Gossip

“මාව බදාගෙන ඉකි ගසමින් ඇඬුවා” – කමල් අද්දරආරච්චි

ඔහු කලක් සිංහල සිනමාවේ උන්මාද වූ ප්‍රේමවන්තයාය. තවත් කලක් චරිතාංග රංගන ශිල්පියකු ලෙස විවිධ චරිත හරහා රසික හදවත් ස්පර්ශ කළේය.
තවත් කලක් රියැලිටි වේදිකාවේ පූරකයාය. මේ වන විට ඔහු අනුරුද්ධ ජයසිංහගේ නවතම චිත්‍රපටය වන “ගින්නෙන් උපන් සීතලෙහි” ගිනි පුපුරු මැද උපන් සීතල බවට පත් වී ඇත. ඔහු කමල් අද්දරආරච්චිය. මේ ඔහු සතිඅන්ත පුවත්පතකට හෙළි කළ කතාවයි.

කමල් කාලෙකින් කැපී පෙනෙන චරිතයක් තුළින් කරළියට ඇවිත් නේද?
ඔව්. එක්තරා ප්‍රබුද්ධ නිර්මාණයක් හරහා නැවත කරළියට එන්න පුළුවන් වුණා. එම චරිතය ප්‍රබුද්ධ රසිකත්වයක් ගොඩනඟන්න පුළුවන් චරිතයක්.
ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ කමල් අද්දරආරච්චි කියන රංගන ශිල්පියාව අමතක කරලා මිනිස්සුන්ට කවුරුත් දන්න හඳුනන එක්තරා කාලයක කවුරුත් කතාබහ කළ චරිතයක් රසවිඳින්නට මම උත්සාහයක යෙදිලා තියෙනවා.

ඔබට ලැබෙන්නේ රෝහණ විජේවීර කියන චරිතය. මේ චරිතය කමල් අද්දරආරච්චිට බලපාන්නේ කොහොමද?
රෝහණ විජේවීර හෝ වේවා ඕනෑම දේශපාලන චරිතයක් මිනිස්සුන්ට යම්කිසි හැඩයක්, යම්කිසි ප්‍රතිරූපයක් මවලා තියෙන, දේශපාලනය තුළ බලපෑම් ඇති කරපු චරිත.
එවන් වූ චරිතයක් අධ්‍යයනය තුළින් තමන් ඇති කරගන්නා චරිතය සමඟ තිරරචනය යොමු කරන්න සූදානම් වන අවසන් ඉලක්කය තේරුම් ගෙන නිර්මාණාත්මකව කරන්න ඕනේ. රෝහණ විජේවීර කියන චරිතය චරිතාංග නළුවෙක් හැටියට මට ලැබුණු මහඟු අවස්ථාවක්.

රෝහණ විජේවීරව කමල් අද්දරආරච්චිට අභියෝගයක් වුණාද?
ඕනෙම චරිතයක ජීවත් වෙනකොට රංගන ශිල්පියකුට සිදු වෙනවා තමන් නොවන බව හඟවන්න.
ඒ අභියෝගය ඕනෙම චරිතයක් එක්ක තියෙනවා. ලංකා දේශපාලන ඉතිහාසයේ බලනකොට ජන සමාජය තුළ රෝහණ විජේවීර චරිතය බොහොම ගැඹුරින් ලැගුම්ගත් චරිතයක්.
ඒ නිසා ඒ චරිතයට හානි නොකර ඔහුගේ චරිත ලක්ෂණ, ගති ලක්ෂණ, හැසිරීම් රටාව, හඬ, පෙනුම, මේ සියල්ලම නිරූපණය කිරීම තුළ යම්කිසි අභියෝගයක් තියෙනවා. මිනිස්සු ඒ චරිතයට නිතරම යම්කිසි චිත්‍රයක් මවාගෙන රූපරාමු සකස් කරගෙන තිබුණා.

