Gossip

සල්ලි තන්හාවට ගුරා මැරූ ගෝලයා

මිල මුදලට වාසියට ඌ නම්මවා ගැනීමට නොහැකිය. ඌ කිසිදා වෙනස් නොවේ. එහෙත් මිනිසා තුළ ඇති දුදන ගතිගුණ කොයි මොහොතක හෝ ඉස්මතුවීමට හැකිය.

බල්ලන් මරා හෝ මුදල් සොයන සමාජයක මිනිස් ජීවිතයක් නසා හෝ මුදල් හම්බකර ගැනීම එතරම් දෙයක් නොවේ.

හේරත් මුදියන්සේලාගේ ගාමිණී කුමාර ජීවත් වුයේ මහනුවර, කුළුගම්මන, කටුගස්තොට ප්‍රදේශයේය. ඒ ප්‍රදේශය අයත් වූයේ කුළුගම්මන, උගුරැස්සපිටියට අයත් දඩහගමය. 39 වැනි වියේ පසුවූ ගාමිණීගේ උපන්ගම දඩහගමය. දුප්පත්කම දායාද කොටගත් ගම් ප්‍රදේශයක උපන් ගාමිණී සහෝදර සහෝදරියන් තිදෙනකුගෙන් යුත් පවුලක බාලයා විය. මව නොමැති වුයෙන් වියපත් පියා ද රැකබලා ගනිමින් බිරිය හා දරුවන් සමඟ ඔහු ජීවිතය ගෙව්වේ මහ ගෙදරය. ගොවිතැන ප්‍රදේශයේ බොහෝදෙනාගේ ජීවනෝපය වුවත් ඔහුට ගොවිතැන ගැන එතරම් කැමැත්තක් නොවීය.

අනෙක් අය ගොවිතැන් කටයුතුවල නියැලෙද්දී ගාමිණී වඩාත් කැමැති වුයේ ‘මේසන්’ වැඩටය. මේසන්බාස් උන්නැහැ කෙනකු වී ලොකු මුදලක් ඉපයීම ඔහුගේ පරමාර්ථය විය. ඇතැම් මේසන් බාස් උන්නැහේලා මෙන් ඉපයු මුදල්වලින් ඔහු රා අරක්කු බීවේ නැත. දුම්වැටි පුලුස්සා දැමුවේද නැත. ඔහු ගමේ පන්සල සමඟ ද කිට්ටු සබඳතා පැවැත්වුයේය. ඔහුගේ වෘත්තියමය කටයුතු වල තිබූ ගුණාත්මක භාවය නිසා මහනුවර ප්‍රදේශයේ ඔහුට හොඳ ඉල්ලුමක් තිබිණි. ඔහුගේ ගතිගුණ නිසාම ගමේ කාගේත් දැඩි විශ්වාසයක් දිනාගන්නට ද ඔහුට හැකි වී තිබුණි. ඒ නිසා කොන්ත්‍රාත් පදනම මතද මේසන් වැඩ බාරගත් ගාමිණී තවත් ගෝලයකු වැඩ කටයුතුවල යෙදුණේ පහසුව සඳහාය.

කවුරු සමඟත් හොඳින් ඇයි හොඳයිකම් පැවැත් වූ ගාමිණීට අපූරු ගෝලයකු හමුවිය. ඔහු පිට ගමකින් පැමිණි අයෙකි. ඔහු දඩහගමට පැමිණෙන්නේ අසනීපයෙන් පසුවන සිය බිරිය ද සමඟය. මත්පැනට දැඩි සේ ගිජු වූ ඔහු ඒ සඳහා කෙලෙස හෝ සැලකිය යුතු මුදලක් දිනකට වැය කිරීමට පුරුදුව සිටියේය. ටික දිනක් ගාමිණී යටතේ සේවය කළ ගෝලයාට ලැබෙන මුදල අතට මදි බව සිතෙන්නට ඇත. ඒ නිසාම ඔහු කල්පනා කළේ ලොකු මුදලක් සොයන ආකාරය ගැනය. ඒ සඳහා තමන්ට වාරයක් ලැබෙන තෙක් ඔහු බලා සිටියේ නොඉවසිල්ලෙනි. ඔහුට වැඩිකල් නොගොස් එවැනි අවස්ථාවක් ලැබිණි. උගුරුස්සපිටියේ මුස්ලිම් මුදලාලි කෙනකුගේ නිවෙසක දෙදෙනාටම එකට වැඩ කිරීමට වැඩක් ලැබිණි. මුස්ලිම් ගෙදර වැඩකටයුතු තමන්ගේම දෙයක් ලෙස සලකා ගාමිණි විසින් ඉටුකර දුන්නේය. එතරම් කැපවීමකින් යුතුව නිවසේ වැඩ කරදුන් ගාමිණීට මුස්ලිම් මුදලාලි කපටිකමක් කරමින් ගෙවිය යුතු මුදල් ගෙවීම පැහැර හැරීයේය. තමන්ගේ අතින් ද වියදම් දරාගෙන ඔහු තම කාර්යය ඉටුකළේ ඒවා පසුව තමන්ට ලබාගැනීමේ යන සිතිවිල්ල පෙරදැරිවය.

