Gossip

එයා අන්තිම හුස්ම ගන්නවා මට ඇහුණා, මං එයා ළඟට ගිහින් එයාව බදා ගත්තා – බිරියගේ අවසානය හදවත් කම්පා කරමින් සැමියා හෙළි කළ හැටි

හෑන්ස් උපතින්ම ස්වීඩන් ජාතිකයෙකි. ඔහු ඉපදුණේද ධන කුවේරයකු ලෙසය.
පරම්පරා ගණනකට සෑහෙන සේ ඔහුට මේ ධනස්කන්ධය උරුම වුයේ ඔහුගේ පියා සහ සීයාගෙනි.
ස්වීඩන් ඇසුරුම් ව්‍යාපාරයක හිමිකරුවන් වූ ඔවුන් සිය ව්‍යාපාර කරගෙන ගියේ එංගලන්තයේය.
කුඩාකල සිටම ස්වීඩනයේ ඉගෙනුම ලැබු හැන්ස් එංගලන්තයට ආවේ 1982 වසරේදීය.
ඊට පෙර ඔහු ආසියාවේ සංචාරයකට එක්විය. මේ මහා ධනකුවේර තනිකඩයාගේ දිවිය ඔහු මෙතෙක් නොදන්නා ඉසව්වකට යෑමට මඟ පෑදුණේ ඒ ආසියානු සංචාරයේදීය.
එතැන් පටන් හෑන්ස්ට මත්ද්‍රව්‍ය නැතිවම බැරිවිය. ඔහු මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හා එකතුව මත්ද්‍රව්‍ය ගන්නට පුරුදු විය.
සිය සුබෝපභෝගී දිවි පෙවෙතේ සැප සම්පත් විඳ ගැනීමට වඩා ඔහුට අවශ්‍ය වුයේ මත්ද්‍රව්‍ය නිසා ඇතිවන අමුතුම ලෝකයේ තනිවීමටය.
මේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිකම නිසා අවසානයේ හැන්ස්ට සිදුවුයේ පුනුරුත්ථාපන මධ්‍යස්ථානයක පිහිට පැතීමටය.
ඔහු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ නතරව මතෙන් මිදීම සඳහා වෙර දැරුවේය. හෑන්ස්ට සිය දිවියේ ඉරණම්කාරිය මුණ ගැසුණේ එතැනදීය.
ඇය ඊවා ය. ඊට ද මතට ඇබ්බැහිව සිටි තරුණියකි. ඇය ද එම මධ්‍යස්ථානයට පැමිණ සිටියේ මතින් මිදීම සඳහාය.
ඊවා ද ධනකුවේරයකුගේ දියණියකි. ලොව පුරා ප්‍රචලිත පෙප්සි කෝලා සමූහයේ ඉහළ පෙළේ විධායකු වූ ඇගේ පියාද කෝටිපතියෙකි.
පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී දැන හඳුනාගත් මේ දෙදෙනා වැඩිකලක් යෑමට මත්තෙන් ආදරවන්තයෝ වූහ.
දිනෙන් දින ඒ ආදරය මුහුකුරා ගොස් 1992 වසරේ දී ඔවුහු විවාහ වූහ. විවාහයෙන් පසු දෙදෙනා පදිංචි වුයේ එංගලන්තයේ ය.
ලන්ඩනයේ මහා ධනකුවේරයින් වාසය කරන බෙල්ග්‍රේවියා ප්‍රදේශයේ කැඩොගාන්හි ඔවුන් පදිංචි වූයේ පවුම් මිලියන 70ක් පමණ වටිනා නිවෙසකය.
කාමර 50 කින් පමණ යුතු තෙමහල් නිවෙසක් වූ එහි දෙවැනි සහ තෙවැනි මහල් නිවෙසේ හාම්පුතුන් සඳහා වෙන්විය. අතට පයට දැසි දස්සන් සහිතව ඉතා සුබෝපභෝගීව ජීවත් වූ ඔවුනට ධනය ගලා ආවේ කොතනින්දැයි නොදන්නා තරමට ධනස්කන්ධයක් ලැබිණි. එහෙත් ඔවුන්ට දරුවෝ නොවූහ.
දැඩි ආදරයෙන් වෙලී සාමයෙන් ගෙවී ගිය ඔවුන්ගේ ජීවිතවලට කාලයක් යන තුරුම යළි මත්ද්‍රව්‍ය ළඟාවුයේ නැත.
ඒ නිසාම ඔවුහු මතින් මිදුණු ජීවිත ගත කළහ. එහෙත් ඔවුන්ගේ මේ ජීවිත මෙසේ සැනසිල්ලේ ගලා ගියේ අලුත් දශකය උදාවනතෙක්ය.
