තරු හුට පට

සිල් බිඳගත් නදීෂා ආයෙත් තනි වෙලා

_-------
ඉරාජ්ගෙ ‘‘මම සිල් බිඳ ගත්තෙමි’’ මියුසික් වීඩියෝවෙ මුව සිප ගැනීමේ දර්ශනවලට පෙනී සිටි නිසා ‘‘නදීෂා හේමමාලි’’ ගැන මේ දිනවල කලා ක්‍ෂේත‍්‍රයේ බොහෝ දෙනා කතා කරනවා.

නදීෂා ආයෙත් කලා ක්‍ෂේත‍්‍රයේ කතාබහකට ලක්වෙලා.
මං හිතන්නෙ ඉරාජ්ගෙ   “මම සිල් බිඳ ගත්තෙමි” මියුසික් වීඩියෝව නිසා වෙන්න ඇති.

ඇයි සමාජ වෙබ් අඩවි ඇතුළු කලා ක්‍ෂේත‍්‍රයේ මෙන්ම සමාජයේ බොහෝ දෙනා මේ ගැන කතා කරනවා ඇත්තේ?

ශ‍්‍රී ලාංකීය මියුසික් වීඩියෝ එකකදී මීට පෙර මේ විදියට දර්ශනයකට කවුරුවත් පෙනී සිට නැහැ. ඉතින් මෙරට මියුසික් වීඩියෝ නරඹන – රස විඳින පිරිසට එය අමුතු අත්දැකීමක් වන්නට ඇති.
කෙසේ වෙතත් ඔබ මෙහෙම කරන්නෙ සමාජයේ කතා බහක් ඇති කර ගැනීමේ වුවමනාකමකින්ද?

මම කලා ක්‍ෂේත‍්‍රයේ කරන සෑම දෙයක්ම කරන්නෙ හොඳට හිතලා බලලයි. නිකම්ම ආවට ගියාට කිසි දෙයක් කරන්නේ නැහැ.

මේ විදියට මුව සිප ගැනීමේ දර්ශන ඇතුළත් මියුසික් වීඩියෝවට පෙනී සිටියදී සමාජයේ මේ විදියට උණුසුම් කතා බහක් ඇති වේවි කියලා හිතුවද?

කලා නිර්මාණයකට දායකවූ පසු වගේම ලෝකයේ  ඕනෑම දෙයක කළු සුදු, හොඳ නරක ආදී වශයෙන් සහ පැසසුම් වගේම විවේචනත් ලැබෙනවා. ඒවා එකිනෙකාගේ රසික මට්ටම බුද්ධි මට්ටම අනුව වෙනස්. ඒ කොයි හැටි වෙතත්, මොන විදියේ ප‍්‍රතිචාර ලැබුනත් මැදහත් සිතින් විඳගන්න මට පුළුවනි. මෙහිදී මට  ඕනෑ වුණේ ඉරාජ්ගෙ මේ නව ගීත නිර්මාණයට නවමු රූප ජවනිකා පෙළක් ඇතුළත් නිෂ්පාදනයකට දායක වීමටයි.

මේ වගේ මුව සිප ගැනීමේ දර්ශනවලට ලංකාවේ නිළියන් පෙනී සිටීම සහ විදේශීය පෙනීසිටීම අතර වෙනස ඔබ දකින්නෙ කොහොමද?

ඇත්තටම මෙතැන ප‍්‍රශ්නය තියෙන්නෙ ලංකාවේ අපි දෙයක් කළොත් විතරයි. පිටරටවල සිටින  ඕනෑම දර්ශනයකට පෙනී සිටින කෙනෙක් ලංකාවට එනවා කිව්වා නම්? ඉතින් පිළිගන්නෙ එයාව   බෙර ගහලා. පාවාඩ දාලා. ඇයි ඒවා පිටරටින්නෙ. ඉතින් ඒවා ලොකු චරිත. එතැනින් එහාට හිතන දුපත් මානසිකත්වයෙන් තොර රසික පිරිසකට කළ කලාත්මක රූප රචනයක් මේක. කලාවේ මගේ භාවිතයේදී මම නිතරම හිතන්නෙ  “ආනන්දයෙන් ප‍්‍රඥාව” කරා කියලයි.

