Gossip

පුටින්ට අභියෝග කරන රුසියාවේ දඟ මල්ල

ලෝක බලවතුන් අතර වඩාත්ම කතාබහට ලක්වන රුසියාවේ ව්ලැඩිමීර් පුටින්ගේ ආධිපත්‍යයට අභියෝග කිරීමට 36 හැවිරිදි සුරූපිනියක් ඊයේ පෙරේදා ඉදිරිපත් වුණා.

ඇය ලබන වසරේ රුසියාවේ පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණයේදී පුටින්ට එරෙහිව ජනාධිපතිධුරයට තරග වදින බව නිවේදනය කිරීමත් සමග ලෝක ප්‍රජාවගේ අවධානය ඇය වෙත යොමුවුණා.. මේ තරුණ කාන්තාව රුසියාවේ රූපවාහිනී නිවේදිකාවක, මාධ්‍යවේදිනියක හා රංගන ශිල්පිනියක ලෙස අත්පත් කරගත් ජනප්‍රියත්වය ක්‍රෙමලීනය තම අණසකට නතු කරගැනීම වෙනුවෙන් මුදා හරින්නට සූදානමින් සිටිනවා.

ලබන වසරේ මාර්තුවේදී පැවැත්වෙන රුසියානු ජනාධිපතිවරණයේදී 65 හැවිරිදි පුටින්ගේ පරිණත දේශපාලන ප්‍රතිරූපය බිංදුවට ඇද දමන බවට පුරාජේරු කතා කියමින් දැන් ඇය ජනතාව අතර කතාබහට ලක්වී සිටිනවා.

‘මම වෘත්තීය දේශපාලඥයෙක් නෙවෙයි. මම මාධ්‍යවේදිනියක්. ඒත් මට හඩ නගා කතා කරන්න පුළුවනි. නිවේදිකාවක් විදිහට මම දැන් හුරතල් විදිහට කතා කළාට ලබන වසරේ ජනාධිපතිවරණයෙන් පසුව ඔබලා මා ගැන ඊට වඩා වෙනස් විදිහට කතා කරාවි. ‘එසේ කියමින් මොස්කව් නුවර දී ඇය සිය දේශපාලන ජීවිතයේ පළමු කතාව සිදුකළා.

මේ අන් කිසිවකු හෝ නොව අනූව දශකයේ අගභාගයේදී රුසියාවේ කේ.ජී.බී.රහස් ඔත්තු සේවයේ රාජකාරි කළ වත්මන් ජනපති පුටින්ගේ දේශපාලන ගමන්මග හෙළිපෙහෙළි කරමින් ඔහු සිය කාර්ය මණ්ඩලයට බඳවාගෙන පසුව ඔහුගේ දේශපාලන ගුරුවරයා වූ කලක් සාන්ත පීටර්බර්ග් නුවර පුරපතිවරයා ලෙස කටයුතු කළ ඇනටෝලි සොබ්චෙක්ගේ දියණිය සේනියාය. ඊයේ (5) සිය 36 වැනි උපන් දිනය සැමරූ මේ සුරූපිනිය සිය ඊළඟ උපන්දිනය සැමරීමට බලාපොරොත්තු වන්නේ රුසියාවේ නායිකාව හැටියටයි.

රුසියාවේ විපක්ෂ දේශපාලන ප්‍රවාහයේ ප්‍රධානතම පක්ෂයක් වන ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින් ජනපති සටනට පිවිසී සිටින සේනියාට දේශපාලනය ගැන කිසිදු අත්දැකීමක් හෝ දැනුමක් නොමැත. එසේ වුවත් චතුර කථිකත්වයත්. රංගන නිපුණත්වයත් සේනියාගේ ප්‍රතිරූපය රුසියාව පුරා ජනතා ප්‍රසාදය දිනාගත්තකි. ඇය දැන් දේශපාලනයේ දිගපළල මැන බැලීමට සූදානම් වන්නේ එය භාවිත කරමින්.

‘සමහරු මට හිනාවේවි මම දන්නේ කතා කරන්නයි රඟපාන්නයි විතරයි කියලා. ඒත් තාත්තාගෙන් පුටින් වගේම මමත් දේශපාලන ජීවිතයේ හෝඩිපොත හොඳින් කියවා තිබෙනවා.‘ඇය සිය පළමු දේශපාලන කතාවේදී එසේ කීවාය.

‘සැබැවින්ම සමහරුන්ට පුටින්ව පෙනෙන්නේ විශිෂ්ට ඝනයේ දේශපාලකයෙක් හැටියටයි. තවත් සමහරුන්ට නම් ඔහු එක්තරා විදිහක ඒකාධිපතියෙක්. මා කියන්නේ ඔහු රුසියාවේ ගැලවුම්කාරයා නොවන බවයි. ‘මේ තරුණ කාන්තාව පුටින්ට එරෙහිව පළමු වෙඩිල්ල තැබුවේ එලෙසය.

