Health & Beauty

ඩොක්ටර් ECG එකක් බලමුද ? – පොඩියට හරි පපුවේ කැක්කුමක් ආවම ඔබත් දුවගෙන ගිහින් ඩොක්ටර්ට කියන්නේ ඒ කතාවද..? එහෙමනම් බලන්න මේ කතාව

පොඩියට හරි පපුවේ කැක්කුමක් ආපු ලෙඩෙක් දුවගෙන ඇවිල්ල නිතරම වගේ කරන ඉල්ලීමක් තමයි ඒ.
ඉතින් අද අපි කතා කරමු මේ ගැන.
මොකද්ද මේ ECG…
ඊට කලින් අපි හදවත ගැන ටිකක් කතා කරලා ඉමු.
හදවතත් හරහා විදුලි ආවේග ගමන් කරන්නේ හරියට අපේ ගෙදර වගේ. සරලව කීවොත් main switch එක හරහා එන විදුලිය trip switch එකට එනවා.
එතැනින් මුළු නිවසටම විදුලිය බෙදා හැරෙනවා.
හදවතත් මේ වගේ. SA node එකට එන විදුලි ආවේගයක් එහෙමත් නැත්නම් current එකක් AV node එකට පැමිණෙනවා.
එතැනින් perkinje තන්තු හරහා මුළු හදවත පුරාවටම බෙදා හැරෙනවා.
මේ current එක හදවතේ මස්පිඩුවලට ලැබුණු විට ඒවා සංකෝචනය වීම සහ ඉහිල් වීම සිදුවනවා. සරලවම කීවොත් හදවත ගැහෙනවා.
ඉතින් මේ කියපු හදවතේ එක කොනක පටන් අරන් අනෙක් කොනට යන විදුලි ධාරාව එහෙමත් නැත්නම් කරන්ට් එක ගමන් කරන විදිය සහ ඒ අනුව හෘද ස්පන්දනය සිදුවන ආකාරය, රිද්මය පරීක්ශා කර බැලීමට තමයි ECG භාවිත වන්නේ.
මෙහිදී අත්වලට, පාදවලට සහ පපුව වටේට සවිකරන ඉලෙක්ට්‍රෝඩ 10ක් මඟින් හදවතේ විද්‍යුත් ක්‍රියාකාරිත්වය සහ හෘදය ස්පන්දනය වීමේ බලය කාලයට සාපේක්ෂව මන බැලීම, ප්‍රස්ථාරගත කිරීම ecg ගැනීම ලෙස සරලව හැඳින්විය හැකිය.
එහිදී ඇතිවන රටා අධීක්ෂණය කරන වෛද්‍යවරයාට ඔබගේ හදවත ගැන බොහෝ තොරතුරු කිව හැකියි.
හදවතේ විවිධ රෝගී තත්ව නිසා මේ කියන විදුලි ධාරාවේ ගමන් ගැනීමට සහ හදවතේ ස්පන්දනය වීම ට විවිධ බාධා ඇතිවනවා.
ඉතින් එවිට අර සාමන්‍ය ආකෘතිය රටාවට හානි වීම සිදුවනවා.
හදවත් ගැස්මේ රිද්මයේ අසාමාන්‍යතාවයන් හදවත හරහා විද්‍යුත් අවේග ගමන් කිරීමේ අසාමන්‍යතා
දැනට සිදුවෙමින් පවතින හෝ අතීතයේ සිදුවූ හාට් ඇටැක් පිළිබඳ විස්තර
කිරීටක ධමනි එනම් හෘදයට රුධිරය සපයන රුධිර වාහිනී වල අවහිර වීම්
හෘදයේ මාංශ පේශි වල, කුටීර වල සිදුවන ඝනකම් වීම්
උපතින් ම ඇතිවන හෘද වස්තුවේ විද්‍යුතය ගමන් කිරීමේ අසමන්‍යතා. ( brugada සින්ඩ්‍රෝමය වැනි කිසිදු ලෙඩක් දුකක් තිබුණේ නැති දරුවන් පාසැල් මලල ක්‍රීඩා උළලේ ක්‍රීඩා කිරීමට ගොස් හසිදියේ මිය ගිය අවස්ථා ඔබ අසා ඇති.
එසේ වීමට එක හේතුවක් ලෙස මෙම විද්‍යුතය ගමන් ගැනීමේ අසමන්‍යතා දැක්විය හැකිය.
ඔවුන් අධික ලෙස මහන්සි වන විට මා ඉහත සඳහන් කල හදවතේ විද්‍යුත් පරිපථය අක්‍රමවත් වී යැයි. එහි ප්‍රතිපලය වන්නේ හදවතේ ගැස්ම නැවතී රෝගියා ක්ෂණිකව මරණයට පත්වීමයි.
මේ හේතුව නිසා තමයි පාසල් මළල ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා කිරීමට ප්‍රථම, විශේෂයෙන්ම මැරතන් එකට ප්‍රථම ක්‍රීඩකයන් ගේ ecg එකක් ගනු ලබන්නේ.)

