Gossip

“අදටත් මගේ මහත්තයා ගැන ආඩම්බරයෙන් ඉන්නේ. එයාගේ බිරිඳ වීමට මට ලැබීම භාග්‍යයක්. එයාටයි මටයි දුවෙක් ඉන්නවා. මට දුක එයා නැති වෙනකොට දුව හම්බවෙන්න මාස 5යි”

යුද්ධය ඔබ කොයිතරම් කුරිරුදැයි අසා ඇත්තෙමි. දහස් ගණන් ජීවිත බිලිගත් ඔබ පරදා සාමය ළඟා වී දස වසරක් ගෙවී ගොස් ඇත්තේය.
ඒ ආදරණීය රණවිරුවා ද මිහිකත තුළ වැළලී දස වසරක් ඉබේම ගෙවී ගොස් ඇත.
නමුත් අදද ඔහුගේ මතකය දහස් ගණන් මිනිසුන් තුළ ජීවමාන වේ. තම ආදරණීයයන් වෙනුවෙන් තම මවුබිම රැකගැනීමට රක්ත රුධිරය ගලා යන සේ යුද වැදී ආදරණීය රණවිරුවාණෙනි, මිය යන මොහොතේ ඔබේ සිහිනය කුමක්දැයි මා නොදනිමි.
නමුත් එඩිතර සිතේ දුකක් නම් නොතිබූ බව මම දනිමි.
ඔබ වැඩුණු මව්බිමට ණය නැති උදාර රණවිරුවෙකු ලෙසින් මිය ගියේය.
ආදරණීය ලූතිනන් කර්නල් ලලිත් ජයසිංහ රණවිරුවාණෙනි. ඔබ මගේ හදේ නොමියෙන මතකයයි. මා පිං කළ ඇත්තියක් මෙන් හැගේ. මන්ද ඒ ආදරණීය උදාර රණවිරුවා මගේම ආදරණීය මාමණ්ඩිය වන බැවිනි.
ඒ 6 ශ්‍රේණියේ ටී. එස්. ඒ. එස්. තෙනුජා නෙත්දිනි දියණිය තම මාමාගේ 43 වැනි ජන්ම දිනය නිමිත්තෙන් තම පාසලේ සඟරාවකට ලියන ලද ලිපියකි.
ඇයගේ ලෝකයට වීරවරයෙක් වුණ ඇගේ මාමා අන් කවරෙකුවත් නොව අද අප සියලූ දෙනාටම ඒකීය රටක් උරුම කර දීමට එල්.ටී.ටී.ඊ. ම්ලේච්ඡ කොටි ත‍්‍රස්තයන්ගෙන් සහමුලින්ම රට මුදා ගැනීමේ ඒ මහා සටනේ සෙන්පතියෙකුව සිට රුදුරු කොටි බලමුළු මැදින් ඒ කුරිරු වූ ත‍්‍රස්ත බිමට ඇතුළු වී යමෙකුට කරනවා තියා සිතන්නටවත් නොහැකි ලෙස කොටි පාලන ප‍්‍රදේශයේ කි. මී. 40 ක් පමණ දුරට ගොස් ඔත්තු බලා එල්.ටී.ටී.ඊ. නායකයන් ඉලක්ක කර ප‍්‍රහාර එල්ල කරමින් කොටි ත‍්‍රස්ත නායකයන්ගේ මරණබිම තීව‍්‍ර කළ අපේ කාලයේ සිටි දුටුගැමුණු පරපුරේ අභීත සෙන්පතියෙකු වූ ගැමුණු හේවා බළකායට අනුයුක්තව දිගු දුර විහිදුම් බළකාය නම් වූ විශේෂ බළකායේ සේවය කළ නි/64314 ලූතිනන් කර්නල් ජේ. ඒ. එල්. ජයසිංහ හෙවත් ලලිත් ජයසිංහ නම් වූ ලක්මවගේ අභීත පුතණුවන්ය.
කොළඹ සිට රත්නපුර දක්වා ගමන් කරන ඕනෑම අයෙකුට අවිස්සාවේල්ල නගර පිවිසුමේ තානායම ඉදිරිපිට පිහිටි කර්නල් ලලිත් ජයසිංහ නම් වූ ඒ අභීත රණවිරුවාගේ දැවැන්ත පිළිරුවක් දැකිය හැකි වේ. තම උපන් දේශයට කළා වූ අපරිමිත සේවය අගයා තනා ඇති එතුමාගේ පිළිරුව අසලින් ගමන් කරන ලොකු කුඩා වැඩිහිටි බොහෝ දෙනා ජාති ආගම් බේදයකින් තොරව හිස් වැසුම් ගලවා ගෞරව කරමින් ගමන් කරන අයුරු කුරිරු යුද්ධය නිමවී දස වසරක් ගෙවී ගොස් ඇති අදද දැකිය හැකි වීම සුවිශේෂී කරුණක් වෙනවා.