අලුත් දශකය උදාවීමේ ප්‍රීතිය සැමරීමේ උලෙළකදී ඊවා සිය මත්ද්‍රව්‍ය පිටුදැකීමේ පිළිවෙත මඳකට ලිහිල් කළාය.
ඇය එදා රෑ මත්ද්‍රව්‍යවලින් මත්පැන්වලට මාරු වී ෂැම්පේන් වීදුරුවක රස බැලුවාය.
එලෙස ෂැම්පේන් වීදුරුවෙන් ඇරැඹු ඊවාගේ මත්ලෝලිත්වය ඉන්පසු යළිත් කොකේන් ආදී වූ මත්ද්‍රව්‍ය කරා ඇදී යෑමට වැඩි කාලයක් ගත නොවීය.
“අපි දෙන්නා හරිම ආදරයෙන් හිටියේ. දෙන්නට නොදැක ඉන්න බැරි තරමේ ආදරයෙන් අපි එකිනෙකාට බැඳිලා.
ඒත් ඊවා යළිත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණාට පස්සේ අපි දෙන්නා ඈත් වුණා. එයා එයාගේ පාඩුවේ කාමරයට වෙලා හිටියා.” හෑන්ස් පැවසුවේය.
මේ වෙද්දී 48 හැවිරිදි වියේ වූ ඊවා හෘදයාබාධයකින්ද පෙළුණාය. හෘදයේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත්ව පැවතීම සඳහා හෘද බැටරියක් ද ඇයට සවි කර තිබුණාය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ඊවා තමාගේම ලෝකයක තනිවෙද්දී හෑන්ස් ද යළිත් ටිකෙන් ටික මතට ඇබ්බැහි විය.
ඊවා ඇගේ ලෝකයේ තනිවෙද්දී හෑන්ස් ද තමාගේම ලෝකයක තනිවිය.
ඉහළ සමාජ තලයක වැජඹුණු මේ යුවළ කරා යළිත් මත් රකුසා ළඟාවෙද්දී සමාජ තත්ත්වය පවත්වා ගැනීමට යෑම නිසාදෝ යළිත් මතින් මිදීමට ඔවුහු උත්සාහ කළහ.
එහි තවත් එක් ප්‍රයන්තයක් වුයේ ඊවා යළිත් මිදීම සඳහා පුනරුත්ථාපන කඳවුරක් කරා යාමය. ඒ සඳහා ඊවා ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ මාලිබු කරා පියාසර කළාය.
ඇය මාලිබු හි සිට මතින් මිදීමට උත්සාහ දරද්දී හෑන්ස් ලන්ඩනයේ තනිවිය.
මාලිබු ගියදා ඊවාට එහි වැඩි කලක් රැඳී සිටීමට නොහැකි විය. එයට හේතුව වුයේ මතින් මිදීමට උත්සාහ දැරූ ඇය සන්තකයේ තිබු රහස් පසුම්බියක වැලියම් පෙති කීපයක් තිබී හසුවීමය. ඒ නිසාම ඊවා එතැනින් නෙරපා හැරිණි. මාලිබු හැරදමා ඊවා යළි ලන්ඩන් නිවෙස කරා ආවේ පසුගිය අපේ‍්‍රල් 29 වැනිදාය.
හෑන්ස් සහ ඊවාගේ නිවෙසේ බ්‍රිතාන්‍ය ජාතික හා පිලිපීන ජාතික මෙහෙකරුවෝද සේවය කළහ. එදා මාලිබු සිට පැමිණ සිය කාමරයට වැදුණු ඊවා ඉන්පසු මේ සේවකයන්ට පෙනේනට එළියට නොආවාය.
මතින් මිදීමට කොතරම් උත්සාහ දැරුවද දෛවය ඇයට ඒ සඳහා ඉඩ දුන්නේ නැත. මේ නිසාම ඇය සිය එදිනෙදා ජීවිතය කෙරෙහිද එතරම් සැලකිල්ලක් නොදැක්වුවාය.
“ඊවා එයාගේ ශරීර සෞඛ්‍ය ගැනවත් එතරම් තැතීමක් කළේ නැහැ. ඇය සෞඛ්‍ය අතින් පිරිහීගෙන යනවා මට දැනුණා. එයාගේ හෘදයේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත් වීමට දමා තිබු බැටරිය දුර්වල වෙනවා මට දැනුණා. ඒත් අලුත් බැටරියක් දමා ගැනීමට ඇය උනන්දුවක් දැක්වුයේ නැහැ.” යැයි හෑන්ස් පැවසුවේය.
