Gossip

කැපිලා පේන්න සහ ඕනෑම ඇඳුමක් අඳින්න කැමති අය ඉන්න නිසයි මේ ප්‍රශ්න – දෙරණ අවුරුදු කුමරිය වූ සජිනි

නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් ඇරඹූ ඇය නමින් සජිනි ප්‍රියංගිකාය. 2013 දෙරණ අවුරුදු කුමරි ලෙසද කිරුළු පැළඳූවේ ඇයයි. ඇයගේ නිරූපණ කටයුතු පිළිබඳවත්, ඉදිරි කටයුතු පිළිබඳවත් ඇය සතිඅන්ත පුවත්පත් සාකච්ඡාවක් හා එක්වෙමින් කියා තිබුණේ මෙලෙසයි.

නිරූපණය ඔබගෙ වෘත්තිය වෙලාද?
ඔව්, දැන් නිරූපණය තමයි මගෙ වෘත්තිය. මුලින්ම නිරූපණය කළේ ආසාවට. මම වැඩිපුරම කරන්නේ තමයි.

නිරූපණයට එන්නේ කොහොමද?
නිරූපණයට එන්නෙ මට කිසිම දැනුමක්වත්, කැමැත්තක්වත් නැතුව. නිරූපණය කියන දේ ගැන බොහෝ දෙනා බලන්නේ අමුතුවටනේ. ඒ නිසා මේ ක්ෂේත්‍රය ගැන ආසාවක් තිබුණෙ නැහැ. නමුත් BMICH එකේ මගේ යාළුවෙකුගෙ උපාධි උත්සවයකට තමයි මාව මුලින්ම Dress කළේ. එදා ඉඳන් අදටත් මම ක්ෂේත්‍රයේ ඉන්නවා. දැනට අවුරුදු 06ක් 07ක් විතර වෙනවා ක්ෂේත්‍රයට ඇවිත්.

අකමැත්තෙන් ක්ෂේත්‍රයට ආවා වුණාට, දැන් මොකද ඒ ගැන හිතන්නේ?
ඇත්තටම දැන් මම වැඩක් කරනවා නම්, ඒ කරන්නෙ කැමැත්තෙන්. Modeling කියන්නෙ හොඳම දෙයක් කියලා මම හිතනවා. නමුත් සමහර අවස්ථාවල කලකිරීමක් තියෙනවා.

ඇයි ක්ෂේත්‍රය ගැන කලකිරීමක් තියෙන්නේ?
ඇත්තටම ක්ෂේත්‍රයේ සිදුවන යම්කිසි කාරණා නිසා තමයි කලකිරීමක් ඇති වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මෙහි ප්‍රමිතියේ ප්‍රශ්නයක් තියෙනවා. අලුතින් මේ ක්ෂේත්‍රයටයට බොහෝ අය පැමිණෙනවා. ඒ එන අයට ලොකු දැනුමකුත් නැහැ, සහජ හැකියාවකුත් නැහැ. ඇඟේ Modeling කියන දේ සහ රිද්මය නැත්නම් Modeling කරන්න බැහැ කියලා තමයි මම නම් හිතන්නේ.

ඔබ හිතන විදිහට නිරූපණයට අවශ්‍ය මූලික දේවල් මොනවද?
මම නම් හිතන්නේ මුලින්ම නිරූපිකාවකට තියෙන්න ඕනේ ආත්මවිශ්වාසය කියන දේ. ඒ වගේම හැකියාව තියෙන්නත් ඕනේ. ඒ හැකියාව දියුණු කරගන්න ප්‍රමිතියක් තියෙන ඉගෙන ගන්න පුළුවන් තැනකට යන්න කියලා තමයි මම නම් කියන්නේ. පොඩි පොඩි දේවල් තියෙනවා තවත් වැදගත් වෙන.

අද නිරූපිකාව ප්‍රමිතියක් නැති ගානට වැටිලා තියෙනවා නේද?
එහෙම වෙන්න මූලිකවම බලපාන්නේ ප්‍රසිද්ධිය සහ සල්ලි පස්සේ හඹා යෑම. දක්ෂ අය නැතුව නෙමෙයි, දක්ෂ අය ඉන්නවා. මම කිව්ව විදිහට කෙනෙකුගේ යම් මිලට වඩා අඩු මිලට කරන්න තවත් අලුත් කෙනෙක් ඉන්නවා නම් බොහෝ දෙනා යන්නේ අඩුවෙන් අය කරන කෙනා ළඟටයි. එහෙම මුදල්මය ගැටලුත් මේ සඳහා බලපානවා. කැපිලා පේන්න සහ ඕනෑම ඇඳුමක් අඳින්න කැමති අය ඉන්න නිසයි මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ.