තිස් වසරක කුරිරු ත‍්‍රස්තවාදි උවදුරෙන් මුළු මහත් රටත් ජාතියත් බේරා ගැනීමට තම ජීවිත පරිත්‍යාගයෙන් යුද වැදී ඒ අමිහිරි අඳුරු යුගය නිමා කර රටට දැයට සාමය උදාකරවූ අභීත සෙන්පතියන් වූ ලලිත් ජයසිංහලා මිහිමත නිදන්ව දස වසරක් ගතවීමටත් මත්තෙන් නැවත වරක් අන්තවාදී ආගමික ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ප‍්‍රහාරවලින් රටම භීතියෙන් සලිත වී ඇති මොහොතක අන් කවරදාටත් වඩා ලක් මාතාවට ජාතියේ පැවැත්ම වෙනුවෙන් තම රුහිරය වගුරුවා දිවිදුන් ලලිත් ජයසිංහලා වැනි අභීත පුතුන්ගේ අගය වැඩි වැඩියෙන් දැනෙන යුගයක ඔවුන්ගේ ජීවිත කැප කිරීම තුළින් සුජීවත්ව සිටින අපට ඔවුන්ව සිහි කිරීම අපගේ පරම යුතුකමක් යැයි සිතමිනුත් පසුගිය අප්‍රේල් 29 වන දිනට යෙදුණු අභීත රණවිරු ලලිත් ජයසිංහ විරුවාගේ 43 වන ජන්ම දිනය සිහිකරමිනුත් ඔහු වෙනුවෙන් මතකාවර්ජනයක් ලෙසත් මෙවන් ලිපියක් සැකසීම කාලෝචිත යැයි හැඟී ගිය හෙයිනුත් මෙවන් ලිපියක් සැකසීමට අපට සිත්විය.
වර්තමානයේ ලලිත් ජයසිංහ නම් වූ ඒ සදාදරණීය විරුවාගේ පවුලේ උදවිය පිළිබඳ සොයා බැලීමට අප උත්සාහ කළේ ඒ හේතුවෙනි.
ඉතින් රටක් කෙළින් හිටවූ පුතෙක් සැරි සැරූ හැදී වැඩුණු ගේ දොර පරිසරය තුළින් විහිදෙන ඔහුගේ සුවඳ තැවරුන පරිසරයට අපි ගියේ ඒ වීරත්වය තුළින් මතුවුණ දුක්මුසු හැඟීම් රටට හෙළි කිරීම පිණිසය.
කොළඹ රත්නපුර ප‍්‍රධාන මාර්ගයේ පුවක්පිටිය හන්දිය පසුකර අවිස්සාවේල්ල දෙසට වන්නට ඇති පිලිප් ගුණවර්ධන ක‍්‍රීඩාංගණය ඉදිරිපිට ප‍්‍රධාන මාර්ගයේ අභියස අතුරු මාවතක පිවිසුම අභියස රණවිරුවෙකුගේ රුව සහිත මාවතක් දැකිය හැකිය. ඒ ලූතිනන් කර්නල් ලලිත් ජයසිංහ විරුවා නමින් නම් වූ මාවතයි. එම මාවත දිගේ කිලෝ මීටරයක් පමණ ඇතුළට යන විට නිස්කලංක රබර් වතු යායක් හමුවුණා. අමුතුම වූ ගුප්ත හැඟීමක් ජනිත වූ ඒ පරිසරයේ රබර් ගස් එකින් එකට මොනවදෝ මුමුනන්නා සේ හැඟීමක් අප සිත්තුළට ඇති වුණා.
නිසල නිස්කලංක පරිසරයක එකයායට සීරුවෙන් සිටින සෙබළුන් සේ දිස් වුණ රබර් ගස් යාය පසු කරමින් ඉදිරියට ගිය අපට මාර්ගය අසලම දකුණුපසට වන්නට පිහිටි නිවසක් හමුවුණා. ‘‘ ඕක තමයි ලලිත් සර්ගේ නිවස” මඟ පෙන්වූ තරුණයා එම නිවසට අත දිගු කර අපට පෙන්වන්නට විය.
