Gossip

“මට ඇයව ඕනෑ කියන හැඟීම දැනෙන්න පටන් ගත්තා..ඒ අනුව මම ඇයගෙන් මගේ ආදරය ගැන අහන්න තීරණය කළා”

ආදරේ කියන හැඟීම අපි කාටත් දැනෙනවා.
ඒ විදිහට තමන්ගේ ආදරේ ගැන ජනප්‍රිය චරිතයක් පුවත්පතකට කියලා තිබුණා.
ඔහු නමින් කවුරුත් දන්න කවුරුත් ආදරය කරන රොෂාන් රණවණ.
මේ ඔහුගේ ආදර කතාවයි.

ඇය ඔබට හමුවන්නෙ පාසල් සමයේද ?
නැහැ මම ඇයව දන්නෙ ඇය කුඩා දැරියකව සිටි සමයේ පටන්මයි. මගේ ආච්චිගෙයි සීයගෙයි ගෙදරට යාබද නිවසෙයි ඇය පදිංචි වෙලා හිටියේ. මම හැමදාම හවසට ආච්චිවයි සීයවයි බලන්න ඔවුන්ගෙ නිවසට එනව. ඒ නිසා මම දැනගෙන හිටිය අපේ සීයලගෙ ගෙදරට අල්ලපු ගෙදර පුංචි ගැහැනු ළමයෙක්‌ ඉන්න බව.

මේ ගැහැනු ළමයා ගැන විශේෂ ඇල්මක්‌ ඇතිවන්නෙ කුමන සිදුවීමකින් පසුවද ?
මගේ පවුලෙ ඉන්නෙ මමයි මල්ලියි විතරයි. .මට ගැහැනු සහෝදරියන් නැහැ.
ඒත් හුරුබුහුටි නැගණියක්‌ මටත් හිටියනම් කියන සිතුවිල්ල මට තිබුණා. ඒ හැගීම මගේ හිතේ එයා ගැන ආකර්ෂණයක්‌ ඇතිවන්න මුල්වුණා කියලයි මම හිතන්නේ.
මම වයසින් වැඩිමහල් නිසා එයා කතාබහ කළේ සෙල්ලම් කළේ මගේ මල්ලි සහ අපේ ඥාති සොහොයුරියක සමගයි.
එයාල සෙල්ලම් කරන්න පොඩියිනේ. ඒ නිසා මම ඒ අය එක්‌ක කතාවට යන්නේ නැහැ.

ඒ කියන්නෙ රොෂාන් කලා ක්‍ෂේත්‍රයේ ස්‌ථාවරය ලබමින් සිටින සමයද මේ..?
නැහැ. මමත් මේ ක්‍ෂේත්‍රයේ ගමන ආරම්භ කළ කාලය. මම ජනප්‍රිය කෙනෙක්‌ නෙවෙයි.
2000 අවුරුද්දේ ඇගේ පියා හදිසියේ මියගියා. පවුලේ එකම දරුවා ලෙස මේ සිදුවීමත් වැඩිහිටි සොහොයුරෙක්‌ ලෙස මා තුළින් රැකවරණයක්‌ ඇසුරක්‌ පතන්න ඇයට හේතු වෙන්න ඇති.

ඇය ඔබ මුණගැසී පෙමක අඩිතාලම වැටෙන්නෙ මේ සිදුවීම් සමගද?
ඇත්තටම අපි අතර ඇතිවුණේ ප්‍රේම සම්බන්ධයක්‌ අරමුණු කරගත් බැඳීමක්‌ නෙවෙයි.
2001 වසරේ අපේ සීයාගේ උපන්දිනය වෙනුවෙන් ලොකු දානමය පින්කමක්‌ සීයලගේ ගෙදර තිබුණා.
අසල්වැසි සියලු දෙනාම ඒ දානමය පින්කමට ඇවිත් හිටියා. එදා තමයි අපි කතාබහ කළේ.
ඒ වෙද්දි ඇය හිටියේ යොවුන් විය ආරම්භයේ විතර එයා අවුරුදු 15 ක ළමයෙක්‌.
මට පෙම්වතියක්‌ විදිහට ඇයව පෙනුණේ නැහැ. එයා මගේ ලෝකයේ හැංගිලා හිටිය පුංචි හුරුබුහුටි නැගණිය මට හමුවුණා වගෙයි ඒ හමුවීම මම වින්දේ.
නැගණියක්‌ විදිහට මට ඇය ගැන ලොකු ආදරයක්‌ ඇතිවුණා. ඇගේ පියාගේ අභාවයත් එක්‌ක ඇතිවුණ තනිකමත් එක්‌ක වැඩිමහල් සොහොයුරෙකුට වගේ ඇය මට සමීප වුණා.
කාලයත් එක්‌ක අපි අපේ හැම දෙයක්‌ම පවසන තරමට හොද යාළුවො වෙලා හිටියා.

පෙම්සිත් පහළ වෙන්නෙ මේ සොයුරු පෙම ඇසුරේද ?
2003 අවුරුද්ද විතර වෙද්දි මට දැනෙන්න පටන් ගත්ත මා සොයපු කෙනා ඇය කියන වග.
මට ඇයව ඕනෑ කියන හැඟීම දැනෙන්න පටන් ගත්තා. ඒ අනුව මම ඇයගෙන් මගේ ආදරය ගැන අහන්න තීරණය කළා.
ඒත් ඇයට මා ගැන එහෙම අදහසක්‌ තිබිල නැහැ. මාව සහෝදරයෙක්‌ විදිහට තමයි ඇයට දැනිල තිබුණේ. කොහොම වුණත් ඇය මට කැමති වුණා.

