Gossip

“ගමේ ගැහැණු ළමයෙක් එක්ක මගේ සම්බන්ධයක් තිබුණා. දැන්නම් එයා විවාහවෙලා ළමයෙකුත් ඉන්නවා”

දෙවැනි ඉනිම කියන්නේ ලංකාවේ අංක එකේ ටෙලි නාට්‍යය.
මේ නාට්‍ය යේ ෂෙරාන් කියන චරිතය ගැන ඔබ හොඳටම දන්නවා.
ෂෙරාන්ගේ චරිතය හරහා ඔබ අතරට එන නිරුක්ෂාන් ඒකනායක කියන්නේ සිය සුපිරි රංගන හැකියාවෙන් රසික ආදරය දිනාගත්තු චරිතයක්.
මේ ඔහුගේ පාසල් ජීවිතය ගැන සතිඅන්ත පුවත්පතක ලියැවුණු අපූරු ලිපියක්.

පාසල් කාලය ගැන මතක් වෙද්දී මොකද හිතෙන්නේ ?
හැමෝම නම් කියන්නේ පාසල් කාලය තමයි සුන්දරම කියලා. ඇත්තම කිව්වොත් මේ කාලෙත් ඉතින් පාසල් කාලේ වගේ තමයි.
දෙවෙනි ඉනිමේ රූගත කිරීම් කරනකොට ආයේ පාසල් කාලයට ගියා වගේ තමයි.

නිරුක්ෂාන්ගේ පාසල මොකක්ද ?
මම පාසල් තුනක ඉගෙන ගත්තා. මුලින්ම ගියේ රිටිගහයාය මහා විද්‍යාලයට. ඊට පස්සේ කැකිරි ඔබ්බඩ මහා විද්‍යාලයට ගියා. අන්තිමට ගියේ වීරකැටිය මණ්ඩාඩුව මහා විද්‍යාලයට. ඒ හැම පාසලක්ම මිශ‍්‍ර පාසල්.

පාසල් යන කාලේ නිරුක්ෂාන් මොනවගේ චරිතයක්ද?
පාසල් යන කාලේ මම හරිම විනෝදකාමී චරිතයක්. හැබැයි හරිම සංවේදීයි. ඕනෑම දෙයක දී ඉක්මනට ඇඬෙනවා.
ඒ වගෙ වෙලාවට ඉතින් යාළුවෝ එකතුවෙලා බයිට් කරපු අවස්ථා තියෙනවා.

නිරුක්ෂාන්ට පාසල් යනකාලේ යාළුවෝ එහෙම ගොඩක් හිටියද ?
පාසල් තුනේම මට යාළුවෝ ගොඩක් හිටියා. පිරිමි යාළුවෝ වගේම ගැහැනු යාළුවොත් හිටියා.
ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ අපිට නිතරම මුණගැහෙන්න බැරි වුණාට මේ දවස්වල මාව දෙවෙනි ඉනිමෙන් දකින්න ලැබෙන නිසා ගොඩක් අය මගේ නම්බර් එක හොයාගෙන කතා කරනවා.

ඒ කාලේ කරපු අමතර වැඩ මොනවද?
ඉස්කෝලේ යන කාලේ මම ගොඩක් ක‍්‍රීඩා කළා. මට හොඳට දුවන්න එහෙම පුළුවන්. උස පැනීමත් කරලා තියෙනවා. වොලිබෝල් එහෙමත් කළා.
තරගවලට ඉදිරිපත් වෙලා ජයග‍්‍රහණ පවා ලබලා තියෙනවා. මණ්ඩාඩුව මහා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ තමයි මට ගොඩක් ජයග‍්‍රහණ හිමිවුණේ.

පාසල් වේදිකාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණද?
ඒ කාලේ අපිට සිංහල ඉගැන්නුවේ අනුලා මිස්. ඇය තමයි අපිව සාහිත්‍ය සමිතියේ නාට්‍යවලට එහෙම සහභාගී කරවන්න උනන්දු කෙරුවේ. ඊට පස්සේ අපි සමස්ත ලංකා නාට්‍ය තරගවලටත් ඉදිරිපත් වෙලා ජයග‍්‍රහණ ලබාගත්තා.