අප සෙමින් නිවස තුළට යන විට නිවස තුළ සිටි වැඩිහිටි යුවලක් අපිව ඉතාම සුහදව පිළිගන්නට වුනා.
ඒ ලලිත් ජයසිංහ ගේ ආදරණීය අම්මයි, තාත්තායි. ඔවුන් තුළ වූ මානවීය ගුණය ඉතාම ඉහළින් පිළිබිඹු කරමින් අපව නිවස තුළට කැඳවා අප සමඟ පිළිසදරක නියැලූනා. නිවස පුරාවටම තම ආදරණීය පුතණුවන්ගේ ඡායාරූපවලින් පිරී තිබුණා. සැඳෑ සමය ඉතාමත් සරලව ගත කරන ලලිත් ජයසිංහ විරුවාගේ මාපියන් පැවසූ දෙය ඔබ මීට පෙර අසා නැති කරුණක් වෙන්නට ඇති නිසා ඔවුන් කී දෑ මා මෙලෙසින් වාක්‍යවලට පෙරළන්නට උත්සාහ කළෙමි. දැරණියගල දිගල නම් ගමේ පදිංචිව සිටි ජේ. ඒ. ජයසිංහ මහතාට හා ඞී. ජී. සුමනා ජයසිංහ මැතිණියට දාව 1976 අපේ‍්‍රල් 29 වැනි දින පුංචි පුතෙක් ඉපදෙනවා. මේ පුංචි පුතාට දෙමාපියෝ ලලිත් ජයසිංහ කියලා නම් තබනවා.
හැබැයි කවදා හරි දවසක තම පුතා ලාලිත්‍යයෙන් සිංහයෙක් වගේ ජය ලබනවා කියලා හිතලා නොවුණත් ඒ නම ඒ පුංචි පුතාට අපූරුවට ගැළපෙනවා කියලා දැනුනේ කාලයක් ගත වුණාමයි. පුංචි ලලිත්ට හරියටම වයස අවුරුදු හතරක් වෙනකොට ලලිත්ගේ තාත්තා අවිස්සාවේල්ල කිරිවන්දල පාන්යම් වතු යායේ සේවයට එනවා. ඒ 1980.
එදා ඔවුනට තම ෆැක්ටරියට යාබද වූ නිල නිවස පදිංචියට ලැබෙනවා. එදා ඉඳන් පුංචි ලලිත් හැදුනේ වැඩුනේ මේ පුවක් පිටිය කිරිවන්දල පාන්යම් වතුයායේ ලැබුණු නිවසෙයි. පුංචි ලලිත් දුව පැන සෙල්ලම් කරපු ඒ ගහකොළ පිරි පරිසරය අදත් බලා ඉන්නේ ලලිත් ජයසිංහ ගමට එනකල් වගේ.
ලලිත් පාසල් අධ්‍යාපනය සඳහා ඇතුල් වෙන්නේ අවිස්සාවේල්ල ජනාධිපති විදුහලට. එහිදී අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබන ලලිත් උසස් අධ්‍යාපනය සඳහා කොළඹ ලූම්බිණි විද්‍යාලයට ඇතුළත් වෙනවා. දෙමව්පියන් කියන විදියට ලලිත් පොඩිකාලේ ඉඳලම සෙල්ලම් තුවක්කු අරන් ආරක්ෂක නිලධාරියෙක් විදියටලූ නිතරම සෙල්ලම් කරලා තියෙන්නේ.
ඔහොම කාලය ගතවෙලා ලලිත් ශ‍්‍රී ලංකා යුද හමුදාවට බැඳෙනවා.
ඒ වෙනකොට එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් රටම වෙලාගෙනයි තිබුනේ. දැඩි භීෂණ සමයක තම ආදරණීය පුතණුවන් යුද බිමට යැවීමට තරම් වීරත්වයක් ඒ අම්මට තාත්තට තිබුණේ ජාතියේ පිනකට. වීරයන් බිහි වෙන්නේ වීර මවුපියන්ගේ ජානවලින් කියන කියමන පසක් කරමින් ලලිත් ජයසිංහ යුද හමුදාවේ ක‍්‍රියාන්විත රාජකාරියේ නිරත වුණේ තම ඉහළ නිලධාරින්ගේ අවධානය ද සීග‍්‍රයෙන් තමා වෙත යොමු කර ගනිමිනි.
