Gossip

“සමයං” එළොව යන්න කළින් කරපු සෙල්ලම් මෙන්න

පහරදීම්, මිනිස් ඝාතන සිදුකිරිම් ඝාතනයට තැත් කිරීම් ඇතුළු අපරාධ ගණනාවකට ඇතුළට ගොස් එළියට එන සමයං රණාල ප්‍රදේශයේ “චන්ඩියා” වීම කාටවත් වැළැක්වීමට හැකිවුයේ නැත. ඔහුට ඉහළින් වචනයක් කතා කිරීමට පවා බොහෝ දෙනා බිය වෙද්දී ‘රණාලේ සමයං’ ලෙස නම් දැරූ හෙතෙම රණාල ප්‍රදේශයේ කර්මාන්තශාලාවල ක්‍රියාකාරකම් වල ද අත ගැසීය.ඒ මුදල් සොයාගැනීමේ අභිලාෂයෙන්ය.

බීම නිෂ්පාදන කම්හලක් සහ බිස්කට් කම්හලක් ද රණාල ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම ආයතන වලට සුලු සේවකයන් සපයන ‘මෑන් පවර්’ ආයතන වල පරිපාලනයට අත දැමු සමයං ඒවායේ කටයුතු ද තමාට රිසි පරිදි කරගෙන යාමට අවශ්‍ය මඟ සලසා ගත්තේය.

මෙම ආයතන වලට දමන මෑන්පවර් සේවකයන් බඳවාගත යුත්තේ සමයං කැමති පුද්ගලයන් පමණි. එලෙස සේවයට බඳවා ගන්නා සෑම පුද්ගලයකු වෙනුවෙන්ම සමයං ට කප්පම් මුදලක් ලබාදිය යුතුය. එසේ නොවුණ හොත් ‘මෑන් පවර්’ ආයතනයේ ලොක්කන්ට ව්‍යාපාරය කරගෙන යාමට සමයං ගෙන් ඉඩකඩ ලැබෙන්නේ නැත.

රණාල ප්‍රදේශයේ බොහෝ කර්මාන්ත ශාල වල ප්‍රවාහන සේවය ද සිදුවුයේ සමයං ට අවශ්‍ය පරිදිය. මෙවන් ආයතන වල ප්‍රවාහන සේවා සිදුවන්නේ පෞද්ගලික ප්‍රවාහන සේවා වලින් ලබාගන්නා වාහන වලිනි. එබැවින්… එම ඒකාධිකාරිය සියතට ගැනීම ද සමයං ට එතරම් අපහසු වුයේ නැත.
එම ආයතනවල ප්‍රවාහන අංශයට වාහනයක් දමාගත හැක්කේ සමයංගේ හිතුවන්ට පමණි.

ඔහුගේ අනු දැනුමකින් තොරව වාහන දැමිය නොහැකිය. එලෙස… හදිසියේ වත් නොදැන හෝ වාහනයක් දැමුව හොත් එය අයින්කර ගැනීමට සිදුවන්නේ සමයංගේ තර්ජන ගර්ජන වලට ද යටත්වය.එලෙස … සිය මැර බලය උපයෝගී කරගෙන මුදල් හම්බ කරන අතරේ ඔහු තවත් ආදයම් මාර්ග කිහිපයක්ම සොයාගෙන තිබිණි. ඉන් එකක් වුයේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමයි.

කඩුවෙළ,නවගමුව, මාලබේ, අතුරුගිරිය පමණක් නොව මාතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් පවා රණාලේ සමයං කප්පම් ලබාගත් බව දැන් හෙළි වී ඇත. අතුරුගිරියේ ‘ලඩියා’ කල්ලියත්, මාතර ‘මදුෂ්’ කල්ලියත් රණාලේ සමයං සමඟ වෛර බැඳගැනීමට එක් හේතුවක් වුයේ ද අතුරුගිරියෙන් සහ මාතරින් කප්පම් ගැනීමට යාමයි.

