Gossip

හිමායාගේ ජීවිතය ගොඩගියේ වැරදුණු මිස් කෝල් එකක් නිසාලු – දෙවැනි ඉනිමේ සොනාලි ටීචර්

හිමායා බණ්ඩාර කියන්නේ පුංචි තිරයට අලූත් මුහුණක් නෙමෙයි. ඇය රංගන ශිල්පිනියක් ලෙස කලා නිර්මාණ බොහොමයකට දායක වුණත් පසුගිය කාල සීමාව තුළ ඇය රංගන කටයුතු වලින් දකින්නට ලැබුණේ නැහැ. කාලෙකට පස්සේ දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය ඔස්සේ නැවත කරලියට එන හිමායා සෙනාලි ටීචර් හරහා මේ දිනවල පේ‍්‍රක්ෂක කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්වෙලා. මේ ඇය පුවත්පතක් හමුවේ දැක්වූ අදහස් කිහිපයක්.

හිමායා පසුගිය කාලේ නමත් වෙනස් කළා කියලා ආරංචියි?
ඇත්තටම මගේ සම්පූර්ණ නම අංජලී හිමායා බණ්ඩාර ක්ෂේත‍්‍රයට ආ මුල්කාලේ ගොඩක් අය මට කතා කළේ අංජු කියලා. ඒත් මට කාලයක් යද්දී හිතුණා අංජු කියන නමත් එක්ක අනන්‍යතාවක් හදාගන්න අමාරුයි කියලා. පසුකාලීනව අංජලී කපාහැරලා හිමායා බණ්ඩාර කියලා නම භාවිතා කරනවා.

ඔබ මුලින්ම ක්ෂේත‍්‍රයට පිවිසෙන්නේ නිවේදනයෙන් ද?
නැහැ. මම මුලින්ම ක්ෂේත‍්‍රයට එන්නේ රංගන ශිල්පිනියක් විදිහට. පසුව නිවේදිකාවක් විදිහට වැඩ කළා.

එතකොට ඔබ නිරූපණ ක්ෂේත‍්‍රයේ නිරූපිකාවක් විදිහටත් වැඩ කළා නේද?
ඇත්තටම මම නිරූපිකාවක් නෙමෙයි හැබැයි නිරුපණ ක්‍ෂේත‍්‍රය ගැන ඉගෙන ගෙන තියෙනවා. පත්තරවල සඟරාවල පින්තූරවල හිටියට මම නිරූපිකාවක් නෙමෙයි. මොඩ්ලින් කියන්නේ හොඳ රූපයක් වගේම දක්‍ෂතාවයෙන් දැනුමෙන් ඉදිරියට යන්න ඕන ක්ෂේත‍්‍රයක්.

ඒ කියන්නේ ඔබට ඒ සුදුසුකම් නැහැ කියලද?
රූපය දැනුම දක්ෂතාව තිබුණට මදි නිරූපණයට උස තියෙන්න ඕන. මම ඇත්තටම උස අඩු කෙනක්. ඒ නිසා නිරූපණය මට ගැළපෙන්නේ නැහැ. ඒත් මට මනාලියන් නිරූපණයට ඇඳුම් නිරූපනයට දායකත්වය ලබා දෙනවා.

හිමායාට මුලින්ම රංගන ක්ෂේත‍්‍රයට එන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
ඇත්තටම ඒක හරිම අහඹු සිදුවීමක්. ගිහාන් රෝහණ අයියගේ වැරදුණු දුරකථන ඇමතුම තමයි මට රංගන ශිල්පිනියක් වෙන්න අවස්ථාව ගෙනල්ලා දුන්නේ. මම මුලින්ම දායකවුණේ ගිහාන් රෝහණගේ ‘‘හිම කදුළු’’ කියන ටෙලි නාට්‍යයට ගිහාන් අයියා වෙන නිළියකට කතා කරන්න ගිය කෝල් එක ආවේ මට. ඒ වෙලාවේ ගිහාන් අයියා කිව්වා අලූත් ටෙලි නාට්‍යයක රඟපාන්න කෙනෙක් හොයනවා කැමති නම් ස්ක‍්‍රීන් ටෙස්ට් එකට එන්න කියලා මම ගියාම මාව තෝරාගත්තා.

කුඩා කාලේ ඉඳලා රංගන ශිල්පිනියක් වෙන්න අරමුණක් තිබුණාද?
අනේ නැහැ. මට පොඩි කාලේ කවුරු වෙනවද කියලා නිශ්චිත අරමුණක් තිබුණේම නැහැ. හැබැයි කලාව පැත්තට ලොකු නැඹුරුවක් නම් තිබුණා. ඔබ නිළියක් විදිහට රංගන කටයුතුවලට දායක වුණත් හිමායාට නොසිතු විලස කතාබහට ලක්වුණේ දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය හරහා.