ඒ වෙද්දි රොෂාන් සිනමාවේත් පෙම්වතාද?
මට ඇය හමුවෙත්දි සිනමාවට ඇවිත් නැහැ 2004 අවුරුද්දෙයි මම සිනමාවට එන්නේ. හැබැයි ඒ වෙද්දි මම මිස්‌ටර් ශ්‍රී ලංකා වෙලා ක්‍ෂේත්‍රයට ඇවිත් හිටියේ. ලොකු ජනප්‍රියත්වයක්‌ තිබුණේ නැහැ. වෙළෙද දැන්වීම්වල විතරයි හිටියේ.

ප්‍රේමය පටන් ගැන්මත් එක්‌ක?
විශේෂයක්‌ තිබුණේ නැහැ. ඇය ඇගේ අධ්‍යාපනය කරමින් සිටියා. මම මගේ වෘත්තියේ යෙදී සිටියා. ඇය තමයි ලෝකය. ඇය සිමා කියන විභාගයට පෙනී සිටි වසරේ ලෝකයේම ළාබාලම එම විභාගයෙන් ඉහළම සුදුසුකම ලැබූ තැනැත්තිය වුණේ. එතකොට. ඇයට අවුරුදු 17 යි.

මේ ආදර කතාව බාධක සීමාවලින් තොරවම ගලා ගිය එකක්‌ද ?

අපිට කිසිම බාධාවක්‌ තිබුණේ නැහැ. ඇත්තටම දෙමව්පියෝ මේ සම්බන්ධය ගැන දැනගෙන හිටියේ නැහැ. මගේ දෙමව්පියෝ නම් ගොඩක්‌ පසුවයි දැනගත්තේ. ඇයගේ අම්මා තරමක්‌ හෝ දැනගෙන ඉන්න ඇති. අපිට දෙපාර්ශ්වයේම ආශිර්වාදය ලැබුණා.

රන්රස වාගේ ගැළපෙන පෙම්වතුන් යුවළක්‌ වෙන්න බලපෑ කරුණු මොනවාද රොෂාන්?
අපි දෙන්නගෙම අදහස්‌ එකයි. අවබෝධය තේරුම් ගැනීම අවංකභාවය පවුල් පසුබිම් හිතන පතන අන්දම වගේම අපේ පවුල්වල සම්ප්‍රදායවලුත් සමානයි. අපේ මේ එකඟතාවයන් එක්‌ක අපි දෙන්නට වඩාත් ආදරණීය දිවියක්‌ හිමිවුණා. ඇය කතෝලික මම බෞද්ධ. නමුත් අපි අතර ආගම් භේදයක්‌ නැහැ. විශේෂම කාරණය අපි දෙන්නම නිර්මාංශයි. රංගනයේදී හොඳ තිර රචනාවන් තෝරාගන්න වගේම චරිත නිරූපණයේදී ගුණදොස්‌ කියමින් ඇය මගේ දුර්වල තැන් නිවැරදි කරනවා. තිරයේ ප්‍රේම චරිත රඟපෑමේදී ඒවා මීට වඩා තාත්විකව රඟපාන්න කියල තමයි ඇය පවසන්නේ.

දෙන්නා එක මගට විත් පටන් ගත් ගමනේ සැමරුම්..?
අපි දෙදෙනා යාළුවෙද්දි කවුරුත් නෙවෙයි සාමාන්‍ය ගැහැනු ළමයෙක්‌ සහ පිරිමි ළමයෙක්‌ .අපි දෙදෙනා විවාහ වෙද්දි ඇය ඇගේ වෘත්තියෙන් ඉහළටම ගිය කෙනෙක්‌. මම මගේ වෘත්තියෙන් ඉහළට ගිය කෙනෙක්‌ වෙලා හිටියා. අපි දෙන්නා එක මගක යමින් අපේ ජයග්‍රහණ අපි දෙන්නම දැකගත්තා. ඒ දේවල් සැමරුවා. අපේ දියුණුව ජයග්‍රහණ අපි දෙන්නම එකට භුක්‌ති වින්දා.

අද දවසේ ඔබලාගේ දිවිය?
අපි පදිංචි වෙලා ඉන්නෙ අපේ අලුතින් හදාගත් ගෙදර. ඇගේ මවත් අපි සමගයි ඉන්නෙ. මගේ අම්ම මම ඉපදුන දා ඉඳන් මගේ සෙවනැල්ල වුණා. ඇය මට ලැබුණදා පටන් මගේ දිවියට තවත් සෙවනැල්ලක්‌ එක්‌වුණා. ඇය මට දෙවෙනි මවක වගෙයි. එපමණක්‌ නෙවෙයි මම කියන්නෙ මගේ ජීවිතයේ මාව ආදරයෙන් බලාගන්න අම්මලා තුන්දෙනෙක්‌ ඉන්නව කියලයි .ඒ මගේ මව ඇය හා ඇගේ මවයි.

හෙට දවසේ බලාපොරොත්තු?
බලාපොරොත්තුව කියන්නෙ සතුට තමයි. අහස උසට බලාපොරොත්තු ගොඩක්‌ අපිට නැහැ.
තියෙන විදහට ජීවිතේ සතුටින් ගෙවන එක තමයි අපේ බලාපොරොත්තුව.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!