Gossip

“තමන්ගේ දුවගේ වයසේ අය පෙම්වතිය කරගත්ත කලාකාරයෝ ඕන තරම් ඉන්නවා”

මොනවද ඔබේ අලුත්ම තොරතුරු…?
මම රඟපෑ “නවරියන්” චිත්‍රපටය සහ තවත් චිත්‍රපට කිහිපයක් ඉදිරියේදී එන්න තියෙනවා. ඒ වගේම තවත් චිත්‍රපට කිහිපයකත් වැඩ භාර අරගෙන තියෙනවා.
ඒ කියන්නේ රෙක්ස් කොඩිප්පිලි කියන්නේ තවමත් කාර්යබහුල නළුවෙක්…
මම කැමැත්තෙන්ම කාර්යබහුල වෙන නළුවෙක් විදිහට හැඳින්වුවොත් නිවැරදියි.
ඇයි ඒ…?
මගේ බිරිඳගේ වියෝවීමත් එක්ක දැනෙන පාළුව මම මගහැර ගන්නේ රංගන කටයුතුවල නිරත වෙලයි.
එතකොට දරු මුනුපුරෝ එක්ක ඔබේ සමීප සම්බන්ධයක් නැද්ද?
මගේ දුවලා ඉන්නේ විදේශ රටවල. මම ඉන්නේ පුතා ළඟ. දරු මුනුපුරන් තමයි මගේ තනිය මකන්නේ. ඒත් රඟපෑම් කටයුතු වෙනුවෙන් කාර්යබහුල වෙන එක මනසට හොඳයි.
දැන් ඔබේ වයස කීයද?
ම්… හැත්තෑව දශකය ගෙවමින් සිටිනවා කියමුකෝ.
ඔබ රඟපාන “දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යය ගැන ඔබට මොනවාද කියන්න තියෙන්නේ.?
ඒක ගොඩක් ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. මම රඟපෑ චිත්‍රපට බොහොමයක් වාණිජ චිත්‍රපට. මම කලාත්මක සිනමාව හෙළා දකිනවා ‍නෙවෙයි. ඒත් ඔය කලාත්මක කියන නිර්මාණ මිනිස්සු බලන්නේ නැත්නම් වැඩක් නැහැ නේද? මිනිස්සු චිත්‍රපට, ටෙලි නාට්‍ය තුළින් සැබෑ ලෝකේ නැති දේවල් දකින්න, සිතින් අත්විඳින්න කැමැතියි. ඒ හින්දයි සරල විනෝදාත්මක චිත්‍රපට හා ටෙලි නාට්‍ය ජනප්‍රිය වන්නේ. ඒ වගේ නිර්මාණවලට දායක වෙන්න මමත් කැමැතියි.
ඒ ජනප්‍රියත්වය වැඩි කරගන්න හිතාගෙනද චිත්‍රපට, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍යවලත් පසුව මියුසික් වීඩියෝවලටත් දැන් ඇවිත් තියෙන්නේ…
මම මේ වන විට මියුසික් වීඩියෝ දෙකක රඟපාලා තියෙනවා. චිත්‍රපට, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය, මියුසික් වීඩියෝ ඔය හැම එකේම අපි කරන්නේ රඟපෑම. මම ඉතින් රඟපාන්න නම් මට ඔය හතරම එකයි.
ඔබේ සහෝදර නළු විල්සන් කරු මියුසික් වීඩියෝ එකක් හින්දා පසුගිය කාලයේ අපහසුතාවට පත්වුණා. ඔබටත් එවැනි අත්දැකීමකට මුහුණ දෙන්න වුණොත්…
ඇයි කරුට මොකද වුණේ. මම දන්නේ නැහැ…
වැඩිහිටි සංගීතවේදියෙක් හා තරුණ කාන්තාවක් අතර ආදර කතාවක් ඇතුළත් මියුසික් වීඩියෝ එකක කරු රඟපැවා. එය වික්ටර් රත්නායකගේ ජීවිත කතාව ඇසුරින් කළ එකක් බවට ආන්දෝලනයක් ඇති වුණාම කරු පැවැසුවේ ඒ ගැන කලින් දැන නොසිටි බව, හැබැයි වික්ටර්ට අපහාස කරන්නට දායක වූවා කියලා විල්සන් කරුටත් යම් යම් දෝෂාරෝපණ එල්ල කළ අය සිටියා.
තමන්ගේ දුවලගේ වයසේ පෙම්වතියන් ඉන්න ජනප්‍රිය කලාකාරයෝ අපේ රටේ ඕනෑතරම් ඉන්නවා. තැන්තැන්වල දරුවෝ ඉන්න ජනප්‍රිය කලාකාරයෝ ඉන්නවා. හුඟ දෙනෙක් හොරෙන් කළාට වික්ටර් නීත්‍යනුකූලව නිවැරදිව ඒ දේ කළා. මම නම් වික්ටර් කළ දේ කිසිදු වරදක් දකින්නේ නැහැ. ඒ සිදුවීම අළලා වීඩියෝවක් කළා නම් සහ එය වික්ටර්ට අපහාස වන එකක් නම් කරු කීයටවත් ඊට සම්බන්ධ වන්නේ නැහැ. මොකද කරුගේ හැටි මම දන්නවා.
ඔබටත් ඒ රැවටීමට ලක්වන්නට වුණොත්…
මම රඟපාන්න යන්නේ කතාව ගැන හොඳහැටි අහලායි.
ඔබේ අලුත්ම මියුසික් වීඩියෝ එකේ කතාව මොකක්ද?
මගේ දියණිය ගායකයකු සමග සමීප ඇසුරක් තියෙනවා. මම දුවත් එක්ක ඒ පුද්ගලයා සිංදු කියන තැනට යනවා. මම ඒ සම්බන්ධයට අකමැති වනවා. පස්සේ ඒ තරුණ ගායකයා දුවත් එක්ක ඉන්නවා අතටම අහුවෙලා මම පහර දෙනවා. ඕක තමයි කතාව.
ඒත් අන්තර්ජාලයේ ඔය ගීතය හඳුන්වලා තිබුණේ වෙනත් විදියට. මහලු සැමියා තරුණ බිරිඳ හා ඇගේ අනියම් පෙම්වතා වන ගායකයාගේ කතාව විදියට අඟවලා මේ වීඩියෝ එකත් විල්සන් කරු රඟපෑ වීඩියෝ එක වගේද කියලා පැනයක් ඉතුරු කරලයි ඒ හැඳින්වීම කරලා තිබුණේ…
ඒ විදියේ පැනයක් අහලා තිබුණට මේක ඒ වගේ වීඩියෝ එකක්ද කියලා සඳහන් කරලා නැහැනේ. මේකේ මම ඒ තරුණ නිළියගේ තාත්තා. චිත්‍රපට ටෙලි නාට්‍ය වගේ නමෛයි මියුසික් වීඩියෝ එක කරන්නේ තරුණ ළමයි. ඒ අයගේ අදහස් විවිධයි. ඒ හින්දා හොයලා බලන්නේ නැතුව මම මියුසික් වීඩියෝවල රඟපාන්න යන්නේ නැහැ.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!