Gossip

“පියරු බබා වගේ පෙම්වතියගෙම චරිතය කරගෙන ඉන්න මම කැමැති නැහැ. කවුරුවත් මගේ තීරණවලට ඇඟිලි ගහන්න එන්නේ නෑ.”

නයෝමි තක්ෂිලා කියන්නේ සිය රංගන හැකියාවෙන් රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය තරුණ නිළියක්.

වේදිකාවෙන් වගේම මියුසික් වීඩියෝවලිනුත් ඇය හැමෝම අතර ජනප්‍රිය චරිතයක්.
ඉතිං හැමෝම කතාවෙන නයෝමිගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්තක මේ විදිහට ලියවිලා තිබුණා.

නයෝමි ජයටම වැඩ වගේ?
වෙනදා වගේම ටෙලි ඩ්‍රාමාවල වැඩ. තවත් අලුත් නාට්‍යයක වැඩ කරන්නත් සූදානමින් ඉන්නේ.

නයෝමි වැඩවලදී ලොකු තෝරා ගැනීම් කරන කෙනෙක්ද?
මෙහෙමයි. කාල වෙලාව මදි ප්‍රශ්න නිසා සමහර වැඩ අතහරින්න වෙනවා.
ඒ වගේම එක ජාතියේ වැඩම ලැබෙද්දීත් සමහර ඒවා ප්‍රතික්ෂේප කරන්න වෙනවා. මම මුදලටත් වඩා ආදරය නිසා තමයි කලා කටයුතු කරන්නේ.

නයෝමිගේ හැකියාවට දක්ෂතාවට පුංචි තිරයේ ලැබෙන ඉඩ ගැන සතුටු වෙන්න පුළුවන්ද?
ඔව්. ගොඩක් සතුටු වෙන්න පුළුවන්. කෙටි කාලයකදී මට විවිධ චරිත කරන්න ඉඩ ලැබුණා.
සමහර වේදිකා නාට්‍යවලින්, මියුසික් වීඩියෝවලින් දැකලා මට වැඩවලට ආරාධනා ලැබෙනවා. හැකියාව තිබෙනවා නම් ඉල්ලුම කොහොමත් තියෙනවා. ගොඩක් දක්ෂ අය මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒ අතරින් මටත් වැඩ ලැබෙනවා.

රාමුවෙන් පිට පනින්න නයෝමි බය නෑ නේද?
නැහැ. මොකද මම පියරු බබා වගේ පෙම්වතියගෙම චරිතය කරගෙන ඉන්න කැමැති නැහැ. මම කැමැතියි වෙනස් වෙනස් චරිත කරන්න.

චරිතයක් වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න නයෝමි සූදානම්ද?
මම චරිතාංග නිළියක් වෙන්න කැමැති කෙනෙක්. ලැබෙන චරිතයට මම උපරිම මහන්සි වෙනවා. මට නිර්මාණයක් වෙනුවෙන් තට්ටේ ගාන්න කිව්වොත් මම ඒක හරි කැමැත්තෙන් කරනවා.

සම්භාව්‍ය නිර්මාණයක් වෙනුවෙන් ඔබේ අඩ නිරුවත, නිරුවත ඕන වුණොත් නයෝමි එයට සම්බන්ධ වෙනවද?
හොඳ සම්භාව්‍ය නිර්මාණයක යම් තාක් දෙයක් කරන්න වුණොත් මම එය බාධාවක් කරගන්නේ නැහැ. මොකද හොඳ නිර්මාණයක් වෙනුවෙන් තමයි ඒ සාධාරණය කරන්න සිද්ධ වෙන්නේ.
නිර්මාණය ජනප්‍රිය කරගන්න නිළියක් නිරුවත් කරන එකට මම විරුද්ධයි. නමුත් දැවැන්ත සම්භාව්‍ය නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් මම ඒක භාරගන්නවා. මුලින් කිව්ව කාරණා මම බාධාවක් කරගන්නේ නැහැ.