අතිශය දරුණුම කාලපරිච්චේදයක් වූ 2005 – 2008 කාල වකවානුවේ ශ‍්‍රී ලංකා ගැමුණුහේවා බල ඇණියේ විශේෂ බළකාය සමඟ එක්ව එවකට ත‍්‍රස්ත ඉලක්ක හඹා ගොස් පහර දෙන දිගු දුර විහිදුම් බළකායේ අණදෙන්නෙකු ලෙස සේවය කරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආරම්භක ගුවන් අංශයේ ප‍්‍රධානියා වූ ශංකර් ඇතුළු කොටි ත‍්‍රස්ත නායකයන් විශාල ප‍්‍රමාණයක් ඔවුන් ගේ ආසන්නයටම ගොස් පහර දී විනාශ කිරීමට මෙම වීරෝදාර සෙන්පතියාට හැකි වී ඇත.
තවද සංග‍්‍රාම භූමියේ කොටි බලමුළු තුළට රිංගා ඔවුන් ගේ මර්මස්ථාන හඳුනාගෙන එම ස්ථාන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට නිශ්චයටම ඉලක්ක කර ගැනීමට අවශ්‍ය තොරතුරු දී පහර දෙන්නැයි කී විට වරෙක හමුදාවේ ඉහළ නිලධාරීන් පවසා තිබුනේ අපි පහරදෙන්නම් ලලිත් ඔයා ඔතනින් අහකට යන්න යනුවෙන් සඳහන් කර ඇත.
කමක් නෑ සර් ගහන්න, මම ආරක්ෂිතව ඉන්නම් කීව විට අපට ත‍්‍රස්ත නායකයන්ට වඩා ඔයාගේ ජීවිතේ වටිනවා.
ඔයා අයින් වෙන්න. යනුවෙන් සඳහන් කර ඇති අවස්ථා ද ඕනෑ තරම් බව අපට දැනගන්නට ලැබිණි. එයින්ම ඔහුගේ වීරත්වය කෙසේද යන්න මොනවට පැහැදිලි වනු ඇත. මේ වීරෝදාර විරුවාගේ මෙහෙය කොතෙක් ද කියතොත් මෑත කාලයේ ඉමහත් ජනාදරයට පත් කෘතියක් වන මේජර් ජෙනරාල් කමල් ගුණරත්නයන් ලියන ලද ‘‘රණබිම ඔස්සේ නන්දිකඩාල්” ග‍්‍රන්ථයේ ලලිත් ජයසිංහ රණවිරුවා ගැන මෙසේ සඳහන් කර ඇත.
‘‘ලූතිනන් කර්නල් ජේ. ඒ. ලලිත් ජයසිංහ ත‍්‍රස්ත නායකයන් විනාශ කිරීමේ අරමුණින් ස්ථාපිත කල දිගු දුර මෙහෙයුම් කණ්ඩායමක අණදෙන්නා වූ එවකට මේජර් ජේ.ඒ.එල්. ජයසිංහ 2008 නොවැම්බර් 26 වන දින ඔඞ්ඩුසුඩාන් සතුරු භුමියේදී කි. මී. 40 ක පමණ දුරක් සතුරු භූමියට ගොස් ඔඞ්ඩුසුඩාන් දක්වා දිවෙන මාර්ගය අසලදී සැලසුම් සකසා ඉදිරි ප‍්‍රහාර දියත් කරන අතරතුර අනපේක්ෂිත ලෙස එල්ල වූ සතුරු ප‍්‍රහාරයන් හමුවේ නොසැලී තම සාමාජිකයන් වෙනුවෙන් අත් නොහල සටනක යෙදී සතුරා ආසන්නයටම ගොස් ප‍්‍රහාර එල්ල කරමින් සිටියදී සතුරාගෙන් එල්ලවූ ප‍්‍රහාරවලින් සිදු වූ තුවාල නිසා මේ අසමසම වීරෝදාර විරුවා දේශය වෙනුවෙන් අවසන් හුස්ම හෙළීය…
අවසන් සටනේ ප‍්‍රබලයන් ලෙස පෙරමුනේ සිටි කමල් ගුණරත්න වැනි ඉහළ නායකයන්ගේ පැසසුමට පවා ලක් වූ මේ අභීත විරුවාගේ ඒ පරම වීර වික‍්‍රමය උදෙසා විරුවෙකුට ලැබිය හැකි ඉහළම ගෞරව සම්මානය වන පරම වීර විභූෂණ පදක්කමින් ද පසුකාලීනව පිදුම් ලැබීමට මේ විරුවා සමත් වී ඇත.