ඒ පසුගිය 09 වෙනිදාය. ලන්ඩනයේ වීදියක් දිගේ පැත්තෙන් පැත්තට වැනෙමින් එන සුබෝපභෝගී මෝටර් රියක් පොලිස් නිලධාරීන්ගේ නෙත ගැටිණ.
වහා ඉදිරියට පැන්න නිලධාරීහු රිය නැවැත්වුහ. අපරීක්ෂාකාරී අයුරින් වාහනය පැදවීම සම්ධයෙන් රියදුරාගෙන් ප්‍රශ්න කළ පොලීසියට රියදුරා ගේ හැසිරිමේ වෙනසක් දක්නට ලැබිණි.
ඔහු හැසිරුණේ සිහි මද පුද්ගලයෙක් ලෙසයි. ඇස් දෙකේ වුයේ ද හිස් බැල්මකි. ඔහු ගැන සැක සිතී අප තවදුරටත් රිය පරීක්ෂා කළා. ඇදවී ගිය හැරමිටියක් වැනි යකඩ පයිප්පයක් ඔහුගේ දෙපා අතර තිබුණා. කැනබිස් මත්ද්‍රව්‍ය සහ තවත් සුදු පැහැති කුඩු වර්ගයක් රියේ තීබි හමු වුණා.” පොලීසිය ප්‍රකාශ කළේය.
මේ සුබෝපභෝගී රියේ රියදුරා වුයේ හෑන්ස්ය. ඔහුගේ ඉරියව්වලින් පළවූ අමුතු ස්වභාවය නිසා පොලිස් නිලධාරීහු තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කළහ. ඒ අතර රියේ පිටුපස තිබී නිලධාරීන්ට හමුවුයේ ඊවාගේ නමට යොමුකර තිබූ ලිපි පිරවූ බෑගයකි. ඒ ලිපි එකක්වත් විවෘත කර නොතිබිණ.
“මේ ලියුම් කාට ලැබුණු ඒවා ද?”
“ඒ මගේ මෝනාට ලැබුණු ලිපි“ හෑන්ස්ගේ පිළිතුර විය.
“කෝ ඔබේ නෝනා?” නිලධාරිහු ප්‍රශ්න කළහ.
හෑන්ස්ගේ දෑස් කරකැවිණි. ඔහුට පිළිතුරක් සිතාගත නොහැකි සේය.
“එයා කැලිෆෝනියාවේ”
සෑහීමට පත්නොවු නිලධාරීහු වහාම හෑන්ස්ගේ මන්දිරයට ගියහ.
නිවෙසේ පළමු මහළ ඉතාම ක්‍රමවත්ව සකසා පිරිසුදුව පිළිවෙළකට තිබිණ. පොලීසිය නිවෙසේ සිටි මෙහෙකරුවන්ගෙන් ප්‍රශ්න කළේය.
“නිවෙසේ පළමු මහළ පිරිසුදු කර පිළිවෙළකට තියන්නේ අපි. ඒත් නෝනයි මහත්තයි ජීවත් වෙන දෙවැනි මහළට යෑම අපිට තහනම් “මෙහෙකාරියෝ තිදෙනෙක් පිළිතුරු දුන්හ.
පොලිසීය වහාම දෙවෙනි මහළට ගොඩවිය. දෙවෙනි මහළ ඉතාම අපිරිසුදුය. අපිළිවෙළය. සේවකයන් එහි පා නොතැබීම නිසා එය තනිකරම අපායක් බවට පත්ව තිබිණ.
සේවයකයන්ගේ තොරතුරුවලින් පැවසුණේ දෙවැනි මහළට ආවේ ගියේ හෑන්ස් පමණක් බවය.
නිලධාරිහු වහාම දෙවැනි මහළ පරීක්ෂා කළහ. එය මැස්සන් හා දුගඳින් ද පිරී තිබිණි.
එහි වූ එක් කාමරයකට ඇතුළු වන දොර ගෘහ භාණ්ඩ හරස්කර අහුරා තිබු අතර ටේප් යොදා දොර වසා තිබිණි. එසේ වසා දමා තිබුණේ දෙවැනි මහලේ වූ ප්‍රධාන නිදන කාමරයයි.
පොලීසිය ඒ සියලු බාධා බිඳගෙන ඊට ඇතුළු විය.