දේශපාලනයේදී පිරිමින්ට මෙන්ම කාන්තාවන්ටත් එක හා සමාන අයිතිවාසිකම් ලැබිය යුතු බව තරයේම විශ්වාස කරන සේනියා රුසියාවේ සම්ප්‍රදායික දේශපාලන පසමිතුරා වන අමෙරිකාව සමග ඇති සීතල යුද්ධය නිමා කිරීමට තමාට හැම අතින්ම හැකියාව ඇති බව පවසනවා.

‘මම හිතන්නේ අපිට අමෙරිකාව ඇතුළු අනිකුත් ලෝක බලවතුන් සමග මිත්‍රත්වයෙන් යුතුව කටයුතු කිරීමේ වටපිටාවක් නිර්මාණය කළ යුතු බවයි. ජනපති සටනේදී මගේ ලොකුම අරමුණ ඒකයි.‘ ඇය එසේ ද කීවාය.

එසේ වුවත් පුටින්ගේ පෞද්ගලික ජීවිතයට පහර ගැසීම තම අරමුණ නොවන බව ඇය සිය පළමු දේශපාලන කතාවේදී වැඩි දුරටත් කියා සිටියා.

‘ඔහු ඔත්තු සේවා නිලධාරියෙක් හැටියට රාජකාරි කරද්දී තාත්තාගේ ජිවිතය බේරාගත් පුද්ගලයෙක්. ඒ නිසා මම ඔහුට අපහාස වන විදියේ ප්‍රකාශ කරන්නේ නැතිබවත් කියන්නම ඕනා.‘

වසර 1981 නොවැම්බර් 5 දා එවකට සෝවියට් රුසියාවේ ලෙනින්ග්‍රෑඩ් හී උපත ලැබුවේ සොබ්චෙක් පවුලේ දෙවැනි දියණිය ලෙසිනි. මූලික අධ්‍යාපනයෙන් පසුව සාන්ත පීටර්ස්බර්ග් රජයේ විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව ඉගෙනගත් ඇය රංගනයට එක්වූයේ පසුව මොස්කව් නුවරට සේන්දු වූවාට පසුවය. වසර 2004දී Thieves and Prostitutesචිත්‍රපටයෙන් රංගනයේ නිම් වළලු පුළුල් කරගත් සේනියා අනතුරුව රුසියාවේ සිනමාවට, වේදිකාවට හා රූපවාහිනියට නැතිවම බැරි රංගන ශිල්පිනියක වූවාය.

එසේවුවත් ඇය ජනතාව අතර සිත්ගත් චරිතයක් බවට පත්වූයේ Dom-2රියැලිටි වැඩසටහන ඔස්සේය. එය ඇගේ ජිවිතය වෙනස්කළ වැඩසටහනක් බවට පත්වූවා පමණක් නොව රුසියාවේ බාල මහළු කා අතරත් ආදරය දිනාගැනීමට ද ඉවහල් විය.

සේනියා දස්කම් පෑවේ රංගනයට හා නිවේදන කටයුතුවලට පමණක්ම නොවීය. ගායිකාවක ලෙසත් ඇය සිය ජීවිතයේ තවත් පැත්තක් මුවහත් කරගත්තේ 2007දී ‘Dance with me ගීතය කරළියට එක් කිරීමත් සමගය. රුසියාවේ ප්‍රකට රැප් ගායකයකු වූ ටිමටි සමග ඇය විසින් මුදා හරිනු ලැබූ මේ ගීතය ඇගේ ජනප්‍රියත්වය තවත් ඉහළ නංවාලීමට ඉවහල් වී තිබිණි. ඩාන්ස් විත් මී ගීතය රුසියාවේ අතිශය ජනප්‍රියත්වය පත්වෙද්දී ඇය රැප් ගායක ටිමටි සමග පෙම් පළහිලව්වක් ඇති බවට ද රාවයක් පැතිරී ගියේය.

ඒ පුවත පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඇය ඉදිරිපත් වූයේ නැත. තම රසික රසිකාවියන්ට ඕන දෙයක් සිතා ගන්නට ඉඩදී ඇය නිහඬව සිටියාය. ඊට වසර කිහිපයකට පසුව 2013දී රුසියාවේ ජනප්‍රිය රංගන ශිල්පියකු වූ මැක්සිම් විටෝගන් සමග අතිනත ගත් සේනියා දැන් මාස 11ක දරු සිඟිත්තකුගේ මවක්.

