Gossip

මම සිනමාවට ගොඩක් ආසයි – නයනතාරා

ප්‍රේක්ෂකයන් ඇයට කොයිතරම් ආදරය කරනවද යන්න සති කිහිපයකට පෙර පැවති සුමති ටෙලි සම්මාන රාත්‍රීයේදී නැවතත් සනාථ වුණා. ඒ දෙවැනි වරටත් ඇයට දෙවෙනි ඉනිම හරහා ජනප්‍රියම නිළිය වෙන්න අවස්ථාව උදාවීමත් සමඟ. ඉතින් අපි ලංකාවේ ජනප්‍රියම නිළිය සොයාගෙන එයාගේ නිවෙසට ගියා. ඇයට මේ තරම් ප්‍රේක්ෂකයන් ආදරය කරන්නේ ඇයගේ නිහතමානීකමට, සිනවට මෙන්ම දඟකාරකමට කියා ඇයව දකින අපට නොසිතුණාම නෙමෙයි.අද අපේ කතා නායිකාව වගේම ඇයගේ මවත් අපිත් එකතු වෙනවා.

දෙවැනි පාරටත් ‘දෙවෙනි ඉනිම’ හරහා ජනප්‍රියම නිළිය වුණා?

ඔව්. ගොඩක් සතුටුයි ඒ ගැන. ප්‍රේක්ෂකයන් මාව මේ තැනට අරගෙන ආව එක ගැන සතුටුයි. ලොකු තරගකාරිත්වයක් තිබුණා. ඒ නිසා ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.

මේ තරම් ප්‍රේක්ෂකයන් ඔබට ආදරේ කරන්නේ ඇයි ?

ප්‍රේක්ෂකයන් මට ගොඩක් ආදරෙයි. මට ඒ ආදරේ වැඩිපුරම ලැබුණේ ‘දෙවෙනි ඉනිම’ හරහා. විශේෂයෙන් ස්තුති කරන්න ඕන සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂවරයාට, ටීවී දෙරණ ආයතනයට. මමත් ප්‍රේක්ෂකයන්ට ගොඩක් ආදරෙයි. ඔවුන්ගේ ආදරයට පෙරළා ආදරයක් කලාකරුවකුගෙන් බලාපොරොත්තු වෙනවා.ඒ ආදරේ දෙන්න පුළුවන් හැම අවස්ථාවකම මම උපරිමයෙන්ම දෙනවා. ඒ නිසා වෙන්න ඇති ප්‍රේක්ෂකයන් මේ තරම් මට ආදරය කරනවා ඇත්තේ.

ඔබ ගැන වැඩිපුරම සතුටු වෙන්නේ ගෙදර අය නේ?

ඔව්. ඒ අයට ගොඩක් සතුටුයි. අම්මා තමා හැම මොහොතකම මගේ පස්සෙන් ඉන්නේ. තාත්තගේ වැඩකටයුතුත් එක්ක එයාට ඉන්න අමාරුයි. ඒ වුණාට තාත්තා අවශ්‍ය වෙලාවට ළඟ ඉන්නවා. දෙයක් හරියනවා නම් ඒ අම්මගේ තාත්තගේ ආශීර්වාදය නිසා කියලා මම හිතනවා. ඒ අයගේ ආශීර්වාදයත් එක්ක යන ගමන සාර්ථකයි.

ජනප්‍රියම නිළියට ටෙලි නාට්‍ය සඳහා ආරාධනාවලින් නම් අඩුවක් නැතිව ඇති.

ගොඩක් ටෙලි නාට්‍යය සඳහා ආරාධනා ලැබුණා. ඒත් භාරගත්තේ නැහැ වැඩ ගොඩක් පටලවා ගත්තොත් දින ප්‍රශ්නේ මතුවෙන නිසා. එක වැඩක් භාර ගත්තා. ඒ ‘භාවත්මා’ කියන ටෙලි නිර්මාණය. කොටස් 50 ක නිර්මාණයක් නිසයි භාර ගත්තේ. ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි.

තවම සිනමා නිර්මාණයකට දායකවෙන්න අවස්ථාව උදා වුණේ නැද්ද?

සිනමාවට මම ගොඩක් ආසයි. මේ වෙද්දී නිර්මාණ තුනකට ප්‍රධාන භූමිකාව නිරුපණය කරන්න අවස්ථාව ලැබුණා. අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කරන ‘එක දවසක අපි’ කියන සිනමා නිර්මාණයට දායක වෙන්න ලැබුණා. ඒ නිර්මාණය සම්භාව්‍ය ගණයේ එකක්. මේ වන විට රටවල් කිහිපයකම සම්මාන උළෙල සඳහා නිර්දේශ වෙලා තියෙනවා. ළඟදීම ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දැක ගන්න පුළුවන් වෙයි.

මේ කතාව යන අතරතුරේදීම අපි එකතු කරගත්තා නයනතරා ගේ මව සමන්ති සන්දනායක.

අම්මා කෙනෙක් විදියට දැනෙන සතුට මොනවගේද?

ගොඩක් සතුටුයි ඉතින්. ඒ දවස්වල ම මෙයාගේ හිතේ තිබුණ දෙයක් මේ තැනට එනවා කියන එක.

තමන්ගේ එකම දුව කවදාහරි කලාව තුළින් ඉදිරියට යවන්න බලාපොරොත්තුවක් තිබුණද?

ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැබැයි පොඩි කාලේ ඉඳන්ම මම හිතුවා එයා යන පැත්ත මේක කියලා. ඉතින් මමත් ඒ පැත්තට යොමු කළා.

හැඩකාර වගේම හැමෝම ආදරේ කරන දුවෙක් ඉඳිද්දී අම්මාකෙනකුට ලොකු වගකීමක් තියෙනවා. කොහොමද ඒ වගකීම් ඔබ අතින් ඉටුවෙන්නේ?

හැම මොහොතකම එයා ළඟින් ඉන්නවා. තනියම කොහෙවත් යවන්නේ නැහැ. එයා හැම දෙයක්ම මාත් එක්ක කියනවා.දෙයක් කරන්න කලින් මගෙන් අහනවා. මගේ වගකීම් මම ඉටු කරනවා. එයාගෙන් වෙන්න ඕන දේවල් එයා කරනවා.

දුවට නීති රීති දාල නැද්ද?

කවදාවත් එයාට නීති රීති දැම්මේ නැහැ. එයා හැම දෙයක් කරන්නේ ගොඩක් බුද්ධිමත්ව. ඒ නිසා නීති රීති දාල නැහැ.

දවසක කලා ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් දුවට මංගල යෝජනාවක් ගෙනාවොත් ඔබ ඒ දේට කැමැති වෙනවද?

කලාවේ කෙනකුට නම් දුවව දෙන්න කැමැත්තක් නැහැ.

දුව ගැන තියෙන ලොකුම බලාපොරොත්තුව?

දැනටත් දුව හොඳ කල්පනාවෙන්, අවබෝධයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. ඉදිරියටත් එහෙම කරයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඒ වගේම හොඳ ළමයෙක් විදියට මේ ඉන්නවා වගේම හැමදාම ඉන්නවා දකින්න ආසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!