Gossip

“ඒවා කියන්න බෑ. යන විදිහට ඒ දේ තීරණය වේවි. දැන්ම ඒ දේවල් ගැන වැඩිය හිතන්නෙ නෑ. එයාගේ කැමැත්ත නැතිව මට මේ කිසිමදෙයක් කරන්න බැහැනේ”

රංගනයෙන් වගේම නිවේදිකාවක් විදිහටත් රසික හදවත් දිනාගත්තු චරිතයක් තමයි ලෝචනා කියන්නේ.
පුංචි කැඳැල්ලට ආපු අලුත් අමුත්තා ගැනත් අලුත් ජීවිතේ ගැනත් ලෝචනා සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

ලෝචනා මේ දවස්වල මොකද කරන්නෙ…?
මේ දවස්වල රියැලිටි වැඩසටහනකට සම්බන්ධවෙලා ඉන්නවා. නිවේදන වැඩසටහනකටත් සම්බන්ධවෙලා තියෙනවා. ඉතින්… ඒ දේවලුත් එක්ක වැඩ කරගෙන ඉන්නවා.

රඟපානවා, නටනවා, නිවේදනය කරනවා… මේ හැමදෙයක් එක්කම පුතාට කාලය වෙන්කරගන්නෙ කොහොමද..?
ඇත්තටම ඒකට ස්තූති කරන්න ඕනෙ මගේ ගෙදර අයටම තමයි.
ඒ අයගෙන් මට ලොකු සපෝට් එකක් ලැබෙනවා. සමහර වෙලාවට උදේට ගෙදරින් ගිහින් රෑවෙලා ගෙදර එන වෙලාවලුත් තියෙනවා. ඉතින්… ඒ මොනතරම් කාර්යබහුල වුණත් මොනතරම් මහන්සි වුණත් මම මගේ පුතා වෙනුවෙන් කාලය යොදවනවා.
ගෙදර ආවට පස්සෙ රෙස්ට් එකක් ලැබෙන්නෙ නෑ. ආයෙ පුතා එක්කම තමයි ඒ කාලය යොදවන්නෙ.
හැබැයි මට එළියට ගිහින් මගේ හිතේ නිදහසින් වැඩ ටික කරගෙන එන්න ලැබෙන්නෙ මගේ ගෙදර අය නිසයි.
මගේ අම්මා, තාත්තා, ආච්චි ඔක්කොම එකතුවෙලා මගේ පුතාව බලන නිසා හිතේ නිදහසින් වැඩ ටික කරගෙන ගෙදර එන්න පුළුවන්.

දැන් පුතාට වයස කීයද…?
දැන් පුතාට වයස අවුරුදු එකහමාරයි. එයාගේ නම නීදුල නවරත්න. එයානම් දැන් දඟමල්ලක්. හොඳටම එයා දඟයි. හැබැයි ඉතින් හරි ෂෝක්.

ඔයාව රූපවාහිනී තිරයෙන් දකිද්දී පුතාගේ අවධානය කොහොමද…?
මුලදිනම් එයාට ඒක ගාණක් වුණේ නෑ. ඒ එයා පුංචි නිසා. ඒත් දැන් එයාට ටික ටික තේරෙනවා. ඉතින්… ටී.වී. එකෙන් මාව දකිද්දී පුතා අම්මා අම්මා… කියලා කෑගහනවා. ටී.වී. එක ළඟටම ඇවිත් බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට එහෙම බලාගෙන ඉඳලා හරි ලස්සනට හිනා වෙනවා.

ලසන්ත ඉන්නෙ ලංකාවේ නෙමෙයිනෙ… ඉතින් ඔයාගේ වැඩවලට ලසන්තගෙන් ලැබෙන සහයෝගය කොහොමද…?
එයා ඉන්නෙ ලංකාවේ නෙවෙයි. නෙදර්ලන්තයේ තමයි ලසන්ත ඉන්නෙ.
එයාගේ කැමැත්ත නැතිව මට මේ කිසිමදෙයක් කරන්න බැහැනෙ.
මට පුතා ඉපදිලා මාසයෙන් මම බාරගත්තු නිර්මාණයක ෂූටිං යන්න සිද්ධවුණා. මම කලින් බාරගෙන බාගෙට කරපු නිර්මාණයක් විකාශනය වෙන්න පටන් ගත්තෙ පුතා ලැබෙන කාලෙදිම.
ඉතින් ඉතුරු ටික ෂූට් කරන්න මම ඉන්නම ඕනෙ. ඒ වෙලාවෙත් ලසන්ත කිව්වෙ බාරගත්තු දේ නිසා අනිත් හැමෝම අමාරුවේ දාන්න ඕනෙ නෑ. ඔයා යන්න කියලයි. දැනටත් එයාගෙන් වචනයෙන් ලැබෙන සහයෝගය මට ගොඩක් වටිනවා.

