Gossip

බොහෝ කලාකරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා කරුවන්, ක්‍රීඩකයන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් ද සෘජුවම වගකිවයුතු බව පේරාදෙණීය විශ්වවිද්‍යාලීය සමාජ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය දයා අමරසේකර මහතා පවසයි.

මේ ඒ සම්බන්ධයෙන් ඔහු වෙතින් කළ වැඩිදුර කරුණු විමසීමකි;

අපේ රටේ දික්කසාද ඇතුළු පවුල් අර්බුද වැඩිවීම කෙරෙහි කලා කරුවන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් සහ මාධ්‍ය වගකිවයුතු වන්නේ කෙසේද?
මේකට හැම ජනප්‍රිය පුද්ගලයෙක්ම, හැම මාධ්‍යක්ම එකසේ වගකිවයුතු නැහැ.නමුත් ඔවුන්ගෙන් වැඩි පිරිසක් තමන්ගේ ජනප්‍රියත්වය තහවුරු කරගැනීම සඳහා කරන ක්‍රියාවන් සහ ඒවා මාධ්‍යය මගින් පතුරුවා හැරීම මේ තත්ත්වයට ඉවහල් වන බව පැහැදිළිවම පෙනෙනවා.

ඒ තත්ත්වය වඩාත් විස්තර කළොත්?
ලෝකය පුරාම කලා කරුවන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු දැන ගැනීම කෙරෙහි සාමාන්‍ය ජනතාව තුළ විශාල උනන්දුවක් තිබෙනවා. ඒ කලා කරුවන් කෙරෙහි සමහරුන් දක්වන්නේ අසීමිත භක්ත්‍යාදරයක්. ඒ අනුව ඔවුන්ගේ ජීවන පැවැත්ම, ජීවන චර්යාවන් අගය කිරීමට සේම ඒවා අනුකරණය කිරීමට ද ජීවිත පරිඥාණය අඩු රසිකයන් කටයුතු කරනාවා. නමුත් කලා කරුවන් ඇතුළු බොහෝ ජනප්‍රිය පුද්ගලයන් මාධ්‍ය මගින් ජනතාව අතරට පත්කරන්නේ තමන්ගේ ජීවිත පිළිබඳ සැබෑ අභ්‍යන්තරික තත්ත්වය නොවේ.

මොකක්ද ඒකට ‍හේතුව?
කලා කරුවන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් කියන්නේත් මේ සමාජ ප්‍රපංචයේම එක්තරා පැතිකඩක්. ඔවුන් සමාන්‍ය ජනතාවගෙන් ව්‍යුක්ත ඊට වඩා වෙනස් ජීවන රටාවක පසුවෙනවා ය කීම මිථ්‍යාවක්. නමුත් බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත සම්බන්ධයෙන් කරනු ලබන විස්තර පුහු ආටෝපයෙන් සහ අතිශෝක්තියෙන් පිරුණු ඒවා බව ඒ කරුණු කෙරෙහි විමසිල්ලෙන් බලන විට පෙනී යනවා. කොටින්ම ඔවුන් සමහරවිට තම ‍පවුල් ජීවිත සම්බන්ධයෙන් කියන්නේ පට්ටපල් බොරු.

ඔවුන් එසේ වංක ලෙස කටයුතු කරන්නේ ඇයි?
ඒක වංක බවකටත් වඩා වර්තමානයේ පවතින ජනප්‍රිය සංස්කෘතියේ දුර්දාන්ත ලක්ෂණයක් ලෙස හැඳින්වීමයි නිවැරදි. මෙහිදී ඔවුන් තමන්ගේ ජීවිත වල යථාර්තය සඟවා තමන්ගේ ජීවිතය හා සම්බන්ධ කරුණු ව්‍යාජ, ආටෝපකාරී ලෙසින් ඉදිරිපත් කරන්නේ තමන් පිළිබඳ අලෙවි ප්‍රවර්ධනයට හෙවත් තමන්ව මාකට් කරගැනීම සඳහායි. වර්තමාන අධිපරිභෝජන සමාජයේ මේ ‘මාකටින්’ කියන දෙය ප්‍රධාන පුරුෂාර්ථයක් වශයෙන් සැලකෙනවා. ඒ නිසා එම ක්‍ෂේත්‍රවල පැවැත්ම සඳහා තමන්ව මාකට් කර ගැනීමත් ජනප්‍රිය සංස්කෘතිය තුළ වැදගත් අවශ්‍යතාවයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