පාසල් යනකාලේ කැමතිම විෂය මොකක්ද ?
ඒ කාලේ මම ආසම බුද්ධාගම විෂයට. ඒ විෂයට තමයි මට වැඩිපුරම ලකුණු තිබුණෙත්.

වැඩිපුරම කට් කරපු පීරියඞ් එක මොකක්ද ?
ඉංග‍්‍රීසියි, ගණිතයයි තමයි වැඩිපුරම කට් කළේ. විෂය බාහිර වැඩවලට ඉදිරිපත් වෙන සෙට් එකක් අපේ පන්තියේ ඉන්නවා.
හැමදෙයක දීම ඒ සෙට් එක තමයි මුලින්ම යන්නේ. ටීචර්ට කියනවා ප‍්‍රින්සිපල් මොකක් හරි වැඩක් කිව්වා කියලා. ටීචර් ඒක ප‍්‍රින්සිපල්ගෙන් අහන්න යන්නෙත් නෑනේ. ඉතින් ටීචර් ඒක ඇත්ත කියලා හිතලා අපිට යන්න දෙනවා.

පීරියඩ් එක කට්කරලා ගුරුවරුන්ගෙන් දඬුවම් ලබපු අවස්ථාත් ඇති නේද ?
එහෙම අහුවෙලා දඬුවම් ලබපු අවස්ථා නම් ඕනෑ තරම් තියෙනවා.
එක දවසක් මායි, තවත් යාළුවෙකුයි ප‍්‍රින්සිපල් වැඩක් කිව්වා කියලා පීරියඩ් එක කට්කරලා පන්තියෙන් එළියට ගියා. ඊට පස්සේ ටීචර් කොහොමහරි දැනගෙන තියෙනවා, ප‍්‍රින්සිපල් එහෙම වැඩක් කිව්වේ නෑ කියලා. අපි පීරියඞ් එක කට්කරලා කැන්ටිමට වෙලා තමයි හිටියේ.
ඉන්ටර්වල් එකට කලින් තමයි ඒ පීරියඞ් එක තිබුණේ. ඉන්ටර්වල් එකෙන් පස්සේ ප‍්‍රින්සිපලූයි, ටීචයි පන්තියට ඇවිල්ලා අපි දෙන්නට වේවැලෙන් පහරක් ගහලා පීරියඞ් දෙකක්ම අව්වේ දණ ගස්සවලා තිබුණා.

පාසල් කාලේ නිරුක්ෂාන්ට ආදර සම්බන්ධතාවයක් තිබුණා නේද ?
ඒක ආදර සම්බන්ධතාවයක්ම නෙමෙයි. මගේ හිතේ කෙනෙක් ගැන කැමැත්තක් නම් තිබුණා. හැබැයි ඒ කැමැත්ත මගෙ පැත්තෙන් විතරයි තිබුණේ. ඒකට එයාගෙන් කිසිම ප‍්‍රතිචාරයක් මට ලැබුණේ නැහැ. මම එයාට ආදරේ කළා කියලා එයා අදටත් දන්නේ නැහැ.

එයා ගැන ආදරයක් ඇති වෙන්න විශේෂ හේතුවක් තිබුණද ?
එයා වෙන පාසලක ඉඳලා තමයි අපේ පාසලට ආවේ. එයාගේ නම දිනූෂා. එයා ටිකක් කලූයි. කථික තරගවලට එහෙම ගොඩක් දක්ෂයි.
දවසක් එයා අපේ සාහිත්‍ය සමිතියේ කතාවක් ඉදිරිපත් කළා. එදා තමයි මගේ හිතේ එයා ගැන කැමැත්තක් ඇති වුණේ. ඒ වෙනකොට එයා අපේ ඉස්කෝලෙට ඇවිල්ලා දවස් 2 ක් විතර ඇති.