එහෙත් ලඩියා කල්ලිය සහ මදුෂ් කල්ලිය පරදවා අතුරුගිරියේ ව්‍යාපාරිකයන්ගෙන් මෙන්ම මාතර මහා පරිමාණයේ මත්පැන් ව්‍යාපාරයේ යෙදී සිටින ධනතුන්ගෙන් ද මොහු කප්පම් ලබාගත් බව පොලිස් පරීක්ෂණ වල දී තහවුරු වී ඇත. එපමණක් නොව යම් වැරදි වලට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගේ පවුල්වල අයගෙන් ද මොහු සිරගෙදර ඇතුළේ සිටිය දී කප්පම් ලබාගත් බවට ද තොරතුරු හෙළි වී ඇත.ඔහු මේ ගේම් සියල්ලක්ම කර තිබුණේ ජංගම දුරකථන ඔස්සේය.

එනම් සිරගෙදර සිටින පුද්ගලයා බිය ගන්වා ඔහුගෙන් කප්පම් ඉල්ලයි. එසේ නොදුනහොත් පවුල් අය මරා දමන බවට තර්ජනය කිරීම හේතුවෙන් ඇතුළේ සිටින පුද්ගලයා සිය පවුලේ අය ලවා කෙලෙස හෝ සමයං ට කප්පම් ලබා දේ. නොඑසේ නම් එවැනි රැඳවියන්ගේ බිරින්දැවරුන්ට දුරකථන ඇමතුම් දී සැමියා ඇතුළේ දී මරා දමන බවට තර්ජනය කොට කප්පම් ලබාගෙන ඇති බවටද පොලිස් පරීක්ෂණ වල දී හෙළි වී ඇත.

ඔහුට මහා පරිමාණයෙන් මුදල් ගලා එන තවත් ව්‍යාපාරයක් හිමිව තිබිණි. ඒ හෙරොයින් ජාවාරමයි. සමයං ගේ කුඩු ජාවාරමේ ප්‍රධාන සැපයුම් කාරිය වනාතමුල්ලේ කාන්තාවකි. ඇය තවමත් එළියේ නිදැල්ලේ සිටිමින් සමයංගේ මේ කුඩු ජාවාරමට අවශ්‍ය සියලු පහසුකම් සපයා දේ. කඩුවෙල, රණාල ප්‍රදේශවල සමයං ගේ කුඩු ජාවාරම කරගෙන ගියේ ඌරු ජුවා සහ චමින්ද යන මිතුරන් දෙදෙනා විසිනි. එහෙත් ඔවුන් මෙලෙස ඉතා සාර්ථක ලෙස ජාවාරම කරගෙන ගියේ සිරගතව සිටිමින් වීම සුවිශේෂී කරුණකි.

අතුරුගිරියේ – කුඩු ජාවාරම පැවරී තිබුණේ කැලුම් සහ පැටි මහත්තයා යන දෙදෙනාටය. අතුරුගිරියේ “ලඩියා” කල්ලිය සමයං සමඟ තව දුරටත් වෛර බැඳීමට මේ කුඩුජාවාරම ද එක් හේතුවක් විය.“ලඩියා’ කල්ලිය කුඩු ජාවාරමට සම්බන්ධ නැති බව කියයි. ඒ බව සනාථ වන කරුණක් ඇත. ඒ කුඩු සමඟ ලඩියා කල්ලියේ කිසිවකු අතුරුගිරිය පොලිසියට කොටු වී නොමැති වීමයි.‘පැටි මහත්තයා’ සහ කැලුම් යන දෙදෙනා ද සමයං සමඟ එකට ඝාතනය වීම හේතුවෙන් අතුරුගිරිය ප්‍රදේශයේ ව්‍යාප්ත වෙමින් තිබු මත්ද්‍රව්‍ය ජාවාරම යම් ප්‍රමාණයකට ඇන සිට ඇතත් ඒ දෙදෙනා මෙම ජාවාරම කරගෙන ගියේ සිරගතව සිටියදීය. අපරාධකරුවන්ට සිරගෙය තරම් නිදහස් ස්ථානයක් තවත් නොමැත. එහි ඇතුළේ මර බිය නැත. ඒ ඇතුළේ දී කිසිවකු ඔවුන් මරා දැමීමට ඉදිරිපත් නොවන බැවිනි. සමයං ලා ද සිර ගෙවල් වල බොහෝ නිදහස් ජීවිත ගෙවා දැමුහ. සමයං සිර කුටියේ සිට ගන්නා ලද ඡායාරූප ද බොහෝය. එම ඡායාරූප ගෙන තිබුණේ ජංගම දුරකථනවලිනි.