දැන් මේ නිර්මාණය දිහා බලන්න. මෙයින් අන්තිමට කියැවෙන්නෙ තමුන්ගෙ පවුලට අවංකව හොඳ පවුල් ජීවිතයක් ගත කරමු කියලයි. එය නිර්මාණාත්මක රූප පෙළක් සමග සමාජයට හොඳ පණිවුඩයක් දෙන්නෙ. නමුත් එහි එක තැනක් විතරක් අල්ලාගෙන කතා කරනවා. එය ඇත්තටම දුපත් මානසිකත්වයයි. පෘතග්ජන මිනිස්සු ලෙස අපි අතින් වැරදි වෙනවා. ඒත් ඒ වැරදි නිවැරදි කර ගනිමු යන්න තමයි මේ ගීතයෙන් ප‍්‍රකාශ වන්නේ.

මේ විදියට ඉඳහිටලා ඔබ කතා බහකට යොමු වුණාට, දැන් වැඩිය රඟපාන්නෙ නැහැනෙ? ඇයි ඒ?

මේ මියුසික් වීඩියෝවට දායක වීම වසරේ මා කළ පළමු රංගනයයි. ඊළඟට සම්පත් ශ‍්‍රී රෝහණගෙ එමලි චිත‍්‍රපටයේ රූගත කිරීම්වලට සූදානම් වෙනවා.

මේ විදියට ඉඳහිට නිර්මාණයකට දායක වීම ඔබට ආර්ථිකව ප‍්‍රමාණවත් ද?

මගේ රංගන දායකත්වයට සුදුසු වේතනයක්, වටිනාකමක් ලැබුණොත් විතරයි බොහෝ විට මම චරිත තෝරා ගන්නේ. නමුත් සමහර අවස්ථාවලදී නිර්මාණය හොඳ නම් මුදල ගැන නොසිතා දායක වූ අවස්ථා වගේම, මුදල් නොගෙන දායක වූ අවස්ථා තිබුණා. ඒත් ඉදිරියට නම් නොමිලේ කලාවේ කිසිවකට දායක වන්නේ නැහැ. අනෙක ලංකාව ඇතුළෙ පොඩි පොඩි ප‍්‍රශ්නත් තියෙනවා. මොකද අපි චරිතය සඳහා ඉල්ලන මුදල නිතරම ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම පිටරටවලින් මෙහි ගෙනල්ලා ප‍්‍රදර්ශනය කරන නිර්මාණ නිසා මෙහි ඒවා අලෙවි කිරීමත් ප‍්‍රශ්නයක් වෙලා.

පසුගිය කාලයේදී ඔබ විවාහය ගැනත් කතා කර තිබුණා. දැන් කොහොමද ඊට සූදානම් ද?

ඔන්න දැන් මං ආයෙත් තනිකඩයි. ඉතින් විවාහයක් ගැන කතා කරන්නෙ කොහොමද?

ඔබ කලා ක්‍ෂේත‍්‍රයේ දායක වන නිර්මාණ ගැන හිතන්නෙ අධි තක්සේරුවකින් ද?

ඇත්තටම කවදත් මම නිර්මාණ තෝරාගෙන කළේ. හොඳ නිර්මාණ වගේම වෙනස් නිර්මාණවලට මම ආසයි. හොඳ නිර්මාණ සඳහා ලැබෙන රුචි අරුචි අනුව දායක වෙනවා. සමහර විට අධ්‍යක්‍ෂකගෙ තීන්දු තීරණ වගේම දින වකවානු ප‍්‍රශ්ණත් එනවා. මම කොහොමටත් මං ගැන තක්සේරු කරන කෙනෙක්. මට මං ගැන එහෙම කරන්නෙ අවබෝධයකින් මිස අධි තක්සේරුවකින් නම් නොවෙයි.

පුවත්පතකට කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙනි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!