ඒ ආදරේ ප‍්‍රකාශ කරන්න ගියේ නැද්ද ?
මම එහෙන් මෙහෙන් මගෙ ආදරේ එයාට අඟවන්න උත්සාහ කළා. එයාටත් ඒක ටිකක් දැනුණා. මම එයාට ආදරේ කරනවා කියලා දැනුණත්, එයා නොදැනුණා වගේ හිටියා. ඒ නිසා අපි අතර කිසිම සම්බන්ධතාවයක් ඇතිවුණේ නැහැ.

පාසල් යනකාලේ ආදර සම්බන්ධතාවයක් තිබුණෙම නැද්ද ?
ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ නම් ගමේ ගැහැනු ළමයෙක් එක්ක මගේ සම්බන්ධයක් තිබුණා. දැන්නම් එයා විවාහවෙලා ළමයෙකුත් ඉන්නවා. අදටත් ගමේ ගියාම මට එයාව මුණ ගැහෙනවා.

පාසල් යනකාලේ කැමතිම ගීතය මොකක්ද ?
පාසල් යනකාලේ මම ගොඩක් අවස්ථාවල දී කියන්නේ රූකාන්ත ගුණතිලක මහත්මයගේ ‘උකුලට නාවත් එදා වගේ’ ගීතය. ඒ සින්දුවට අදටත් මම ගොඩක් කැමතියි.

ඒ කාලේ යාළුවොත් එක්ක රණ්ඩුවලට එහෙම ගිහින් තියෙනවද ?
මම පාසල් යනකාලේ ශිෂ්‍ය නායකයෙක් වෙලා හිටියා. ඉතින් මම හරිම ආසයි අත්දෙක දිගට දාලා, ටයිඑක දාලා, බැජ්එක ගහගෙන යන්න.
මම ඉස්කෝලේ යද්දිත්, එද්දිත් එහෙම තමයි යන්නේ එන්නේ. සමහර අය මම එහෙම යන එකට තරහයි. දවසක් බස් එකේ දී වෙන ඉස්කෝලෙක අයියා කෙනෙක් මට එක එක ඒවා කියවගෙන ආවා. ඉතින් මට තරහ ගිහින් මම එයාට මිට මොලවලා පහරක් ගැහුවා.
එයත් මට පහරක් ගැහුවා. ඊට පස්සේ බස් එකේ හිටපු අනිත් අය ඇවිල්ලා ‘පොඩි උන්ට ගහන්න එපා’ කියලා එයාව අරගෙන ගියා. එහෙම වුණේ නැත්නම් එදා මම හොඳට ගුටි කනවා.

යාළුවොත් එක්ක එකතුවෙලා කරපු හොර වැඩ මොනවද ?
එක දවසක් අපේ ඉස්කෝලේ වෙසක් කූඩු තරගයක් තිබුණා. ඉතින් අපි එක දවසක් රෑ ඉස්කෝලේ ඉඳලා වෙසක් කූඩු හැදුවා.
අපේ ඉස්කෝලෙට එහා පැත්තේ තැඹිලි වත්තක් තියෙනවා. අපි කූඩු අලවලා ඉවරවෙලා ඒ වත්තට පැනලා තැඹිලි කඩාගෙන බිව්වා. ඒ වත්තේ අයිතිකාරයා පහුවෙනිදා ප‍්‍රින්සිපල්ට ඒක කියලා එදා රෑ තැඹිලි කඩාගෙන බීපු ඔක්කොම වගේ ගුටිකෑවා.

පාසල් යනකාලේ නිරුක්ෂාන්ගේ කැමතිම නිළිය කවුද ?
ඒ කාලේ මම ප‍්‍රමුදි කරුණාරත්නට ගොඩක් කැමතියි. පස්සෙ කාලෙක මට ප‍්‍රමුදි එක්ක වේදිකා නාට්‍යයක රඟපාන්නත් අවස්ථාව ලැබුණා.
ඒ නාට්‍යයේ අපි දෙන්නා තමයි ප‍්‍රධාන චරිතය කරන්න හිටියේ. ඒ වුණාට එයාගේ අධ්‍යාපන කටයුතුත් එක්ක ප‍්‍රමුදිට ඒ නාට්‍යයට සම්බන්ධ වෙන්න බැරිවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!