Gossip

මට තේරුම්ගන්න බැරිවුණා අමරා එයාගේ දුව පෙන්නලා මගෙන් සල්ලි ගරන බව, රණ්ඩු වෙද්දි කුසේ හිටපු දරුවා නැතිවුණා

ජීවිතේ හරිම පුදුමාකාරයි.
සමහර වෙලාවට හිතාගන්නවත් බැරි විදිහට සිද්ධ වෙන සමහර දේවල් නිසා ජීවිතේම අඳුරු වෙලා යනවා.
මේ එවන් මිනිසෙකුගේ කතාවයි.

හිතේ සැනසිල්ලෙන් ඉන්න හිතාගෙන තමයි මම රට ගිහිල්ලා දුක් විඳලා ගෙයක් හැදුවේ. ඒත් ඒ ගෙදර එක දවසක් වත් හිතේ සැනසිල්ලෙන් ඉන්න මට ඉඩක් ලැබුණේ නැහැ.”

වියපත් ඔහු දෑසේ කඳුළු පුරවාගෙන එසේ පවසන්නට වුයේය. මේ මිනිසා හඬන්නට තරම් දුකක් හිතේ සඟවාගෙන සිටින බව මට වැටහුණේ එවිටය. .
“මම ලබන සතියේ හිරගෙදරින් එළියට යනවා.”
ඔහු යළිත් කියන්නට විය. ඔහු යන්නේ කොහේදැයි මට අසන්නට සිතුණද ඔහුට කතා කරන්නට ඉඩදී මම බලා සිටියෙමි.
“හිතෙනවද මට පිස්සු කියලා ”
ඔහු ම‍ගෙන් ඇසුවේය. මම නැතැයි කියා හිස වැනුවෙමි.
“ඒත් හුඟක් අය හිතුවේ මට පිස්සු කියලා. අන්තිමට මම පිස්සෙක් වගේ හැසිරුණා.තිරිසනෙක් වගේ හැසිරුණා. අපරාධකාරයෙක් වගේ හැසිරුණා. එතකොට තමයි මගෙ හිතට සැනසිල්ලක් ලැබුණේ”

අම්මා තාත්තා ගාවද හැදුණේ?
“නැහැ මම මගෙ අම්මා ගාව හැදුනේ නැහැ. අම්මා මං පුංචි දවස්වලම වෙන විවාහයක් කරගෙන. මගේ තාත්තා අම්මගේ නංගිව විවාහ කරගෙන ඉඳලා මං පුංචි දවස්වල තාත්තා අනතුරකින් මැරිලා. ”

“මම අවුරුදු පහක් විතර හිටියේ මැද පෙරදිග රටක.මම හැදුණේ පුංචි අම්මා ගාව. පුංචි අම්මට එක දුවෙක් හිටියා.ඒ පුංචි අම්මගෙ කලින් විවාහයේ දුවක්. එයා විවාහ වෙලා අනුරාධපුර පැත්තේ පදිංචි වෙලා හිටියේ . ඒ නිසා මමයි පුංචි අම්මයි තමයි ගෙදර හිටියේ. අවුරුදු පනහෙදි පුංචි අම්මා විවාහයක් කරගත්තා. එතකොට මට අවුරුදු විසි දෙකක් විතර ඇති. පුංචි අම්මා විවාහ වුණේ නගර සභාවෙ වැඩ කරපු මහත්තයෙක් එක්ක. පුංචි අම්මා විවාහ වුණාට අක්කා කැමති නැහැ. ඒ නිසා අක්කා ගෙදර යන එන එකත් නතර වුණා .
පුංචි අම්මා විවාහ වුණ කෙනා කැමති වුණේ නැහැ මම ඒ ගෙදර තව දුරටත් ඉන්නවට.කොහොම හරි මම දවසක් දෙකක් අක්කලාගේ ගෙදර ගියා. ඒත් එහෙදිත් මට සැනසිල්ලක් තිබුණේ නැහැ. අක්කගේ මහත්තයා මට කැමති වුණේ නැහැ. එයා මට දවසක් කෙලින්ම කීවා එයා මට අකමැති බව. මම එදාම අනුරාධපුරයේ ඉඳලා ගෙදර ආවා. පුංචි අම්මා මගෙන් ඇහුවේ නැහැ මම ඇයි ආවේ කියලා .එයාටත් ඒ වෙනකොට කරන්න දෙයක් තිබුණේ නැහැ. මම දැනගත්තා ඒ ගෙදර අපිට ඉන්න බැරි බව. ඒ නිසා මම හිතාගත්තා කවදාහරි මටම කියලා ගෙයක් හදාගන්නවා කියලා.”