“එහි තිබු විශාල ඇඳ ඝනකම් කුඩාරම් රෙද්දකින් වසා ඒ මතුපිට රූපවාහිනියක් තබා තිබුණා. දැවැන්ත තිරයකින් යුත් ඒ රූපවාහිනියෙන් ඒ විශාල ඇඳේ කොටසක් වැහිලා. ඒ අසල මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීමට උපයෝගී කරගන්නා එන්නත් කටු සහ බෙහෙත් පෙති අසුරන විශාල ප්‍රමාණයක් තිබුණා.”
නිලධාරියෙක් පැවසීය.
“මෙහි ඇතුළු වෙද්දීම හමා ආ දුගඳෙන් මෙතන කුමක් හෝ අමතු යමක් සිදු වී ඇතැයි මට දැනුණා. නිදන කාමරයට ඇතුළු වුණාම මගේ ඒ සැකය සනාථ වුණේ හමා ආ අධික දුර්ගන්ධය නිසයි.”
නිදන කාමරය ඉවසිය නොහැකි තරම් වූ මිනී කුණු ගඳින් යුක්ත වූ අතර කාමරයේ ගඳ මැස්සෝ හා පණුවෝ පිරී සිටියහ. ඇඳ වසා තිබු ඝනකම් රෙද්ද යටින් ඕජස් වැගිරෙමින් තිබූ අතර ඇඳේ සිට බිම දිගේ ඇදෙමින් සිටි පණු කැළතකි. බිම දිගටත් බිත්ති දිගටත් වසා සිටි ඉහඳ මැස්සෝ පොලිස් නිලධාරීන් එහි ඇතුළු වෙද්දී ඔවුනගේ සිරුරු පුරා ද වැසුහ.
“මුළු කාමරයම බඩු වලින් පිරීලා. ඒ මදිවාට පණුවෝ, මැස්සෝ. ඒත් අපි රාජකාරිය කළ යුතුයි. අපි විශාල ඇඳ වසා තිබු රෙද්ද ඉවත් කළා. රෙද්ද ඉවත් කරද්දී ඊටත් යටින් තවත් රෙද්දක් තිබුණා. ඒ රෙද්ද ඉවත් කරද්දී ඊටත් යටින් තවත් රෙද්දක්. මේ ලෙස අපි රෙදි දොළහක් ඉවත් කළා. මේ රෙදිවල මිනී කුණු වූ ඕජස්, පණුවෝ, මැස්සෝ,? අන්තිම රෙද්ද ඉවත් කරද්දී අපි දුටුවේ කුණු වී ගිය මුහුණක් සහිත හිසක්, රන්වන් පාට කෙහෙවැටියක් දුටුවහාම මිනීමැරුම් ඒකකය එතැනට කැඳවුවා. “
පොලිස් නිලධාරීන් සිද්ධිය විස්තර කළේය.
පරීක්ෂකයන් වහාම අදළ ස්ථානයට කැඳවුණු අතර කුණු වී ගිය මිනිස් සිරුර පිළිබඳ පරීක්ෂණ ඇරැඹිණ.
එය ඊවාගේ සිරුර බවට සනාථ කර ගැනුණේ ඇඟිලි සලකුණු මඟින් හා ඇගේ හදවතට සවිකර තිබු බැටරියේ අංකයෙනි. එය මිනීමැරුමක් නොවූ අතර ඇය මියගොස් සිටියේ හෘදස්පදනය වේගවත් වීමෙනි. එය සාමාන්‍ය හෘදස්පන්දන වේගයට වඩා හයගුණයකින් වේගවත් වී තිබු බව හෙළිවිය.
අධික ලෙස කොකේන්, හොරොයින් සහ වෙනත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටීම නිසා ඒ හේතුවෙන් ඇගේ හෘදස්පන්දනය වේගවත් වී ඇය ක්ෂණීක මරණයකට ලක්ව සිටියාය.
සැකකටයුතු හැසිරීම සහ ඊවාගේ මරණයට සැකපිට පොලිසිය මුලදී හෑන්ස් අත්අඩංගුවට ගනු ලැබීය.
එහෙත්, ඇගේ මරණය ස්වභාවික මරණයක් බවට ඔප්පු වීම නිසා ඔහු නිදහස් කෙරිණ. එහෙත් පොලීසිය දිගටම මෙහෙකරුවන් ගෙන් ප්‍රශ්න කළේය.
“අපි මෝනාව අන්තිමට දැක්කේ ඇය මාලිබු සිට ආපසු පැමිණිදායි.
එදා ඉඳන් මහත්තයා අපට දෙවැනි මහළට යෑම තහනම් කළා. මෝනාට උණ රෝගය වැළඳීම නිසා එය කළ බවත් කිව්වා.“
පිලිපීන ජාතික සේවිකාවක් පොලීසියට පැවසුවාය.