ඒ වීරෝදාර විරුවාගේ දෙමාපියන් අප සමඟ කී කතාන්තරය ඒ ආකාරයෙන්ම සටහනකට ගොනු කළද එය දෙමාපියන්ගේ හදවතින් මතුවුණ සංවේදී බව, දෙනෙත්වලින් පිළිබිඹු වුන දාරක ස්නේහය හා ඒ වචනවල ගැබ්ව තිබූ සංවේදී බව නම් අකුරුවලට පෙරළන්නට තරම් මා දක්ෂයකු නොවන බව මටම වැටහිනි.
මේ වීරෝදාර විරුවාගේ ගමන් මඟට දැවැන්ත සෙවනැල්ලක් වුණ ඒ ආදරණීය බිරිඳ හා දියණිය අප එම නිවසට ගිය මොහොතේ නොසිටියද දුරකථනයෙන් අප සමඟ කතා කළේ ඔවුන් තුළ වූ නිරහංකාර හා කෘතඥතාව පිළිබිඹු කරවමිනි. ඇය නමින් කෞශල්‍යා රොද්‍රිගු ජයසිංහය. ඇය දුරකථනයෙන් අප සමඟ පැවසූ දෑ ඉතාම කෙටියෙන් පාඨකයන්ගේ දැනගැනීම පිණිස මෙසේ සටහන් කරමි.
‘‘පසුගිය 29 වන දින මගේ මහත්තයා ගේ 43 වන ජන්ම දිනය යෙදිලා තිබුණා. ඒ වාගේම මේ මාසේ 19 වෙනි දිනට වසර 30 ක කුරිරු යුද්ධය සහමුලින්ම නිමා කර වසර 10ක් වෙනවා.
මම අදටත් මගේ මහත්තයා ගැන ආඩම්බරයෙන් ඉන්නේ. එයාගේ බිරිඳ වීමට මට ලැබීම මගේ භාග්‍යයක්. එයාටයි මටයි දුවෙක් ඉන්නවා.
මට දුක එයා නැති වෙනකොට දුව හම්බවෙන්න මාස පහයි තිබුණේ. එදා මෙදා තුර කාල සීමාව ගැන කතාකළොත් යුද හමුදාවෙන් සහ ආරක්ෂක අංශවලින් අපට ලැබුන සහාය ඉතාමත් ඉහළයි. මහත්තයා නැතිවෙලා වසර 10 ක් පිරුන පසුගිය නොවැම්බර්වල එදා එයාගේ යුනිට්වල අය ගොඩාක් ඇවිත් ලොකු පිංකමක් කළා. යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් තමයි ඒ පිංකම කළේ. තුන්දහසක විතර සෙනඟ ආවා. අදටත් දුවගේ පාසල් ගමන් බිමන්වලට යුද හමුදාවෙන් ලබා දී තිබෙන මෝටර් රථය භාවිත කරනවා.
ඒක අපට ලොකු ශක්තියක් ඒත් වර්තමානයේ මට ලොකු කලකිරීමක් දැනෙනවා. වසර ගණනාවක් පැසවූ ත‍්‍රස්තවාදයක් තුරන් කරන්න අපේ මහත්තයා වගේ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරපු තුවාල වුණු විරුවන්ගේ ධෛර්යය මහන්සිය අපතේ ගිහින්ද කියලා හිතෙනවා. ඉතාම කෙටි කාලයක් තුළ ආයෙමත් රට අඳුරු ත‍්‍රස්තවාදයකින් බිලි අරන්. මෙච්චර පරිස්සන් කරපු රට මේ වගේ අත්තනෝමතික ලෙසට විනාශ වෙනවා දකිද්දී පපුව පිච්චෙනවා.
රට දාලා පිටරට යන්න හිතෙන, හිතුන වාර අනන්තයි. ඒත් ජීවිත පූජා කරලා රට වෙනුවෙන් කැපවුන මගේ මහත්තයා වගේ අය අපට උරුම කර දීපු මේ රට දාලා කොහේවත් යන්න හිතෙන්නේ නැහැ. අනික තමා එයා වගේ වීරයෙක් බිහිකරපු අම්මයි තාත්තයි මම රැක බලා ගන්න ඕනි. ඒක මගේ යුතුකම.
හැමවෙලේම මට මහත්තයාගේ අඩුව දැනෙනවා. හැබැයි මම ලලිත් ජයසිංහගේ බිරිඳ කියලා හිතෙනකොට පුදුම ආත්ම ශක්තියක් ඇති වෙන්නේ.