කොයිතරම් දුරට ඉගෙන ගත්තද?

“මම සාමාන්‍ය පෙළ විභාගයට ලිව්වා. යාළුවෙකුගේ මාර්ගයෙන් තමයි රට ගියේ. මම පුංචි අම්මට සල්ලි එව්වා. හැබැයි පුංචි අම්මා මම එවපු එක රුපියලක් වත් නාස්ති කළේ නැහැ. එයා සල්ලි ඉතිරිකරලා තිබුණා. තාත්තා මං වෙනුවෙන් අරන්දාලා තිබුණ ඉඩමක් තිබුණා මම ඒකේ ගෙයක් හදා ගත්තා. ඒක හරි පුංචි හුරු බුහුටි ගෙයක්. ගේ හදලා ඉවර වුණාට පස්සේ මම ආයෙමත් අවුරුදු දෙකකට විතර මැද පෙරදිග රටකට ගියා. ඒක ගෙයක්. ඒ ගෙදර ලංකාවෙන් ගිය තව ගෑනු කෙනෙක් හිටියා. එයා මට වඩා අවුරුදු විස්සක් විතර වැඩිමල්. මම මුලින් මුලින් ඒ කාන්තාව සමඟ කතා කළේ නැහැ . නමුත් ඒ වගේ රටක තනි වුණාම ඉන්න අමාරුයි. එයාගේ නම අමරා. මම අමරා එක්ක කතා කළා .ඒ කතාව හුඟක් දුර දිග ගියා. අමරා මට කිවිවා එයාගෙ දුවව මට බන්දලා දෙනවා කියලා. මම හම්බ කරපු හැම දෙයක්ම ගත්තේ අමරා. එයා මට සල්ලි නාස්ති කරන්න එපා කියලා එයාගේ දුවට කිය කියා මගෙන්රත්තරන් බඩු හදව ගත්තා. අමරා කිහිප වතාවක්ම ලංකාවට ගිහිල්ලා ආවා.”

එතකොට අමරගෙ දුව?

“එයා මට කතා කරනවා. ලස්සන කෙල්ල . මට තේරුණේ නැහැ අමරා එයාගේ දුව පෙන්න පෙන්නා මගෙන් සල්ලි ගරන බව. මම එක නිවාඩුවකට ලංකාවට ආවා. මම අමරගෙ ගෙදර ගියා. ඒ ගියාමයි මම දැන ගත්තේ අමරගෙ දුව කලින් විවාහ වෙලා දික්කසාද වුණ කෙනෙක් බව. වසන්ති ඒ කියන්නේ අමරාගේ දුව මට හැම දෙයක්ම කිව්වා.මම ආයෙමත් රට ආවා. ඒත් වසන්තිව බඳීනවද නැද්ද කියන අදහස මට තිබුණේ නැහැ. නමුත් අමරා මාව වෙනස්ම මිනිහෙක් කළා.අමරයි මමයි ඒ ගෙදර අයට හොරෙන් එකට ජීවත් වුණා.”

වසන්තිට මොකද වුණෙ?

