Gossip

ශ්‍රි ලංකා කණ්ඩායමේ මුල් පෙල සියලුම ක්‍රිඩකයන්ගේ ආබාධ සුවයි

ඉන්දීය සංචාරය පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පෙළේ ක්‍රීඩකයන් 42ක් කිසිදු ආබාධයකින් තොරව ශාරීරික යෝග්‍යතාව අතින් ඉහළ මට්ටමක ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෛද්‍ය කමිටුවේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. ඉන්දියාව සමග ඉදිරියේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට නම්කළ සංචිතයේ ක්‍රීඩකයන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් සුපිරි සංචිතයේ ක්‍රීඩකයන්ගේ විශේෂ පරීක්ෂණයක් විශේෂඥ වෛද්‍ය හරිදු විජේසිංහ මහතාගේ හා ක්‍රිකට් කණ්ඩායමේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා සිදුකළ අතර එහි වාර්තාව ඉතා යහපත්බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේය.

මේ තත්ත්වය කළකට පසුව සමස්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ප්‍රවණතාවක් බව ද මහාචාර්යවරයා පැවැසීය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සියලු ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ වෙන වෙනම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළා. දින 5ක් එකදිගට ක්‍රීඩා කරන ටෙස්ට් සංචිතයේ පිතිකරුවන්, පන්දු යවන්නන් හා පන්දු රකින්නන්ගේ යෝග්‍යතාව ඉතා හොඳයි. එක්දින තරගාවලියටත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හොඳින් අවතීර්ණවීමේ හැකියාව පවතිනවා. මේ තත්ත්වය දිගින් දිගටම පවත්වා ගැනීමේ හැකියාව පුහුණු කාර්ය මණ්ඩලයට ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා” මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය.

මේ යෝග්‍යතා පරීක්ෂණවලදී ක්‍රිකට් වෛද්‍ය මණ්ඩලයට ශ්‍රී ලංකා ක්‍රිකට් භෞත චිකිත්සක නිර්මලන් ධනබාලසිංහම් සහ ශාරීරික යෝග්‍යතා පුහුණුකරු නිකලොස්‌ ලී ඇතුළු කාර්ය මණ්ඩලය විශේෂ සහයෝගයක් ලබාදී ඇත.

පසුගිය වසරේ පැවැති ඔස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේ සිට සම්බාබ්වේ සංචාරය, දකුණු අප්‍රිකානු සංචාරය හා මේ වසරේ පැවැති ඔස්ට්‍රේලියානු සංචාරය, බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය, එංගලන්තයේ පැවැති චැම්පියන් ක්‍රිකට් තරගාවලිය, සිම්බාබ්වේ පිලේ ශ්‍රී ලංකා සංචාරය, අවසන්වරට ශ්‍රී ලංකාවේ පැවැති ඉන්දීය ක්‍රිකට් තරගාවලිය දක්වා ක්‍රීකට් ක්‍රීඩකයන් 26ක් ආබාධවලට ලක්වූ අතර මේ හේතුවෙන් නවක ක්‍රීඩකයන් 15කට ශ්‍රී ලංකා ක්‍රිකට් වරම් හිමි වූහ.

පසුගිය වසරේ ඔස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේ සිට ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරය දක්වා පැවැති ටෙස්ට් තරග 16කින් තරග 6ක් ජයග්‍රහණය කළ අතර තරග 10ක් පරාජයට පත්විය. එම කාල සීමාව අතරතුරදී ශ්‍රී ලංකා පිල එක්දින තරග 28කට සහභාගීවී තරග 7කින් ජයගත් අතර එක් තරගයක තීරණයක් නොවුණි. එහෙත් තරග 18කින් පරායවී ඇත. මේ සියලු සිදුවීම් අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධිතයන්ගේ ක්‍රීඩක ලයිස්තුව එන්න එන්නම දිගු වෙමින් තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ඇතුළු තේරීම් කමිටුව ඉල්ලා අස්වූයේද මේ ආබාධිත ක්‍රීඩකයන් වැඩිවෙමින් හා ශ්‍රී ලංකා පිලේ තරග පරාජයන් අතරතුරය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!