ළඟදීම ලෝචනයි පුතයි නෙදර්ලන්තයට යනවා කියලයි ආරංචිය…?
ඔව්.. ලසන්තට පුතාව බලන්නෙ නැතිව ඉන්න බෑ. ඉතින් කෝල් කර කර පුතාව එක්කගෙන එන්න කියලයි කියන්නෙ.
ඒ වුණාට මේ දවස්වල රියැලිටි වැඩසටහනයි සජීවී වැඩසටහනයි නිසා යන්න ටිකක් බැරිවෙලත් තියෙනවා. හැබැයි ඉක්මනට අපි දෙන්නා නෙදර්ලන්තයට යනවා.

පුතාගේ අධ්‍යාපන කටයුතුවලදී ලෝචනා දිගටම නෙදර්ලන්තයේම නවතීවිද…?
බොහෝදුරට පුතාගේ ඉගෙනීම් කටයුතුනම් ඒ රටේ තමයි කරන්න අපි බලාපොරොත්තු වෙන්නෙ. ඉතින්… බොහෝදුරට මායි පුතයි ඒ කාලවලදී එහේ පදිංචි වේවි.

ඒ කියන්නෙ ඒ කාලයේ දී ලෝචනා නිර්මාණවලින් ඈත්වෙයිද… එහෙම නේද..?
ඒවා කියන්න බෑ. යන විදිහට ඒ දේ තීරණය වේවි. දැන්ම ඒ දේවල් ගැන වැඩිය හිතන්නෙ නෑ.

වැඩියෙන්ම ලෝචනා කැමති රඟපාන්නද… නර්තනයටද… නිවේදනයටද..?
ඔය තුනෙන්ම මම වැඩිපුරම කැමති නිවේදනය කරන්න. මම ඉගෙන ගත්තෙ නුගෝගොඩ අනුලා විද්‍යාලයේ. පාසලේදිත් මම නිවේදනය කළා. අදටත් නිවේදන කලාවට තමයි ආසම.

සජීවී වැඩසටහනක් අපේ කලාකරුවන් කලාකාරියන් එක්ක කරද්දී මොකද හිතෙන්නෙ…?
මගේ වැඩසටහනට ආපු කවුරුවත් කවදාවත් මට බැණලා හරි අකමැත්තෙන් හරි යන්නෙ නෑ. හැමෝම හරිම ආසාවෙන් ඒ කාලය ගෙවනවා. හැමෝම කියන්නෙ වෙලාව ගියා දන්නෙම නැතිව.. කාලය මදි නේද.. කියලා. මමත් කතා කරන්න පටන් ගත්තාම සෑහෙන වෙලාව යනවනෙ. අනික මම ෆීල්ඩ් එකේ හැමෝම එක්ක හරිම හිතවත්. ඒ නිසා මම මොනවා කිව්වත් ඒ අය මට මුකුත් කියන්නෙ නෑ. අදටත් ඒ වැඩසටහන හොඳට කරගෙන යනවා.

පහුගිය දවස්වල ලෝචනා නර්තනයකට කලින් ඉඳන්ම අත එල්ලගෙන හිටියෙ ඇයි…?
ඒ මම උත්සවයකට ගිහින් මාව වැටුණා. ඒ වැටෙද්දී බිමට අත තිබ්බාම මගේ අතේ එක ඇඟිල්ලක් කැඩිලා තිබුණා. ඉතින් සිංහල බෙහෙත් කළා. තාමත් මට ඒ ඇඟිල්ල හරියට නවාගන්න බෑ. නර්තනයේදී මේ කැඩුණු ඇඟිල්ලත් එක්ක නටන්න අමාරුයි. ඒත් මොනවා කරන්නද.. ඇඟිලි කඩාගෙන හරි නටනවා.

මොනවද ලෝචනා තියෙන බලාපොරොත්තු…?
ඒ කාලේ ඉඳන් මගේ ලොකු ටාගට් තිබුණේ නෑ. මගේ ජීවිතේ මම හිතන්නෙ නැතිවම මට ගොඩක් දේවල් ලැබුණා. ඉස්සරහටත් මම එහෙම හිතන්නෙ නැතිව ජීවත් වෙනවා. ලොකු බලාපොරොත්තු තිබිලා ඒවා කැඩුණොත් දුක වැඩියි. ඒ නිසා මගේ හිතේ එහෙම ලොකු බලාපොරොත්තු නෑ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!