මේ හැර ශරීරයේ සෝඩියම්, පොටසියම්, කැල්සියම් වැනි ලවන වර්ග වල සිදුවන අඩු වැඩි වීම්
පෙනහළු වල ලේ කැටි සිරවීම්
pace maker උපකරණයක් පැළඳ ඇත්නම් එහි ක්‍රියාකාරිත්වය වගේම
හදවතේ අසාදන තත්ත්ව සොයාගැනීම සඳහා ද ECG භාවිත වේ.
බොහෝ වෛද්‍යවරුන් වාර්ෂික ව සිදුකරන වෛද්යපරික්ෂණ වල දී හදවත් රෝග තත්ත්ව හඳුනාගැනීම සඳහා ECG ලබා ගැනීම සිදුකරයි.

විශේෂයෙන්ම ඔබට දැනටමත් හදවත් රෝගයකින් පිඩා විඳී නම්,
අධි රුධිර පීඩනය,
දියවැඩියාව ,
කොලෙස්ටෙරෝල් වැනි හෘද වස්තුවට බලපාන රෝග තත්ත්ව ඇත්නම් සහ
ඔබට හෘද රෝගයක් ඇතිවීමට ඉතා ඉහළ අවධානමක් ඇත්නම් (ඒ ගැන පසුවට කතා කරමු)
වාර්ෂික ව සිදු කරන ecg පරීක්ෂණයක් මගින් ඔබේ හදවතේ තත්ත්වය පරික්ෂා කර බැලීම වැදගත්.
තවද ඔබ දැනටමත් හදවත් රෝගයකින් පිඩා විඳී නම් ඒ සඳහා ලබාදෙන ප්‍රතිකාර වල එහෙමත් නැතිනම් ඖෂධ වල මනා ක්‍රියාකාරිත්වය සහ ප්‍රතිකාර වල ප්‍රගතිය මැනබැලීමේ මිනුමක් ලෙස ද ECG භාවිතා වේ.
පපුවේ කැක්කුම, හදවතේ ගැස්ම වැඩිවීම, හතිය, කලන්තය වැනි රෝග ලක්ෂණ බොහෝ විට ඇතිවන්නේ හදවත හා සම්බන්ධ රෝග තත්ත්ව වල දී ය.
ගැස්ට්‍රිටිස් වැනි වෙනත් රෝග තත්ත්ව වල දී ද මේහා සමාන රෝග ලක්ෂණ ඇතිවේ. ඉතින් මේ කියන රෝග ලක්ෂණ හදවත් රෝගයකින් වෙන්කර හඳුනාගැනීම ට සිදු කරන සරල පරීක්ෂාවක් ලෙස ECG හැඳින්විය හැකිය.
doctor, මට පපුවේ කැක්කුමක් ආවා දැන් ටිකකට කලින්. හාර්ට් ඇටැක් එකක් ද දන්නේ නැහැ.
අපි බලමු ECG එකක් ගහලා.
නෑ . ඔයාට හාට් ඇටැක් එකක් ඇවිත් නැහැ. ගැස්ටික් තියනවා ද ?
ඔව් doctor. වෙලාවට කෑම නම් කැවෙන්නේ නැහැ.
එක තමා . මේ පපුවේ කැක්කුම ට හේතුව ගෑස්ටික් වගේ. අපි මේ බෙහෙත් ටික දැනට අරගෙන බලමු.
ECG එක ගැහුවට පස්සේ කැක්කුමත් අඩුයි වගේ doctor.
ඉතින් මේ කියන ආකාරයේ හදවත් රෝගයක් කියා ඔබ සිතන නොසිතන රෝග ලක්ෂණ වෙනත් රෝගයක් නිසා එනවා වෙන්නටත් පුළුවන්.
පපුවේ කැක්කුම ගැස්ට්‍රයිටිස් නිසා එන්නටත් පුළුවන්.
නිතර සෑදෙන හතිය පෙනහළු හා සම්බන්ධ රෝගයක් නිසා වන්නට පුළුවන්.
ක්ලාන්ත තත්ත්ව ආහාර අනුභව නොකිරීම නිසා වගේම වෙනත් බොහෝ හේතු නිසා වන්නට පුළුවන්
ඉතින් ඉහත කියූ පපුවේ කැක්කුම, හතිය, නිතර සෑදෙන ක්ලාන්ත තත්ත්වවල හේතුව හදවත් රෝගයක් නිසා දැයි බැලීමට කරනා එක පරීක්ෂණයක් ලෙස ecg ලබාගැනීම දැක්විය හැකිය.
ඇතැම් හදවත් රෝගී තත්ත්ව නිසා අයෙකුට අංශභාග/ආඝාත තත්ත්ව ඇතිවිය හැකිය.
එමනිසා හදිසියේ සිදුවන ඇස පෙනීමේ වෙනස් වීම්, හිරිවැටීම්, සිරුරේ ඇතැම් කොටස් පණනැති වීම්, පෞරුෂත්ව වෙනස්වීම් වැනි අංශභාග/ අඝාත රෝගයක රෝග ලක්ෂණ වල දී ද ඔබට හදවත් රෝගයක් ඇත්දැයි බැලීමට ඔබට ECG පරීක්ෂණයක් නියම කරනවා ඇති.
මේ හැර තව ද සැත්කමක් සඳහා පුර්ණ නිර්වින්දන තත්ත්වයක් ලබාදීමට පෙරාතුවද හදවතේ තත්ත්වය මැන බැලීමේ එක අංගයක් ලෙස ECG එකක් ලබා ගනී.
ඒ ඇතැම් පුර්ණ නිර්වින්දන තත්වයක දී හදවත් රෝගී තත්ත්වසහ ඒ හා සම්බන්ධ අතුරු ආබාධ උත්සන්න වීමේ අවධානමක් ඇති නිසාවෙන්ය.