නයෝමිගේ ජීවිතේ තීන්දු තීරණ ගන්නේ ඔබමද?
ඔව්. කවුරුවත් මගේ තීරණවලට ඇඟිලි ගහන්න එන්නේ නෑ. එදා ඉඳන් මම හරි දේ කළ නිසා මගේ තීරණවලට කවුරුත් එපා කියන්නේ නෑ.

නයෝමි ත්‍රස්තවාදී කාන්තාවක් වෙන්න යනවා කියලා ආරංචියි?
ඔව්. ඒ වේදිකා නාට්‍යයක. ලංකා චාමරගේ “අලුත් කතාවක් වේදිකා නාට්‍යයේ” “දුර්ගා” කියලා දමිළ ත්‍රස්තවාදී චරිතයක් මම කරන්නෙ. ලබන මාසේ එය වේදිකාගත වෙයි.

නයෝමි පුංචි තිරයට ආවත් තාමත් වේදිකාව අතහැරලා නෑ නේද?
මම ඉස්සෙල්ලාම ක්ෂේත්‍රයට ආවේ වේදිකාවෙන්. වේදිකාවෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. මම පටන් ගත්ත තැන අමතක කරන්නේ නෑ. වේදිකාවත් එක්ක මම හැමදාම ඉඳියි.

ක්ෂේත්‍රයේ ඉස්සරහට එද්දී ප්‍රවීණ – තරුණ ශිල්පීන් අතර ගැටුම්, ප්‍රශ්න තියෙනවාලු. නයෝමිට එවැනි දේවල්වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා නැද්ද?
මටත් ක්ෂේත්‍රයට එද්දී එක එක අය එක එක කතා කිව්වා. ප්‍රවීණයන් මේ මේ වගේ දේවල් කරයි කිව්වා. ඒත් මට නම් ප්‍රවීණයන්ගෙන් කිසිම ප්‍රශ්නයක් ඇවිත් නැහැ. තමන් හරියට ඉන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ.
සම වයසේ අය අතරේ නම් ඊර්ෂ්‍යා කරන අය ඉන්නවා. මම ඒවා නම් නොදන්නවා වගේ ඉන්නවා.

පුංචි තිරයේ වැඩ ජය වුණත් නයෝමි මියුසික් වීඩියෝ රඟපාන එක අතහැරලාත් නෑ නේද?
මම ක්ෂේත්‍රයට ආවේ වේදිකාවෙන් වුණාට තරුණ පිරිස ගොඩක් මාව හඳුනා ගත්තේ මියුසික් වීඩියෝවලින්. මට වේදිකාව, මියුසික් වීඩියෝ, ටෙලි නාට්‍ය කියලා බෙදීමක් නෑ. මම හොඳ දෙයකට සම්බන්ධ වෙනවා.

දැන් නයෝමි ජනප්‍රිය රංගන ශිල්පිනියක්ද?
ඔව්. මම එහෙම හිතනවා. මම සමහර ටෙලි නාට්‍යයක පොඩි චරිතයක් කළත් ගොඩක් අයට මතකයි. මගේ කොටස ඉවර වුණත් සමහරු අහනවා ඇයි ඔයා එකේ නැත්තේ කියලත්.
චරිතයට සාධාරණය කරන නිසා ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ජනප්‍රිය සම්මාන ගැන බලාපොරොත්තු තියාගෙනද ඉන්නේ?
මට හොඳම නිළිය වෙන බලාපොරොත්තුවක් තියෙන්නේ. හොඳම නිළියක් වුණාම ඉබේම ජනප්‍රිය වෙයි. ජනප්‍රිය වුණාට ඉබේම අපිට හොඳම නිළියක් වෙන්න බෑනේ.

නයෝමි දැන් පෙම්වතියක් නේද?
ඒ ගැන මම කතා කරන්න කැමැති නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!