්ධයෙන් යම් පනතක් තිබේ නම් ඒවා සංශෝධනය කළ නොහැක්කේ ඇයි? මේ රටේ ජනාධිපති, අගමැති, ජ්‍යෙෂ්ඨ ඇමතිවරු කියන මේ ප්‍රධාන අයටවත් මේ නීති වෙනස් කරන්න නොහැකි ඇයි? නීති සම්පාදනය කරන අය ඉන්නවා. එහෙමනම් මේ අය මේ දේවල් වෙනස් කරන්නේ නැත්තේ ඇයි කියායි මා විමසන්නේ.

මෙවැනි රථවාහන සම්බන්ධයෙන් වෙනත් රටවල නීති නිර් මාණය වී තිබෙන්නේ වෙනස් ආකාරයෙන්?
ඒ වගේම බොහෝ දෙනා රැකියාවලට යන මේ වගේ වෙලාවකට බර වාහන පැදවීමට කවුද අවසර දෙන්නේ? විදේශ රටවල මෙවැනි වෙලාවකට එවන් වාහනවලට පදවන්න දෙන්නේ නැහැ. ඒ වාහනවලට යන්න යම් කිසි වෙලාවක් තිබෙනවා. එහෙම වෙලාවක් අපේ රටේ තිබෙනවා ද?

මේ සම්බන්ධයෙන් නිවැරැදිකාරිනිය වෙලත් විවිධ අපහසුතා විඳීන්න වූවා ද?
ඇත්තටම මා වරද නොකර පොලිසියට ගිහින් එතැනත් රස්තියාදු වෙන්න සිදු වුණා. එයට පස්සේ උසාවියටත් යන්න සිදු වුණා. ඒත් තවමත් නඩුව විභාග වෙනවා.

එතැනදි සිදු වුණේ මොකක් ද?
අප ඉල්ලා සිටියේ ඒ අයගේ රක්ෂණයෙන් සිදු වුණු පාඩුවට මුදල් ලබා දෙන ලෙසයි. ඒ වගේ ම වැරැදිකරුත් නිදහසේ ජීවත් වෙනවා. ඒ වගේම තවත් දෙයක් කිව යුතුයි. අපේ රටේ පවතින විවිධ උත්සව සම්බන්ධයෙන් මුළු පොලිසියම ගෙන්වා ගන්නවා. මොනවා හරි දෙයක් වුණාට පස්සේ ඒවා විසඳන්න පොලිසියේ ඒ ඒ පුද්ගලයන් නැහැ.
පොලිසිය සිටිය යුත්තේ මහජනතාව වෙනුවෙන්. ඒ නිසා මා පවසන්නේ මේ ලිපිය කියවන කවුරුන් හෝ කෙනකු මේවා වෙනුවෙන් හඬක් නඟන්න මාත් සමඟ එක් වෙන්න කියලයි. මේ රටේ නීතිය හදන්න බැරි ඇයි කියන ප්‍රශ්නයට ඒවාට අදාළ පුද්ගලයක් හෝ පිළිතුරු දෙනවා නම් මා වඩාත්ම කැමැතියි.

මේ ප්‍රශ්නය නිසා අද ඔබ දුෂ්කරතා විඳීනවා?
ත්‍රීවිලර් පදවන මිනිස්සු අද පාරේ වාහන පදවන ආකාරය බලන්න. වම්පැත්තෙන් දානවා. දකුණු පැත්තෙන් දානවා. මේ පොලිසියෙන් දැක්කත් බලන්නේ නැහැ. මේවා පොලිස්පති තුමා බලන්නේ නැත්තේ ඇයි? නිවැරැදි ආකාරයෙන් පාරේ වාහන පදවන අපට වෙන මේ අසාධාරණය අහන්නේ කවු ද?
අද මා බේරුණේ අනූනවයයි දශම නවයෙන්. මේ විදියට නිවැරැද්දේ මැරෙනවාට වඩා හොඳයි ඒ වැරැද්ද කළ කෙනාට දඬුවම් දී හිරගෙදරට යෑම. මේ වගේ රස්තියාදු වෙනවාට වඩා එය හොඳ බවයි මට වැටහෙන්නේ. අද මගේ වැඩ කරගැනීමට යන්න මට වාහනය නැහැ. වාහනය හදා ගන්න නැහැ. පුදුම මානසික කලකිරීමකිනුයි අද මා ජීවත් වෙන්නේ.

ඔබ හැමදාම රිය පදවන කෙනකු විදියට මාර්ගවලදී මුහුණ දෙන්නේ කුමන ගැටලුවලට ද?
විශේෂයෙන් බස්රිය පදවන, ත්‍රීවිල් පදවන අය ඩබල් ඉර කපනවා. සුදු තනි ඉරේ ඉස්සර කරන්න බැරි වුණත් ඔවුන් ඉස්සර කරනවා. අප නිවැරැදි විදියට වාහනය පදවන විට ඇවිත් මැද්දෙන් රිංගනවා. එවිට වාහනය හැප්පෙනවා. ඒ වෙලාවට පිටිපස්සේ කෙනා හැප්පුවා කියලා වරද දාන්නේ අනෙක් කෙනාටයි.
එහෙම නැත්නම් වලවලින් බේරෙන්න කියලා කරන දේවලින් අපහසුතාවට ලක් වන්නේත් අපමයි. ඇයි මේ අයට එක එක්කෙනා පසුපස යන්න නොහැකි වන්නේ. ඇයි මේ අයට ඉවසිලිවන්ත වන්න නොහැකි වී තිබෙන්නේ.

එහෙමනම් මේ සඳහා කළ යුත්තේ කුමක් ද?
එහෙම කරන අයට දැඩි දඬුවම් ක්‍රියාත්මක විය යුතුයි. වෙනම සීසීටීවී කැමරා පද්ධතියක් ක්‍රියාත්මක විය යුතුයි. ඒ මඟින් වැරැදි කරන අය බලා ඔවුන්ට ඇඟට දැනෙන දඩයක් නියම කළ යුතුයි. එය ක්‍රියාත්මක විය යුත්තේ කිසිවකුගේ තරාතිරම නොබලායි. ඒ වෙලාවෙම වැරැදි කරන්නාට දඩය ගෙවීමට සිදු වන නීතියක් පැමිණිය යුතුයි.
පොලිසියේ නිලධාරීන් මීට වඩා නීතිය ගැන සිතිය යුතුයි. ඒ නිසා ඔවුන්ට වැරැදි නොකිරීමට නම් යල්පැන ගිය නීති අලුත්වැඩියා විය යුතුයි. මේ සම්බන්ධයෙන් දැන්වත් පාලකයන්ගේ ඇස් ඇරිය යුතු බවයි මා පවසන්නේ.

තිලානි ශානිකා විතානාච්චි
සරසවිය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!