“මට ඕන වුණේ වසන්තිව අමතක කරන්න. මම අමරට කිව්වා මම එයාගේ දුවව බඳීන්නේ නැහැ කියලා. ඒත් එයා ඒකට කැමති වුණේ නැහැ. එයා කිව්වා මම එයාගේ දුවව බඳීන්න බැහැ කියනවා නම් ගෙදර මිනිහට මං ගැන කියනවා කියලා . මම ඇත්තටම බය වුණා. මමත් කාත් කවුරුවත් නැතිවනේ හිටියේ. මම වසන්තිව බඳීන්න කැමති වුණා. අමරයි මමයි දෙන්නම ලංකාවට ආවේ එකට.පුංචි අම්මා කිසිම දෙයකට කැමති වුණේ නැහැ. ඒත් මම වසන්තිව බැඳලා මගෙ අලුත් ගෙදරට එක්කගෙන ආවා. වසන්තිගෙ නරකක් තිබුණේ නැහැ. අමරා ආයෙම රට ගියේ නැහැ. ඒත් අමරා අපිට සතුටින් ඉන්න දුන්නේ නැහැ.”

ඇයි එහෙම කියන්නේ?

“අමරා හැම වෙලේම අපේ ගෙදර ඇවිත් නතර වුණා.වසන්ති මුලින් නම් ඒකට අකමැත්තක් දැක් වුයේ නැහැ.එහෙත් පහු වෙනකොට වසන්තිට තේරුණා අමරයි මායි අතර සම්බන්ධයක් තියෙන බව.අපි අතර නිතරම ගැටුම් ඇති වුණා. අමරා එක්ක මම නිතර රණ්ඩු වුණා.අමරා කියන්නේ මහ නපුරු ගැහැනියක් .එයා මගෙන් පළිගන්න ඕන නිසා මගෙ පුංචි අම්මගෙ මහත්තයා එක්ක යාළු වුණා. ඊට පස්සේ අපේ ගෙදර හැම වෙලේම ගැටුම්.වසන්තිට බබෙක් ලැබෙන්න හිටියේ. මේ දේවල් දරාගන්න බැරිව මම බීමට ඇබ්බැහි වුණා.බීලා ‍ගෙදර ආවහම කරන්නේ කියන්නේ මොනවද කියලා මට හැඟීමක් තිබුණේ නැහැ.”

හිරේ එන්න වුණේ මොනවා කරලද?
“හිරේ ආවේ නැන්දම්මා ඒ කියන්නේ අමරා මැරුවා කියන චෝදනාවට”

ඇත්තටම අමරව මැරුවද?
“දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. මොනවා වුණත් පුංචි අම්මා, බාප්පා, අක්කා මං වෙනුවෙන් හිටියා. ඒගොල්ලෝ නඩු කිව්වා.අභියාචනා ඉදිරිපත් කළා .කාලයක් නඩුව ඇදිලා ගියා අවුරුදු ගානකට පස්සේ මට නිදහස ලැබුණා.”

වසන්තිට මොකද වුණේ?

“මම හිරේ ආවට පස්සේ ඒ වගේ තරුණ ගැහැනියක් තනියම ඉඳීවිද? එයා වෙන කෙනෙක්ව බැඳලා රට ගිහිල්ලා”

ලැබෙන්න හිටිය දරුවට මොකද වුණේ?
“එදා සිද්ධියේ දි වසන්ති අපිත් එක්ක පොර බැදුවා . ඊට පස්සේ එයා වැටුණා . ඒ නිසා වසන්තිගෙ කුසේ හිටිය දරුවා නැති වෙලා.”

දැන් මොනවා කරන්නද හිතාගෙන ඉන්නේ?

“මොනවා කරන්නද මගේ ජීවිතේ. හොඳම කාලේ හිර ගෙදරට ගෙවුණා.ගැහැනු නිසා මම අමාරුවේ වැටුණා. ආයෙත් එහෙම වෙන එකක් නැහැ. එළියට ගිහින් පිනක් දහමක් කරගෙන ජීවත් වෙනවා” එහෙමයි හිතාගෙන ඉන්නේ. ඒත් ජීවිතේ දවසින් දවස වෙනස් වෙනවා. කෝකටත් එන දේකට මුහුණ දෙනවා.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!