Gossip

“මම කතෝලික භක්තිකයෙක්. මගේ බිරිඳ බෞද්ධ කාන්තාවක්. මේ නිසා අපේ ගෙදර කතෝලික ආගමික උත්සව වගේම බෞද්ධ උත්සවත් සමරනවා.”

ජනප්‍රිය ගායන ශිල්පී රොෂාන් ප්‍රනාන්දු, ඇගේ බිරිඳ සහ දරුවන් සමග වෙසක් උත්සවය සැමරීමට සූදානම් වන ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුගියදා අන්තර්ජාලය පුරාම හුවමාරු වුණා.
ඒ ගැනත් රොෂාන්ගේ අලුත්ම විස්තර ගැනත් සතිඅන්ත පුවත්පතකට රොෂාන් මේ විදිහට කියලා තිබුණා.

ඔබ එවැනි ඡායාරූපයකට පෙනී සිටීමෙන් ඔබ සමාජයට ලබාදීමට බලා‍පොරොත්තු වූ පණිවුඩය මොකක්ද?
මම කතෝලික භක්තිකයෙක්. මගේ බිරිඳ බෞද්ධ කාන්තාවක්. මේ නිසා අපේ ගෙදර කතෝලික ආගමික උත්සව වගේම බෞද්ධ උත්සවත් සමරනවා.
මේ සිංහල බෞද්ධ රටටත්, සංස්කෘතියටත් අපි බොහෝ සෙයින් ආදරය කරනවා. ඉතින් පසුගිය දිනවල අපේ රටේ සිදුවූ සිදුවීම් එක්ක රටේ සංහිඳියාව වෙනුවෙන් පවුලක් විදිහට අපිට පුළුවන් දේ මෙයින් අපි කළා.

ඡායාරූපය පළවීමෙන් පසුව ඔබට ලැබුණු ප්‍රතිචාර මොන වගේද?
ඒ වෙනුවෙන් ලැබුණු ප්‍රතිචාර ගැන මට හුඟක් සතුටුයි. බොහෝ දෙනා සමාජ ජාල මාධ්‍යවල එය අගය කරලා අදහස් පළකර තිබුණා.
ඒ වගේම ස්වාමීන් වහන්සේලා, පියතුමන්ලා, පිටරටවල ජීවත්වන අය ඇතුළු හුඟක් අය මට දුරකථනයෙන් කතා කරලා ප්‍රශංසා කළා.
මෙයින් සහජීවනය, සංහිඳියාව යන දේවල් වචනයට සීමා නොකර ක්‍රියාවෙන්ම පෙන්වා තිබෙන බව ඔවුන් මට පැවැසුවා.

නමුත් අද රටේ පවතින වාතාවරණයත් සමග සංහිඳියාව වැනි දෑ වචනයට පමණක් සීමාවෙලා නේද?
ඇත්ත. සහජීවනය, සංහිඳියාව වැනි දේවල් වචනයට පමණක් සීමාවිය යුතු නැහැ.
එය ක්‍රියාවෙන්ම පෙන්වීමට අපි හැමෝටම හැකිවිය යුතුයි. අපි වෙනත් ජාතිකයන් වුණත් මේ සිංහල බෞද්ධ රටේ සහ සිංහල සංස්කෘතිය ඇතුළේ ඒ දහමට ගරුකරමින් එහි රැකවරණය ලබමින් ජීවත්වන බව කියන්න අපට හැකියාව තිබිය යුතුයි.
නමුත් බොහෝ දෙනාට එය කෙළින් කියන්න ශක්තියක් නොතිබිමයි මෙතැන තිබෙන ගැටලුව. එහෙම කියන්න බැරිනම් එතන තියෙන්නේ වෙනත් අරමුණක්.

ඔබ වැනිම කතෝලික භක්තිකයකු වන අපේ රටේ ජනප්‍රිය ගායකයෙක් මෙවර වෙසක් උත්සවයට කතෝලිකයන්ද එකතු වී ඉහළින් සැමරිය යුතු බව සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණා. නමුත් තමන්ගේ පවු‍ලේ සාමාජිකයන් සමග මෙවැනි කවරයේ ඡායාරූපයකට පෙනී සිටීමට ඔහු මුලින් කැමැති වී පසුව අකමැත්ත ප්‍රකාශ කළා. ඔබ ඔය කියන සංහිඳියාව සහ සහජීවනය ක්‍රියාවෙන් පෙන්වීමට ප්‍රසිද්ධ චරිත පවා මැලිවන බවට එය හොඳම උදාහරණයක් නේද?
ඔය සිදුවීම ගැන නම් කියන්න මම මුකුත් දන්නේ නැහැ. හැබැයි ලොකු කතා කියන ෆේස් බුක් එකේ හුඟක් අය වචනවලට පමණක් සීමා වූ පිරිසක් බව කිවයුතුයි.
ගෙදර පැළයක්වත් හිටවන්නේ නැති උදවිය අද විල්පත්තුව රැකගැනීම ගැන කතා කරනවා. ගෙදරදි අම්මාට සලකන්නේ නැති අය අම්මාවරුන්ගේ දිනයට අම්මාට සුබපතලා ෆේස්බුක් එකේ ෆොටෝස් දානවා.
තමන් කැමැති දේශපාලනඥයා හෝ දේශපාලන පක්ෂය මොන වැරැද්දක් කළත් ඔවුන් නිවැරදියි කියලා සමාජ ජාලවලත් ප්‍රචාර ගෙනියන සහ ඔවුන් බලයට පත්කරන මිනිස්සු තමයි අපේ රටේ ඉන්නේ. මේ වැරදි ආකල්පවලින් රටේ ජනතාව ඉදිරියේදීවත් මිදුණේ නැතිනම් මේ රට කවදාවත් දියුණු කරන්න බැහැ.

රටේ පවතින තත්ත්වය නිසා ප්‍රසංග වේදිකාව අද මුළුමනින්ම පාහේ ඇනහිටලා. සංගීත කණ්ඩායමක නායකයෙක් විදිහට මේ තත්ත්වය ඔබ දකින්නේ මොන විදිහටද?
අපි කරන්නේ ජනතාවට විනෝදය ලබාදෙන වෘත්තියක්. මේ වගේ අර්බුදකාරී වාතාවරණයකදී අපට තමයි අන්තිමටම අපේ වැඩකටයුතු පටන්ගන්න වෙන්නේ.
රටේ අද තිබෙන තත්ත්වය දිහා බලලා අපි තවමත් ඉවසලා ඉන්නවා. නමුත් ලක්ෂ දෙකකට අධික පිරිසක් ඉන්නවා ප්‍රසංග වේදිකාවෙන් යැපෙන. ඒ හුඟක් අයට වෙනත් ආදායම් මාර්ග නැහැ. මේ නිසා රට යථා තත්ත්වයට පත්වූ වහාම නැවතත් අපේ වෘත්තීය කටයුතු පටන් ගන්න අපි බලා‍පොරොත්තුවෙන් ඉන්නවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!