Gossip

මිනිසෙක් අගහරු වෙත රැගෙන යයි

වසර 2024 වන විට අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් යැවීම සිය ඉලක්කය බව ඊලොන් මස්ක් පවසයි.

ටෙස්ලා (Tesla) ඉලෙක්ට්‍රෝනික් කාර් සමාගමේ නිර්මාතෘවරයා මෙන්ම ස්පේස් එක්ස් (SpaceX) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ ප්‍රධාන සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කරන ඊලොන් මස්ක් ලොව ප්‍රමුඛ පෙළ ව්‍යවසායකයෙකි.

එමෙන්ම ඉහළ ධාරිතාවකින් යුත් විදුලි කෝෂ (High-storage batteries) වැනි පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් විශේෂයෙන් කටයුතු කරන සෝලාසිටි (SolarCity) සමාගමේ සභාපතිවරයා ද ඔහුය.

ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර දී අදහස් දක්වමින් ඊලොන් මස්ක් කියා සිටියේ මෙහෙයුම සඳහා සුදුසු යානා නිර්මාණය කිරීම ලබන වසරේ ආරම්භ වනු ඇති බවය.
සිය ආයතනයේ වත්මන් ව්‍යාපෘති සහ අන්තර් ග්‍රහලෝක ගමනාගමනය යන සියල්ලට ගැලපෙන ආකාරයේ යානයක් නිර්මාණය කිරීම පිළිබඳව ස්පේස් එක්ස් සමාගම අවධානය යොමු කර ඇති බවත් ඔහු පැවසීය.

BFR වශයෙන් හඳුන්වනු ලබන එම රොකට් ව්‍යාපෘතිය මගින් ලොව පුරා නගර අතර පුද්ගලයන් ශීඝ්‍රයෙන් ප්‍රවාහනය කිරීමට ද හැකියාව පවතී.

“දුර ගමන් පැය භාගයකට අඩු කාලයකින් යන්න පුලුවන්ද කියන කාරණය ගැනයි වැඩිපුරම මිනිස්සුන්ගේ අවධානය යොමු වන්නේ,” යනුවෙන් ඊලොන් මස්ක් ජාත්‍යන්තර අජටාකාශගාමී සම්මේලනය අමතමින් කියා සිටියේය.

අඟහරු වෙත මිනිසුන් රැගෙන යාමේ සැලැස්ම පිළිබඳ ඊලොන් මස්ක් පළමු වරට අදහස් දැක්වූයේ 2016 වසරේ පැවති ජාත්‍යන්තර අජටාකාශගාමී සම්මේලනයේදීය.

සාමාන්‍යයෙන් සෑම අජටාකාශ මෙහෙයුමක් අවසානයේදීම අභ්‍යවකාශ යානා මුහුදට වැටීමට සලස්වනු ලබන අතර එසේ නොකොට එම යානා නැවත ප්‍රයෝජනයට ගැනීම ඊලොන් මස්ක්ගේ ප්‍රධානතම අරමුණකි.

ස්පේස් එක්ස් සමාගමේ ෆැල්කන් 9 (Falcon 9) රොකට් යානය අර්ධ වශයෙන් යළි ප්‍රයෝජනයට ගත හැකි සේ නිර්මාණය කරනු ලැබුවේ ඒ අනුවය.

අභ්‍යවකාශ කටයුතු සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වන්නේ ඒ සඳහා භාවිත කරනු ලබන යානා ඉවත දැමීමට සිදු වන බැවින් යයි ඊලොන් මස්ක් පවසයි.

මගී ගුවන් යානා භාවිතා කිරීමේදී අධිකම වියදමක් දැරීමට සිදු වන්නේ ඉන්ධන සඳහාය. ඒ ආකාරයටම අභ්‍යවකාශ යානා නිර්මාණය කළ නොහැක්කේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.

BFR රොකට් යානා සම්පූර්ණයෙන්ම යළි ප්‍රයෝජනයට ගත හැකි වනු ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!