ප්‍රධාන වශයෙන් ECG තුන් ආකාරයක් ගනියි.
* සාමාන්‍ය ECG – රෝගියා ඇඳක හන්දිවී නිසොල්මනේ සිටින විට ලබා ගනියි.
* excersice ECG – රෝගියා දිවීමට හෝ බයිසිකලයක් පැදීමට සලස්වා ඒ අතරතුර දී ලබා ගනියි.

මෙය සිදු කරනවිට වෛද්‍යවරයෙකු ගේ සහභාගිත්වය අනිවාර්ය අතර ඔහු ඔබව පරීක්ෂණය සිදු කරන කාලය පුරාවට නිරීක්‍ෂණය කරනු අතර අසාමාන්‍ය අවස්ථා වල පරීක්ෂණය නතර කරනු ඇත.
* ambulatory ECG – ශරීරයට පළඳවන උපකරණයක් හරහා දිනක් හෝ වැඩි කාලයක් පුරාවටම එක දිගට ම ECG ලබා ගනියි.
ඔබගේ රෝග ලක්ෂණ අහඹු ලෙස ඇතිවන්නේ නම් ඔබගේ වෛද්‍යවරයා මෙම විශේෂිත ECG ආකාරය බොහෝවිට ඔබට නියම කරනු ඇත. holter monitoring ලෙස හඳුන්වන්නේ ද මෙයයි.