එහෙත් කල්ගත වන විට එම නිවෙස් හිිමිකරු තමා මඟහරිමින් කල් ගෙවන බව කෙමෙන් ගාමිණීට අවබෝධ විය. තව මේ නිසා ඔහු නිවසේ ඉතිරි වැඩකටයුතු අතර මඟ නවතා දැම්මේ කලකිරිණු සිතින් යුතුවය. වැඩ කටයුතුවලට උදව් වූ ගෝලයා වූ සුසන්තට ද කීවේ තමන් එහි තවදුරටත් සේවය නොකරන බවත් එම නිසා ඔහුට ද එහි නොයන ලෙසය. පොටක් පෑදෙනතුරු පුල පුලා බලාසිටි සුසන්ත ගාමිණීගේ ඉල්ලීමට එකඟ වුයේ නැත. ගාමිණී කී දේ තඹයකට ගණන් නොගත් සුසන්ත මුස්ලිම් නිවෙස් හිමියා හමුවීමට යන්නට තීරණය කළේ ඔහුගෙන් හොඳ මුදලක් කඩා ගැනීමේ අපේක්ෂාව ඇතිවය. එලෙස සිතේ ඇති වූ කෑදරකම නිසාම ඔහු මුස්ලිම් මුදලාලි ළඟ වැඩට ගියේය. මේ නිසා ගාමිණී තුළ ද සුසන්ත කෙරෙහි විරසකයක් ඇතිවන්නට පටන් ගත්තේය.

“මම එපැයි කියපු දේ මේකා කළා.” ඔහුගේ සිතේ පසු තැවීමක්ද හට ගත්තේය. නිවෙස තැනීමේ කටයුතු වලදී නිවෙසට සැටලිම ගැසීම වෙනුවෙන් ද රුපියල් හතළිස් දහසක් පමණ අතින් වියදම් වී තිබුණ ද ඔහුගෙන් ඒ වනතුරු ගාමිණීට එය ලැබී තිබුණේ නැත. කෙසේ වුවද මේ සිද්ධියෙන් පසු තම ගෝලයා වූ සුසන්ත සමඟ ගාමිණි අමනාපයෙන් පසුවිය. එහෙත් ගෝලයා වූ සුසන්තට එතැන් පටන් ‘බාස්’ වී රැකියාව කරගෙන යාමට හැකි විය. මේ හේතුව නිසාම දෙදෙනා අතර යම් බහින් බස් වීම් ද ඇතිවුහ.

දවසේ වැඩ නිමකළ ගාමිණී එදින නිවෙසට ආවේ ඔහුගේම ත්‍රිරෝද රථයෙනි. ඊට පසුව ඔහු උගුරැස්සපිටිය ටවුමට ගියේ පසුදින හා හා පුරා කියා පාසල් යන තම සිඟිති දියණියට අවශ්‍ය කළමනා රැගෙන ඒමටය. තම දියණියට පොරොන්දු වූ පරිදිම පාසල් බඩු බාහිරදියට අමතරව ලස්සන බෝනික්කෙක් මිලදී අරගෙන දීමද ඔහුගේ අපේක්ෂාව විය. අතේ තිබු මුදල් වියදම් කරමින් දියණියගේ සිත සතුටු කිරීමට අවශ්‍ය බොහෝ දේ මිලට ගත්තේය. එහෙත් මේ එන ගමනේදී එක්තරා තැනෙක ගාමිණීගේ මාරයා ද මුව අයාගෙන සිටින බව ඔහු කිසිවිටෙකතක් දැන සිටියේ නැත.