එනම් සමයං සිරගේ ඇතුළේ ඉතා නිදහසේ ජංගම දුරකථන භාවිත කළ බවට එය හොඳම උදාහරණයකි. ඇතුළේ සිටින අපරාධකාරයන් කිසිදු අවහිරයකින් තොරව එළියේ සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරවන්නේ ජංගම දුරකථන මුල්කොටගෙනය. රණාලේ සමයං, අල්විස්වත්තේ පැටි මහත්තයා සහ කැලුම් යන තිදෙනා අතුරුගිරියේ ට්‍රනිල් බණ්ඩාර ධර්මසිරි නොහොත් බණ්ඩා ඝාතන සැලසුම සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කළ ජංගම දුරකථන උපයෝගී කරගෙනය. ඒ බව පොලිස් පරීක්ෂණ වලදී මනාව හෙළි විය.

සිද්ධිය වූ ජනවාරි මස දාහත් වැනිදා උදේ වරුවේ සිට දහවල පුරාත්, සවසත් කිසිම අවහිරයකින් තොරව කලුතර බන්ධනාගාරයේ සිටි සමයං, පැටි මහත්තයා සහ කැලුම් යන තිදෙනා දුරකථන ඇමතුම් ලබාගෙන තිබිණි.

හොර රහසේ ඇතුළට ජංගම දුරකථනයක් රැගෙන ගොස් සඟවාගෙන සිටිනවා නම් ඇමතුම් ගන්නට හැකි වන්නේ රාත්‍රි කාලයේදී පමණි.
එහෙත් ඇතුලේ සිටින පාතාල සාමාජිකයන් නවීන තාක්ෂණයෙන් යුතු ජංගම දුරකථන පාවිච්චි කරමින් දවසේ පැය විසිහතරෙන් කැමති ඕනෑම වේලාවක දුරකථන ඇමතුම් ගැනීම පිළිබඳ වගකිව යුත්තන් නිහඬ පිළිවෙතක් රැකීම මෙරට අපරාධ වැඩිවීමට මුලික හේතුව බවට පත්ව ඇත.

අද මෙරට සිදුවන අපරාධ වලින් සියයට අනුවක්ම සිදුවන්නේ අපරාධ කල්ලි අතර හා කල්ලිවල මෙහෙයවීමෙනි. සොයා බලන විට හෙළි වන්නේ එම කල්ලි නායකයන් සිර ගෙදර ඇතුළේ බවත්, අපරාධය මෙහෙයවා ඇත්තේ ඇතුළේ සිට ජංගම දුරකථන ඔස්සේ බවත්ය.

පොලිස් පරීක්ෂණ වලදී මේ බව ඉතා පැහැදිලිව සාක්ෂි සහිතව ඔප්පු වී ඇත. වරක් සමයං ඇතුළේ සිට ක්‍රියාත්මක කිරීමට ගිය සමුහ ඝාතනයක් අතුරුගිරිය පොලිසිය මැදිහත් වී වලක්වා ගත්තේය. ඔවුන්ට එසේ කිරීමට හැකි වුයේ එවකට කොළඹ බන්ධනාගාරයක රඳවා සිටි රණාලේ සමයං හමු වී ඔහු සතුව තිබු ජංගම දුරකථනයක් සහ සිම් පත් කිහිපයක් අත්අඩංගුවට ගැනීම නිසාය.

එදා ඔහු අපරාධය සැලසුම් කිරීම සඳහා උපයෝගී කරගත් සිම් පත පොලිසිය එද්දී කටේ දමා ගිල දැමීමට සුදානම් ව ඇත. පොලිස් නිලධාරීන් එය ලබාගෙන තිබුණේ කට තදකොට අල්ලා බලහත්කාරයෙනි. එහෙත් ඒ සිම්පත් කිහිපයක් ජංගම දුරකථනයන් පොලිසිය භාරයට ගෙන සති කිහිපයක් ගතවීමටත් පෙර සමයං ඇතුළේ සිට තවත් මනුෂ්‍ය ඝාතනයක් මෙහෙයවීය. පසුව හෙළි වුයේ එය ද ජංගම දුරකථන උපයෝගී කරගෙන මෙහෙය වූ බවයි.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!