ෆෝබ්ස් සඟරාව මගින් පසුගියදා අනාවරණය කළ පරිදි සේනියා රුසියාවේ ඉහළම වැටුප් ලබාගන්නා පුද්ගලයන් සියදෙනා අතර සිටින ධනවත් කාන්තාවකි. මාධ්‍යවේදිනියක ලෙස ඇය විසින් වාර්ෂිකව උපයනු ලබන මුදල අමෙරිකානු ඩොලර් මිලියන2.1ක් පමණ වන බවට සැළකේ.

සේනියා සොබ්චැක් රුසියාවේ වැඩිපුරම කතා බහට ලක්වූ චරිතයක් බවට පත්වීමට ඉවහල් වී ඇත්තේ ඇගේ රූපවාහිනි වැඩසටහන්, රංගනය හා ගායනය පමණක්ම නොවීය. එරට ඕපාදූප පළකෙරෙන පුවත්පත්වලටත් ඇය කාලෙන් කාලෙට විවිධ රසකතා මවා දෙන කාන්තාවක් ද වූවාය. ඒ අතරින් වඩාත්ම කතාබහට ලක්වූ සිදුවීම වූයේ ගැබිනියකව සිටි සමයේදී ඇය අඩනිරුවත් ඡායාරූපවලට පෙනී සිටීමය. එය එකළ රුසියාවේ ආන්දෝලනයට තුඩුදුන් සිදුවීමක් බවට පත්වී තිබිණි.

වරෙක නිවේදනයෙන් ද, තවත් වරෙක රංගනයෙන් ද, ඉන් නොනැවතී ගායනයෙන් ද රුසියානු ජනතාව පිනවූ මේ සුරූපිනිය සැහැල්ලු ජිවිතයකට හුරුපුරුදු වූ කෙළිලොල් කාන්තාවකි. පියාගේ දේශපාලන සෙවණැල්ල යටින් රුසියාවේ ජනාධිපතිවරණයට තරග කිරිමට අවස්ථාව උදාකර ගත්ත ද ඇය එරට රංගන ක්ෂේත්‍රය තුළ හඳුන්වනු ලබන්නේ සෙල්ලක්කාර චරිතයක් ලෙසිනි.

ඊයේ පෙරේදා හිටි හැටියේම ජනාධිපතිවරණයට තරග කරන බව කීවත් ඊට කළින් සේනියාගේ සිහිනය වී තිබුණේ රුසියාවේ නොම්මර එකේ මෝස්තර නිරූපිකාව වීමටය. ඇය රියැලිටි වැඩසටහන්වලට කොටුවීමෙන් වැළකීමට Dom-2 වැඩ සටහනෙන් ඉවත්වීමට තීරණය කළෙත් එනිසාවෙනි.

රුසියාවේ සෙසු රංගන ශිල්පිනියන් සේම ඇයත් තම ආදායම වැඩි කරගැනීමට විවාහ මංගල උත්සව හා වෙනත් විනෝදාංග සංවිධාන කටයුතු ආරම්භ කර තිබිණි. ඒවායින් ලැබෙන මුදල් ඇය වියදම් කළේ සිය මිළ අධික ඇඳුම් පැළඳුම්වලටය. එක් විෂයකට කොටුනොවී විවිධ ඉසව් සොයා යාමේ නොතිත් ආසාවෙන් පසුවන සේනියා මෝස්තර නිර්මාණ පිළිබඳවත්. සුවඳ විලවුන් පිළිබඳවත් පොත් කිහිපයක් ද ලියා පළ කළාය. ඉන් නොනැවතී අවන්හලක් විවෘත කරමින් ව්‍යාපාරිකාව ලෙසත් ඇය තවත් ක්ෂේත්‍රයකට පියවර තැබුවාය.

මෝස්තර නිරූපන ශිල්පිනියන්ට ආගන්තුක නොවන රාත්‍රී සාද, ප්‍රසිද්ධියේ සිපවැළඳගැනීම්, උත්සව සම්භාෂණවල වේග රිද්මයේ නර්තන සේනියාගේ ජිවිතයේ ද එමටය.

‘මම සැහැල්ලුවෙන් ජීවත්වෙන ගැහැනියක්. චොකලට් කන්න කැමැති…නටන්න ආස කරන හැමදාම විනෝදයෙන් ඉන්න ගැහැනියක්. වරක් ඇය එසේ කීවාය.

එහෙත් ඇය දැන් ඒ සියල්ල අතහැර පූර්ණ කාලීනව දේශපාලනයට පිවිසී සිටින්නේ සිය ජීවිතයේ තවත් පරිච්ඡේදයක් ආරම්භ කිරීමේ අරමුණ ඇතිවය. එය ඇය සිතන තරම් සැහැල්ලු එකක් නොවන බව අවබෝධ කරගැනීමට ඇයට තවත් කාලයක් ගතවනු ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!