කමල් මේ චරිතයට සූදානම් වෙන්නේ කොහොමද?
සාමාන්‍යයෙන් රංගන ශිල්පියෙක් මුලින්ම බලන්නේ තමන්ට ලැබුණු චරිතය කොයිතරම් දුරට විකාශන වෙනවාද යන්න. රෝහණ විජේවීරයන් ගැන අපි අහලා තිබුණා.
ඒ චරිතය ගැන තිබුණු විවිධ අර්ථකථන අමතක කරලා යථාර්ථවාදීව ඒ චරිතය කෙබඳුද කියලා අධ්‍යයනයක නිරත වෙන්න සිදුවුණා.
මොකද නිතරම අපි ඒ ඉතිහාස කතා අතරේ අතරමං වෙනවා. ඒ නිසා සමාජයේ කතාබහ අනුව රෝහණ විජේවීර කළු චරිතයක් විදියට මගේ හිතෙත් තිබුණා. නමුත් තිරරචනය කියවනකොට සහ යම් යම් දෑ කියවනකොට මේ චරිතය කෙබඳුද යන්න තව තවත් නිරවුල් ලෙස හිතන්න පෙලඹුණා.
ඔහු ඇසුරු කළ පුද්ගලයන් හරහා, ඔහුගේ දේශන නැරඹීමෙන් ඔහුව හඳුනාගන්නට පුළුවන් වෙනවා. ඒ හඳුනා ගැනීම සහ තිරරචනය සංසන්දනය කළා මම. මම හඳුනාගත් විදියට ඔහු ඉතාම බුද්ධිමත්, දේශපාලන පරිණත බුද්ධියකින් රටට ආදරය කළ, අනාගතය ගැන දූරදර්ශීව බලපු, යම් ආකාරයකට අවාසනාවන්ත නායකයෙක්. චරිතයේ වේශ නිරූපණයත් ඒ තරම් ලේසියෙන් කරන්න වුණේ නැහැ. ඒ වගේම තමයි මේ චරිතය තෘප්තිමත් වෙනකං මම තෘප්තිමත් වෙනකන් රූපගත කිරීමට යන්නේ නැහැ කියලා. නියමිත දිනයට දර්ශන පසුතලයට ගියෙත් නැහැ.
වේශ නිරූපණ ශිල්පී නාරද ධනංජය පැය හතරක විතර කාලයක් මට ඒ වේශ නිරූපණය කළා. මම රෝහණ විජේවීරගේ මුහුණේ හැඩතල ගන්න විශාල පරිශ්‍රමයක් දැරුවා. මට මගේම නොවන මගේ දත් කුට්ටමක් තිබුණා. අපහසුතාවන් ගොඩක් මැද තමයි මේ චරිතය කළේ.

“ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටය නරඹපු අයගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?
කවුරු මොනවා කිව්වත් අවසානයේ ප්‍රේක්ෂකයා තමයි එහි විනිශ්චයකරු. මුලින්ම රඟපාන්න දර්ශන තලයට ගියාට පසුව මම දැක්කා මිනිස්සුන්ගේ ප්‍රතිචාර.
ගොඩක් අය සංවේදී වුණා. විජේවීර ඇසුරු කළ අය සැබෑවටම රෝහණ විජේවීරව පණ පිටින් දැක්කා වගේ අඬපු අවස්ථා තිබුණා. ඒ වගේම ඔස්කාර් සම්මාන උලෙළට ප්‍රවේශයක් ලබාගන්න මේ චිත්‍රපටය ඇමරිකාවෙදි තිරගත කළා. ඒ අවස්ථාවට මමත් සහභාගි වුණා. එවිට කෙනෙක් මාව බදාගෙන ඉකි ගසමින් ඇඬුවා ඔහුව සංවේදී කළා කියලා. ලංකාවේ මාධ්‍ය දර්ශනය පසුගිය දිනෙක පැවැත්වුණා. ලංකාවේ චිත්‍රපට සංරක්ෂණය කරන නියමුවා තිස්ස නාගොඩවිතානයන්. ඔහු මට කිව්වා “කමල් මම විනාඩි විස්සක් තිස්සේ ඔයා කොහෙද ඉන්නේ කියලා හෙව්වා” කියලා. මේ චිත්‍රපටයෙන් මිනිස්සුන්ට කමල් අද්දරආරච්චිව දකින්න ලැබෙන එකක් නැහැ.