ඉක්මනින් නිවෙසට යෑමේ අපේක්ෂාව ඇතිව ඔහු ත්‍රිරෝද රථය පදවාගෙන ආවේ එක පිම්මටය. මේ එන ගමනේදී තම ගුනමකු ගෝලයා වූ සුසන්ත ඔහුට මුණ ගැසෙන්නේ තම ජීවිතයේ ඉරණම් ගමන තීන්දු කරමිනි. මේ මොහොතේ දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑම අවසන් වන්නේ ගාමිණීට අනපේක්ෂිත ලෙස එල්ල වූ පිහිපහර කිහිපයක් සමගමය. මරණීය පිහිපහරවල් ගාමිණීගේ සිරුරට කිඳා බසින්නේ සුසන්තගේ පව්කාර දෙඅතිනි. තම ගෝලයා වූ සුසන්තගෙන් එල්ල වූ මරු පහර කා ගෙන ගාමිණී උගුරැස්සපිටිය හන්දියේ පාර අයිනක ඇද වැටුණේ කපා හෙළු ගසක් බිම ඇද වැටෙන්නා මෙන්ය. තම ගුරා වූ ගාමිණී බාස් පිහිපහර කා ගෙන බිම ඇදවැටෙද්දී ගෝලායා වූ සුසන්ත එතැනින් පලා ගියේ අසුරු සැණිනි.

බරපතල තුවාල ලද ගාමිණීව අවට කිහිපදෙනකු විසින් රෝහල් ගත කලද ඔහු ඒ වන විටත් අවසන් හුස්ම හෙළා තිබිණි.

බෙදාහදාගන්නට බැරි වූ කිසිවක් නිසා කෙනකුට මරණය ද තවත් අයකුට අනාගතය ද අහිමි විය. කෙසේ හෝ මිල මුදල් ඉපැයීමේ තෘෂ්ණව නිසා කුරුලු කැදැල්ලක් කැඩී බිඳි ගියේ යළි එක්තැන් කළ නොහැකි ලෙසය. කන්න දුන් අත සපා කෑමට තරම් ගුණමකු මිනිසකු වූ සුසන්ත මේ මහා අපරාධය සිදුකොට පලා ගිය ද පසුව ඔහු පොලිසියට බාර විය. සැකකරු වූ සුසන්තගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ ගාමිණී යන අය ඝාතනය කිරීමට යොදාගත් පිහියද සොයා ගැනීමට පොලිසියට හැකිවිය.

පොලිස් ප්‍රශ්න කිරිම් හමුවේ තම ගුරා වූ ගාමිණීගේ ඝාතනය ගැන සැකකරු වැඩිදුරටත් කීවේ කළුවරේ තම අතරැඳි පිහිය එහෙ මෙහේ වැනුවා මිසක් ගාමිණී මරන්නට හිතාගෙන එසේ නොකළ බවය.

කාටත් වරදක් නොකළ ගාමිණීගේ දේහය මළහිරු බැසයන හැන්දෑ යාමේ මහපොළොව යට සැඟවී ගියේ ගමේ කාගේත් දෙනෙත් වලට කඳුළක් එක් කරමිනි. ඒ වියෝව දරාගැනීමට නොහැකි වූ ගාමිණීගේ බිරිය ශිරානි පොඩිමැණිකේගේ විලාපය කාටත් අසා සිටිය නොහැකි තරම් විය. ගාමිණීගේ වියපත් පියා හැඬු කඳුළෙන් කළ ඉකිබිඳුම කාගේත් සංවේදී හදවත් පුබුදුවාලන්නට වුහ.

ජීවිතය අපට දෙන්නේ අප ඉල්ලන හැම දේම නොවේ. ජීවිතය අනපේක්ෂිත ලෙස අපෙන් සියල්ල උදුරාගනී. ඒ සියල්ල තීරණය වන්නේ පෙර අත්භාවයන්හි අප කළ කුසල අකුසල කර්ම අනුව බව තවදුරටත් සිහිකළ යුතුව ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!