දැන් දරුවා පාසලට යවන්න බයයි. ඒ තරම් රට අනාරක්ෂිත වෙලා. මේ වෙලාවේ කවදාවත් නැති විදියට මට මගේ මහත්තයාගේ අඩුව දැනෙනවා. එයා හිටියානම් දුවගේ රැකවරණය එයා බලාගන්න නිසා. අදටත් මගේ දුව පාසල් යන්නේ තාත්තට වැඳලා. එයාගේ උපන්දිනයට කේක් කපලා තාත්තගේ පංගුව තියෙනවා. කලකිරීම් කොපමණ තිබුණත් මම වැඩිය කතා කරන්න යන්නේ නෑ. හැබැයි මට වෙලාවකට හිතෙනවා ජීවිත පූජාවෙන් දිනපු රටට කවදාවත් නපුරක්නම් වෙන එකක් නෑ කියලා.
කොයිම කෙනෙකුටවත් ආපසු නම් බෙදුම්වාදයක් ගැන කතා කරන්න බැරි තැනකින් තමයි මගේ මහත්තයා කථාව ඉවර කළේ. එයා ඉතිහාසයට එක්වෙලා හමාරයි. ඒ අඩුව, පාළුව, ඒ සුන්දරත්වය මේ ආත්මෙදි නොලැබුනත් අපේ සංසාරගත බැඳීම මත මොනයම් හෝ භවයක අප මුණගැහෙයි. එතකන් මම ඒ වීරෝදාර යුග පුරුෂයාගේ මතකයෙන් දිවි ගෙවනවා.
අනුකම්පාවට අකමැති උජාරුවක් නොමැති, නිරහංකාර ගති ඇති, කෙළින් කතා කරපු ඇයගේ කතා බහ අපට සිහිකළේ සැබෑම විරුවෙකුගේ වීර බිරිඳකගේ ලක්ෂණය. ඇය බොහෝ දේ කෙළින් කතා කළාය. සම්මාන පදක්කම්, ගරු බුහුමන් ඇය නොතැකුවාය. ඒ ඔහු වෙනුවෙන් ඇයගේ හදවතේ උපන් සදා නොමියෙන සම්මානයක් සන්තකව ඇති නිසාය. එහෙම පැවසූ ඇය දුරකථනයෙන්ම අපට සමුදුන්නාය.
එක් දිනෙක හිරු අවරට හැරුන මොහොතේ යුනිෆෝම් හැඳගත් ඔබගේම සහෝදරයන් නිවසට පැමිණ හැඟ වූ ඒ අමිහිරි පුවත ‘‘ලලිත් සර් මියගියා” ගිගුම් දෙයි මා මියෙනතුරා ඒත් නොහඬමි සොඳුර ඔබ මිය ගියේ තවත් දහස් ගණනක් ජීවිත ජීවත් කරවන්නටයි. ඔබ කළ අසම සම කැපවීම දාහකින් එකකුට කළ නොහැක ඔබ තුළ වූ වීරත්වය දාහකින් එකකුට නොමැත සදාදර සොයුරාණෙනි, සදාදර විරුවාණෙනි, දයාබර සැමියාණෙනි, සෙනෙහෙබර පියාණෙනි, ඔබ මගේ පමණක් නොව අපේ පමණක් නොව, මුළු මහත් රටේම සදාදර විරුවාමයි. ඔබට නිවන් සුව.
දයාබර බිරිඳකගේ පැතුම එය විය යුතුය. වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය මත ලලිත් ජයසිංහලා වුවමනාය. ඒ වීරත්වය පිරි තාරුණ්‍යය වුවමනාය.
ඉතින් අනාගතයේ උපදින වීරෝදාර විරුවන්ට ශක්තියක් සේ සිතා එදා උන් වීරෝදාර සෙනෙවි ලලිත් ජයසිංහ විරුවාණන් පිළිබඳ මෙසේ සටහන් කරන්නට සිතුවෙමු.
ඒ විරුවාගේ ආදරණීය දෙමාපියන්ට සමු දී නැවත ආපසු එනවිට අපට ගමන ආරම්භයේදී නොවැටහුණු කරුණක් පසක් විය. ඒ සෙබළුන් මෙන් පෙළට උන් රබර් ගස් එකිනෙකාට මුමුණා ඇත්තේ විරු ගුණ වයන්නට යන්නා වූ අප ගැන විය යුතුය.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!