එතකොට හාට් ඇටෑක් එකක දී මොකද වෙන්නේ
සරලව ම කීවොත් මිනිස් සිරුරේ අනික් හැම අවයවයක් වගේ ම හදවත ක්‍රියාත්මක වන්නටත් රුධිරය අවශ්‍යයි.
ඉතින් මෙසේ හදවතෙන් ආරම්භ වන ලේ නහර තුනක් (කිරීටක ධමනි) මඟින් තමයි මේ රුධිර සැපයිම සිදුකරන්නේ. කොලෙස්ටරෝල් තැන්පත් වීම , හදිසියේ ලේ කැටි සිරවීම වැනි විවිධ හේතුන් නිසා මේ කියන ලේ නහර අවහිර වීම සිදුව්නවා. එවිට හදවතේ අදාල පෙසෙසට සිදුවන රුධිර සැපයුම අඩාල වීම සිදුවනවා.
වෙනත් ආකාරයකින් කීවොත් හදවත අකර්මන්‍යවීමකට ලක් වනවා.
හදිසියේ සිදුවන මෙවන් අකර්මන්‍යවීම් තමයි සරලව ම හාට් අටෑක් එකක් ලෙස හඳුන්වන්නේ.
මෙලෙස හාට් ඇටෑක් එකක් ඇතිවන වන විට හදවත හරහා විදුලි තරංග ගමන් කිරීම වෙනස් වනවා.
ඒ වගේම අකර්මන්‍ය වූ පෙදෙසේ මස්පිඩු ගැහෙන රිද්මය වනවා. ඒ වෙනස ECG එකකින් හඳුනා ගැනෙයි.
එවිට රුධිර කැටිය දියකර දැමීමට ප්‍රතිකාර සිදු කෙරෙන අතර ටික වේලාවකට පසු නැවතත් ලබාගන්නා ECG එකක් මඟින් අර කියූ රුධිර කැටිය දියව ගොස් ඇත්දැයි පරීක්ශා කර බැලෙනවා.

මෙය ecg වල එක යෙදුමක්.
ඕනෑම දෙයක දී වගේ ම ECG එකකත් වාසි සහ අවාසි තිබෙනවා.
බොහෝ හෘද රෝග තත්ත්ව වල දී අප ලබාගන්න ECG නොර්මල් විය හැකිය.
එම නිසා හෘද රෝගයක් සැක කරන විටෙක දී Tropoin I,T වැනි රුධිර පරීක්ෂණ, echo scan වැනි පරීක්ෂණ ද බොහෝ විට සිදුකෙරේ.
සමහර විටෙක ECG පටියක සලකුණු වන අසමන්‍යතා කිසිදු වෛද්‍යවිද්‍යාත්මක වැදගත් කමකින් තොර ඒවා විය හැකි අතර රෝගයක දී ඇතිවන ECG අසාමාන්‍යතා කිසිදු රෝගයක් නොමැති පුද්ගලයන් ගේ ECG වල සටහන් වන අවස්ථා ද නැතුවාම නොවේ. ( මේ නිසා තමයි ඔබගේ ලබාගත් ECG සුරැකිව තබාගන්න යැයි වෛද්‍යවරුන් පවසන්නේ.
පසුකාලීන ව විවිධ හේතු වලට ECG ලබාගැනීමේ දී ඔබගේ සාමාන්‍ය ECG රටාව කුමක් දැයි අදහසක් ගැනීමට එය වැදගත් වෙයි.)
එබැවින් ECG යනු හෘද රෝග හඳුනාගැනීම හා සම්බන්ධ එක්තරා මෙවලමක් පමණි. සම්පුර්ණ රෝග විනිශ්චයක් සඳහා ECG එකක් පමණක් ප්‍රමාණවත් නොවේ.
ඊට අමතරව රෝගියා අත්විඳින රෝග ලක්ෂණ සලකා බැලීම මෙන්ම වෙනත් පරීක්ෂණ සිදු කිරීම ද අනිවාර්ය වේ. සරලව ම කිවොත් ඔබගේ ECG එකෙහි අසාමාන්‍යතාවයක් ඇති කියා ඔබ හිත කලබල කරගතයුතු වන්නේ නැහැ. එය අතිශය සාමාන්‍ය තත්ත්වයක් වන්නටත් පුළුවන්.
එබැවින් ඔබගේ ECG පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්.
ECG වලට පාදක වන හදවතේ විද්‍යුත් ක්‍රියාකාරිත්වය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් සිටිනවා යි කිවොත් ඔබ සමහර විට පුදුම වනවා ඇති. ඔවුන් හඳුන්වන්නේ electrophysiologist යන නාමයෙන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!