දෙවැනි ඉනිමේ සෙනාලි ගැන කතා කරොත්?
දෙවැනි ඉනිමේ සොනාලි ටීචර්ව සොයාගන්න අධ්‍යෂකවරයා සෑහෙන නිළියන් පිරිසක් තිර පරීක්ෂණයට කැඳවලා තිබුණා. මම දන්නේ නැහැ. හිමායා සොනාලි කියන චරිතයට කොයිතරම් දුරට ගැළපුණාද කියලා. ඒත් එදා තිර පරික්ෂණයෙන් සොනාලි ටීචර් වෙන්න මට අවස්ථාව ලැබුණා. එහි අධ්‍යක්‍ෂ සාරංග මෙන්ඩිස් දෙරණ සභාපති ලක්සිරි වික‍්‍රමගේ සමන් එදිරිමුණි ඇතුළු දෙවැනි ඉනිම කණ්ඩායමේ සියලූම දෙනා සොනාලි ටීචර්ව ගොඩ නගාගන්න මට ලොකු සහයෝගයක් දුන්නා. ලැබෙන ප‍්‍රතිචාර එක්ක මට හිතෙනව මිනිසුන්ට දැනෙන්න මම සොනාලිව ජීවත් කරවනවා කියලා. අද සොනාලි ටීචර්ට සමාජ වෙබ් අඩවිවල ලැබෙන ප‍්‍රතිචාර දැක්කම නිහතමානි සතුටක් දැනෙනවා.

සොනාලිගේ චරිතයට මේ තරම්ම ඉහළ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයක් ලැබේවි කියලා හිතුනද?
කවදාවත් හිතුවේ නැහැ. මීට පෙර යම්තාක් දුරට ජනප‍්‍රිය ටෙලි නාට්‍යවල මම රඟපාල තියෙනවා ප‍්‍රධාන චරිතත් කරලා තියෙනවා. ඒත් හිමායට වාසනාව ගෙනාවේ සොනාලි කියන චරිතය. ෂුටින් ගිය පළමු දවසේ මම එෆ්බී එකට ෆොටෝ එකක් අප්ලෝඞ් කළා. ඒ ෆොටෝ එක මම හිතපු නැති දුරකට ගියා. සොනාලි චරිතය ගොඩක් ජනප‍්‍රිය වේවි කියලා එදා මට හිතුණා.

ඒත් දෙවැනි ඉනිම සොනාලිගේ චරිතය හිමායට ලැබුණේ දෙවැනි ඉනිම අධ්‍යක්‍ෂක සාරංගගේ බිරිඳගේ හොඳම යෙහෙළිය නිසා කියන කතාව ඇත්තද?
අනේ නැහැ. මාව ඒ චරිතයට තෝරාගත්තේ තිර පරීක්ෂණයකින්. සාරංගගේ බිරිඳ මගේ හොඳම යෙහෙළිය බව ඇත්ත. ඇය තමයි මෙහි නිශ්පාදකවරිය මම ඔවුන්ගේ පවුලේ ළඟම හිතවතියක්. ඒත් මාව චරිතයට ගත්තේ ඒ හිතවත්කම්වලට නෙවෙයි.

සමාජජාලා වෙබ් අඩවිවල සොනාලි ටීචර් හරිම ජනප‍්‍රියයි නේද?
ඔව් හොඳ නරක දෙකම ඇතුළේ සොනාලි ගොඩක් ජනප‍්‍රියයි. ගුරුවරියකගේ චරිතයක් නිසා චරිතය ගෞරවාන්විතව කරන්න මම මහන්සිවෙනවා. ඒ වගේම චරිතයට හානියක් වේවි කියලා පෞද්ගලික ජීවිතේ වුණත් මම සමහර තැන්වලදී පරිස්සම් වෙනවා. ඇඳුමක් ඇන්දත් මම දෙපාරක් හිතනවා. මේ ඇඳුමට සොනාලි චරිතයට අගෞරවයක් වේවිද කියලා. එච්චරට මම සොනාලිට ආදරේ කරනවා. ඒක නිහතමානීව අත්විඳිනවා. හැබැයි මම කරුණාවෙන් ඉල්ලනවා. හිමායව සොනිලිගේ මට්ටමෙන් මනින්න එපා. පෞද්ගලික ජීවිතේ මම හිමායා ඒ හින්දා මාවයි සොනාලි කියන චරිතයයි සංසන්දනය කරන්න එපා.

දැන් හිමායා නිවේදන කටයුතුවලින් ඈත් වෙලාද?
මම 2012 ඉදලා නිවේදිකාවක් විදිහට සම්බන්ධ වුණා. පසුගිය කාලේ රංගනයට වඩා පේ‍්‍රක්ෂකයා මාව දැක්කේ නිවේදිකාවක් විදිහට. නිවේදනය මගේ දැනුම පෝෂණය කළා. ඒත් මම වඩාත් ප‍්‍රිය කරන්නේ හිමායා ඇතුලේ ඉන්න රංගන ශිල්පිණියට.

ඇයි නිවේදන කටයුතු නතර කළේ?
ඇත්තටම මම නිවේදන කටයුතු නතර කළේ නැහැ. මම කොහොමත් වැඩ කළේ නිදහස් නිවේදිකාවක් විදිහට. නැවත මාධ්‍ය ආයතනයකින් ආරාධනාවක් ලැබුණොත් මම නිවේදනය වෘත්තියට එනවා.

මේ දවස්වල මොනවද අලූත් වැඩ?
දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය එක්ක තමයි ලොකු කාලයක් ගෙවෙන්නේ. තව මම දායක වුණ චිත‍්‍රපටයක් ඉදිරියේදි තිරගත වීමට නියමිතයි. පෞද්ගලික ජීවිතෙත් මේ දවස්වල තරමක් කාර්යබහුලයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!