රෝහණ විජේවීරගේ අධිවේගී වාග් විලාසය කමල්ට හසුරුවන්න නොහැකි වුණා කියලා විවේචනයකුත් තිබුණා.
එය ඔවුන් දකින ආකාරය. මගේ වාග් විලාසය ගැනත් ගොඩක් ප්‍රතිචාර ලැබුණා. සමහර අය මගෙන් ඇහුවා “රෝහණගේ දෙබස්වලට ඔයා කට හෙලෙව්වාද?” කියලා. කවුරු හෝ වාග් විලාසය ගැන එවන් විවේචනයක් කරනවා නම් මම කියනවා රෝහණගේ කතා සමඟ වාග් විලාසය සහ මගේ දෙබස් එකවර සංසන්දනය කරන්න කියලා. මම රෝහණ විජේවීරව අනුකරණය කරන්න ගියේ නැහැ. රූපයට ගැළපෙන ලෙස පමණක් ඒ අනුව කටහඬ වෙනස් කළා පමණයි.

චිත්‍රපටයේ අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහගෙන් ලැබුණු සහයෝගය ගැන සඳහන් කළොත්?
විශාල සහයෝගයක් ලැබුණා. අපිව කිසිදු පාලනයකින් තොරව ඔහුගේ අදහස් ඉදිරිපත් කරමින් ඔහුගේ පරිණත අවබෝධය අනුව ඉතා විශිෂ්ට සහයෝගයක් මට ලබාදුන්නා.
නිර්මාණයක් කිරීමේදී අධ්‍යක්ෂවරයා ආඥාදායකයෙක් වුවහොත් එකී නිර්මාණය තුළ අනෙක් රංගන ශිල්පීන්ට තමන්ගේ නිර්මාණශීලීත්වය පෙන්වන්න එතරම් ඉඩක් ලැබෙන්නේ නැහැ. මේ නිර්මාණය සඳහා ඔහු ඒ නිදහස දුන්නා මේ නිර්මාණය සඳහා අවශ්‍ය පසුබිම හදාගන්න.
ඔහු රංගන ශිල්පීන් නිසි ලෙස හසුරුවලා, පෙර පුහුණුවීම් කරලා, රංගන ශිල්පීන්ගෙන් අදහස් ගෙන ඉතාම සුහදශීලී ලෙස අපිව හැසිරෙව්වා.

ඉතා දක්ෂ රංගන ශිල්පීන් කණ්ඩායමක් මේ චිත්‍රපටයේ රංගනයට ඔබ හා එක් වෙනවා. මේ අයගෙන් ලැබුණු සහයෝගය ගැන කිව්වොත්?
ජගත් මනුවර්ණගේ සිට හැමදෙනාම බොහොම නිහතමානීව ඒ සහයෝගය මට ලබාදුන්නා. ඔවුන් බොහෝ වෙලාවට මම දක්වන ප්‍රතිචාරයට, මම කියන දේට ඇහුම්කන් දීලා සහෝදරත්වයෙන් මේ සඳහා සහයෝගය දුන්නා. පෙර පුහුණු වීම් සාකච්ඡා මැද්දේ මේ චිත්‍රපටය තිරගත කළේ. මේ වගේ චිත්‍රපටයක් සියල්ලන්ගේම සහයෝගය නැතුව කරන්න බැහැ. මේක සියල්ලන්ම බොහොම විවෘත මනසකින් කරපු නිර්මාණයක්. එලෙස කටයුතු කරන්න ඔවුන්ගෙන් ලැබුණු දායකත්වයට ඔවුන්ට ප්‍රණාමය හිමිවෙන්න ඕනේ.

අවසාන වශයෙන් කමල් අද්දරආච්චිගේ ඉදිරි වැඩ කටයුතු ගැනත් කියමු?
ඉදිරි වැඩ කටයුතු පිළිබඳව මම ඒ තරම් කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. සිනමාව වෙනුවෙන් මේ වෙලාවේ අපෙන් යමක් වෙන්න ඕනේ.
දැන් ලංකාවේ සිනමාවට සරත් සමය උදා වෙලා තියෙන්නේ. වේළිලා කොළ හැළුණු කාලයක් උදා වෙලා තියෙන්නේ.
අපි බලාපොරොත්තු වෙනවා සිනමාවේ වසන්තය නැවත ඇති කරන්න. ඒ සඳහා ඉදිරියට යම්කිසි වැඩ කොටසක් කරන්න තියෙනවා. මේ වසරේ මැද භාගය වන විට රසිකයාට මේ සියල්ල ඉතාම හොඳින් දැනගන්න හැකි වේවි.

උපුටා ගැනීම – රැස පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!