මේ සඳහා ගෙදරින් අවසර ලැබුණද?
ගෙදරින් එහෙම ලොකු අකමැත්තක් තිබුණෙ නැහැ. පාසල් යන කාලේ මම නාට්‍යවල රඟපෑවා. ඒක නිසා ලොකු ගැටලුවක් මෙහිදී මතු වුණේ නැහැ. කලාව පැත්තෙන් යනවට අම්මයි, තාත්තයි අකමැති වුණේ නැහැ. ඉතිං මමම තමයි මේ ක්ෂේත්‍රය තෝරගත්තේ. මුල් කාලේදි නම් අම්මා පස්සෙන්ම හිටියා. ඒත් මේ ක්ෂේත්‍රයට හුරුවුණාට පස්සේ මම තනියෙන් වැඩ කටයුතු කරගෙන යනවා.

අවුරුදු කුමරිය වුණා නේද?
ඔව්, 2013 දෙරණ අවුරුදු කුමරිය බවට පත් වුණා. ඒක තමයි මගේ පළමු තරගය.

වැඩකටයුතු ගැන කතා කළොත්?
මම වැඩි වශයෙන්ම කරන්නේ Bridal තමයි. ඒ පැත්තෙන් තමයි ගොඩක් වැඩ කරලා තියෙන්නේ. මියුසික් වීඩියෝ දෙක තුනක්ම කළා. මම වෙළෙඳ දැන්වීම කිහිපයකුත් කළා. සුපර් ක්‍රීම් කැකර්, සන්කුයික්, මොබිටෙල් එම් කෑෂ්, ඩර්ඩන්ස් එකේ වෙළෙඳ දැන්වීමක් සඳහා දායක වුණා. Kandy Uptown එකේ ටික කාලයක් Official Model විදිහට වැඩ කළා. ඉතිං වැඩ තෝරගෙන කරන නිසා මම කරන වැඩ ගැන සෑහීමටකට පත් වෙනවා.

රංගනයට ආරාධනා ලැබුණද?
රංගනය පැත්තට ගොඩක් ආරාධනා ලැබෙනවා. ටෙලි නාට්‍යය සහ චිත්‍රපටවලට. හැබැයි මගෙ ලොකු ආසාවක් නැහැ රංගනය පැත්තට යන්න. ඒ සඳහා දක්ෂ අය ඉන්නවා. ඉතිං අර ප්‍රසිද්ධිය බලාගෙන නොදන්න දේකට අතගහනවට වඩා හොඳයි නිදහසේ නිරූපණය කරගෙන ඉන්න එක. මොකද එක දවසයි අපිට වැය කරන්න වෙන්නේ. කැමති නම් ඒ දේ කරනවා. නැත්නම් ගෙදරට වෙලා ඉන්නවා. ටෙලි නාට්‍යයක් භාරගත්තාම ටිකක් කාර්යය බහුල වෙනවා. හොඳ දෙයක් ආවොත් කරනවා.

වෘත්තිය වශයෙන් නිරූපණය කරන්න පුළුවන්ද?
වෘත්තිමය වශයෙන් මේ දේවල් කරනවා නම් අපිට අපේ වටිනාකමක් හදාගන්න පුළුවන්. හොඳ ඉල්ලුමක් අපිට තියෙනවා. එක පාර හතු පිපෙනවා වගේ කට්ටිය එනවා. ෆොටෝග්‍රැෆර්ස්ලා කොටට ඇඳලා පොඩි ෂූට් එකක් කරලා එන අය නෙමෙයි. හරි දේවල්වලින් නමක් හදාගත්ත අය ක්ෂේත්‍රය තුළ ඉන්නවා. ඉතිං හොඳට වැඩ තියෙනවා. හරියාකාරව ඒ දේවල් කරනවා නම් නිරූපණය වෘත්තියක් විදිහට කරන්න පුළුවන්.

ඉදිරි බලාපොරොත්තු?
මට ගැළපෙන හොඳ දේවල්වලට මම දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

මතක් කරන්න පිරිසක් ඉන්නවාද?
ක්ෂේත්‍රයට එන කාලේ ඉඳන්ම මම ආදරය කරන කෙනා මට ගොඩක් උදව් කළා. මගේ ගෙදර අය, 2013 දී අවුරුදු කුමරිය වුණාට පස්සේ වැඩිය වැඩ කරන්න ගත්තා. ඉතිං එදා අද වෙනකන් මට ආදරය කරපු සහ විවේචනය කරපු හැමදෙනාවම ආදරෙන් මතක් කරනවා.

උපුටා ගැනීමකි

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!