ඒ විදිහට ව්‍යාජ ප්‍රකාශ කිරීම තුළින් රසිකයන්ට සිදුවන අයහපත් බලපෑම කුමක්ද?
බොහෝ රසිකයන් ඒ ජනප්‍රිය පුද්ගලයන්ගේ ප්‍රකාශ හා තමන්ගේ ජීවිත සංසන්දනය කිරීමට පෙළඹෙනවා. කිසියම් ජනප්‍රිය කාන්තාවක් ඇගේ සැමියා පිළිබඳව කරන අසීමාන්තික පුහු වර්ණනාව දකින ජීවිත පරිඥාණයෙන් තොර කාන්තාවක් ඒ කලා කාරිය කියන ‘කල්පිත සැමියා’ සහ තම සැමියා සංසන්දනය කිරීමට පෙළඹිය හැකියි. බොහෝ විට ඒ ව්‍යාජ තොරතුරුවලට රැවටෙන ඇයට ඒ කලා කරුවාගේ සැමියා දෙවියෙකු ලෙසත්; තමන්ගේ සැමියා රාස්සයෙකු ලෙසත් පෙනී යා හැකියි. නමුත් එහි ඇති ඇත්ත තත්ත්වය නම් තමන්ගේ සැමියා රාස්සයෙක් නම් ඒ කලාකරියගේ සැමියා පරාස්සයෙකු බව ඇය මාධ්‍යයට හෙළි නොකිරීමයි. ඇතැම්විට ඒ කලා කාරිය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන කඳුළින් පිරි ජීවිතයක් ගතකරන තැනැත්තියක විය හැකියි. මෙසේ තමන්ට ජීවිතයේ අහිමි තත්ත්වයන් පිළිබඳව සත්‍ය සඟවා ඒ සම්බන්ධ ව්‍යාජ තොරතුරු පුන පුනා ප්‍රකාශ කිරීම මනෝ විද්‍යාවේ අධිහානිපූරණය (Overcompensation) නමින් හැඳින්වෙනවා.

නමුත් මේ කටුක යතාර්ථය තේරුම් නොගන්නා සාමාන්‍ය රසිකයන් එම ව්‍යාජ ප්‍රකාශ මත පදනම්ව තම ජීවිත වල්මත් කර ගැනීම බොහෝ විට දක්නට ලැබෙනවා.

සාමාන්‍ය අයගේ යුග ජීවිත වලට වඩා කලා කරුවන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන්ගේ යුග ජීවිත අවුල් සහගත බවක් සමහරුන් කියනවා.
සරල ග්‍රාමීය සමාජ ක්‍රමයක දී යුග ජීවිතයකට එළඹිය හැකි ගැටළු අර්බුද වලට වඩා සංකීර්ණ නාගරික සමාජ ක්‍රමයක යුග ජීවිතයක ඇතිවන ගැටළු අර්බුද බහුලයි. විශේෂයෙන් කලා කරුවන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් අතිශය සමාජශීලී වීම ජනප්‍රියත්වය මත පදනම් කර ගනිමින් ඔවුන්ට ඇති සමාජමය ඉල්ලුම ආදිය නිසා යුගදිවියක් පවත්වාගෙන යාමේදී ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන ගැටළු අභියෝග බහුලයි. ඒ සඳහා මනා සිහිබුද්ධියෙන් කටයුතු නොකිරීම මත ඔවුන්ගේ විවාහ බිඳී යාමේ වැඩි නැඹුරුවක් තිබෙනවා. මෙය එක් එක් ආකාර වලින් ලොවටම පොදු තත්ත්වයක්.