හෑන්ස් ආහාර බන්දේසියක් රැගෙන උඩුමහලට යන බවත් ඇතැම් අවස්ථාවල මුළුතැන් ගෙයිම සෝපාවක නිදා ගන්නා බවත් මෙහෙකරුවෝ කීහ.
“මේ දෙන්නා හරි ආදරයෙන් ජීවත් වුණා. ඒත් අවාසනාවකට වාගේ ඔවුන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම නිසා ඔවුන්ගේ ජීවිත දෙදරා ගියා.”
ඔවුන්ගේ අසල්වැසියන්ගේ අදහස් වුයේ එයයි.
අවසානයේ පොලීසිය අනාවරණය කරගත්තේ ඊවා මියගොස් සති අටකට පසුත් හෑන්ස් දිගන් දිගටම සිය මෙහෙකරුවන්ට සිය බිරිය ජීවත්ව සිටින බව පෙන්වීමට දැඩි උත්සාහයක් දරා ඇති බවය. ඒ නිසාම ඔහු ඇගේ සිරුර බ්ලැන්කට්ටුවලින් වසා දුගඳ වැළැක්වීමට සුවඳ ද්‍රව්‍ය ඉසිනු ලැබීය. එසේම ඇයට අසනීප නිසා ආහාර ඇගේ ඇඳ ළඟටම ගෙනයන බව අඟවා තිබිණි.
මේ සියලු කටයුතු අනාවරණය කරගත් පොලීසිය ඔහුට විරුද්ධව නඩු දැමීමේ ඊවාට ගරු කටයුතු භූමදානයක් ලබා නොදීම හේතුවෙනි.
ඒ සඳහා වූ පරීක්ෂණවලට හෑන්ස් සහභාගී නොවූ අතර ඔහුගේ නියෝජිතයෙක් පමණක් සහභාගී විය.
ඔහුට ඒ සඳහා අවසර ලැබුණේ ඒ වෙද්දීත් අධිකව මතට ඇබ්බැහිවීම නිසා හෑන්ස් පුනරුත්ථාපනයට යොමුකර තිබීම හේතුවෙනි. එපමණක් නොව ඔහු ඒ වන විට දැඩිලෙස මානසික ව්‍යකූලතාවට පත්ව සිටියේය. ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ බ්‍රිතාන්‍ය අගමැතිගේ සොහොයුරා වූ සූප්‍රසිද්ධ නීතිඥ ඇලෙක්ස් කැරමන්ය.
බ්‍රිතාන්‍ය පවුම් බිලියන 4.3ක පමණ හිමිකරු වූ හෑන්ස් සිය ආදර බිරියගේ අවසානය ගැන විස්තර කළේ කම්පා වූ හදවතිනි.
“අපට අපේ ජීවිත ගැන බලාපොරොත්තු නැතිව ගියා. ඊවා එකවරම කොට්ටත් සමඟ ඇඳෙන් රූටා බිම වැටුණා.
ඒත් ඇගේ හිස තිබුණේ කොට්ටයක් මතයි. එයා අන්තිම හුස්ම ගන්නවා මට ඇහුණා. මං එයා ළඟට ගිහින් එයාව බදා ගත්තා.”
“ඊවා ….ඊවා… ඊවා… මට එහෙම කියවුණා. එයා මගේ පැත්තට හැරවුවාම ඇය මා දිහා බලා සිටියා මට මතකයි. එතකොටම ඇගේ දෑස් පියවී ගියා. එයා මියගිය බව මට දැනුණා. මං බොහෝ වෙලාවක් එයා ළඟටම වෙලා වාඩි වී සිටියා. එයා මැරුණු බව පිළිගන්න මං කැමැත් වුණේ නැහැ. ඒ වෙද්දී මමත් අවුරුදු හතරක විතර සිට මෝෆීන් ගන්නවා. ඒ නිසා ඊවා මරණයට පත්වුණේ කොහොමද කියා මට එතරම් මතක නැහැ. එයාගේ සිරුර කොපමණ කාලයක් අපේ නිදන කාමරයේ තිබුණාද කියාත් මා දන්නේ නැහැ. ඊවා මත්ද්‍රව්‍ය ලබාගත්තේ කොහොමද කියාත් මා දන්නේ නෑ.”
“මට ඕනෑ වුණේ එක දෙයයි. ඇය මැරුණා කියා මට පිළිගන්න බැහැ. එයා මැරුණු බව පිළිගන්න මං කැමති නැහැ.”
“ඒ සත්‍යට මුහුණ දෙන්න මට බැහැ.”

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!