නමුත් දික්කසාද වන කලා කරුවන් නැවත විවාහ වීමේදීත් පෝරුවේ චාරිත්‍ර පවා අනුගමනය කරනු අපට මාධ්‍ය මගින් දැක ගන්නට පුළුවන්.
ඒක අතිශයින් නරක තත්ත්වයක්; විවාහ වී දරුවන් පවා සිටින මව්වරු පියවරු නැවත සාම්ප්‍රදායික විවාහ මංගලෝත්සවයක වැදගත්ම අංගයක් වන පෝරුව පවා යොදා ගනිමින් විවාහ වීම මතුපිටින් හාස්යෝත්පාදක කරුණක්. නමුත් ඔවුන් පිළිබඳ භක්ත්‍යාදරයෙක් පසුවන රසිකයන් ඒ කලා කරුවන්ගේ එවැනි ක්‍රියාත් ඇගයීමකට ලක් කීරීමටත් ඒවා සාධාරණය කිරීමටත් ඇතැම් විට ඒවා අනුකරණය කිරීමටත් පෙළඹෙන්න පුළුවන්. මේක සමාජ අපගමනයට නිසැකලෙසම තුඩු දෙන කරුණක්.

විශේෂයෙන් කලා කරුවන් තම දෙවන තුන්වන විවාහ මෙලෙස ආටෝපකාරී අයුරින් ඉදිරිපත් කිරීමෙන් විවාහය සම්බන්ධව ඇති ගෞරවනීය ආකල්පය අප ජන සමාජයෙන් තුරන් වී යන්නට පුළුවන්. එය සමාජයට ඉතා අහිතකර තත්ත්වයක්.

සමහර කලා කරුවන් තමන්ගේ විසිපස්වන විවාහ සංවත්සර ආදියත් මංගල්‍යයක ස්වරූපයෙන්ම සමරන අවස්ථාවන් අපි මාධ්‍ය මගින් දකිනවා.
ඕනෑම කෙනෙකුට තමන්ගේ විවාහ සැමරුම ඕනෑම ආකාරයකට සිදුකර ගත හැකියි. නමුත් බොහෝ කලා කරුවන් මේවා කරන්නේ තමන්ගේ විවාහක බැඳීම මුල්කරගත් අවංක අභිලාශයකට වඩා ඒ තුළිනුත් තමන් පිළිබඳ අලෙවි ප්‍රවර්ධනයක් ඇතිකර ගැනීමේ බලාපොරොත්තුවෙන්. ඒ වගේම ගැටළු අර්බුද බහුල විවාහ ගත කළ පුද්ගලයන් පවා තමන්ගේ විවාහ ජීවිතයේ සාර්ථකත්වය ‍සමූජය හමුවට ව්‍යාජ ලෙස ඉදිරිපත් කිරීම පිණිසත් මෙවැනි ආටෝපකාරී උත්සව ගන්නා බව අපට පෙනෙනවා.

නමුත් එමගින් සමාජය සිදුවන අයහපත කුමක්ද?
වයස්ගත පිරිමින් මනමාලයන් ලෙසත්, ඔවුන්ගේ බිරියන් මනමාලියන් ලෙසත් බොළඳ රංගනයක යෙදීම තුළින් ඔවුන් වැඩිහිටි බවේදී හිමිකරගත යුතු ගෞරවයට, ගාම්භීරත්වයට බරපතල හානි සිදුකරගන්නවා. ඒ නිසා තමන්ගේ පෞද්ගලික ජීවිතයේ ගැටළු අර්බුද සමාජයෙන් වසන්කර ගැනීමට හෝ තමන් සම්බන්ධයෙන් අලෙවිප්‍රවර්ධනයක් ඇති කර ගැනීමට හෝ ඔවුන් එසේ කටයුතු කිරීම යෝග්‍ය නොවන බවයි මගේ වැටහීම.

අනෙක දූ දරුවන් දීග තළ දෙන වයස්වල සිටින වැඩිහිටි මාපියන් මනමාලයන්, මනමාලියන් සේ හැසිරීම ඒ දූ දරුවන්ගේ වයස්වල හිමි උරුමයන් පවා අයථාලෙස උදුරාගැනීමක් ලෙසයි මා දකින්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!