Gossip

“මොකද ඕකි අඬනවද. ඕකි මට මහා කරදරයක්..ඔතනම ඉවරයක් කරලා දාන්න..මං බැංකුව ළඟ ඉන්නෙ.දැන් මම පොරොන්දු වූ මුදලෙන් ලක්ෂ විස්සක් එකවුන්ට් එකට දාන්නම්.”

පසුගිය දාහතර වැනිදා (සිකුරාදා) ගාල්ල නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා හමුවීමට දිව ආවේ නිලුකා චාමලී නමැති කාන්තාවකි.
එහෙත් එදින මහජන දිනයක් නොවූ හෙයින් නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවීමට නිලුකාට අවසරයක් නොලැබිණි.
අනතුරුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ජංගම දුරකථන අංකය සොයාගත් නිලුකා එම ස්ථානයේ සිටම හෙතෙම ඇමැතීය.
“සර් මගේ ජීවිතේ ලොකු අනතුරක තියෙන්නෙ… මට සර්ව විනාඩියකට හම්බවෙන්න පුළුවන්ද.”
සැණින් ප්‍රතිචාර දැක්වූ නුවන් වෙදසිංහ මහතා, නිලුකා තම කාර්යාලයට කැඳවීය. ඇය නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරියේ සිය ජීවිතයට අත්වීමට යන භයානක ඉරණමේ සියලු තතු හෙළි කළාය.
උණවටුනේ අත්තරගොඩ වෙසෙන 33 හැවිරිදි නිලුකා චාමලී සංචාරක ව්‍යාපාරයේ නියැළෙන කාන්තාවකි.
හය හැවිරිදි පුතෙකුගේ මවකි. ඇය හමුවීමට පසුගිය දහතුන් වැනිදා යතුරුපැදියකින් ඇගේ නිවෙසට මැදිවියේ පිරිමි පුද්ගලයෙක් පැමිණියේය.
“මිස්… රට ඉන්නෙ කවුද?” ඔහු ඇසුවේය.
“මගේ කවුරුත් රට නැහැ…” නිලූකා පිළිවදන්දිනි. පුද්ගලයා දිගටම නිලූකාව විමසුවේය.
එහෙනම් ස්විස්වල ඉන්න ජයා කියන්නෙ කවුද?
“ඒ මගේ මහත්තයා” “හික්කඩුවේ ගෑනු කෙනෙක් එක්ක මිස් තරහද?” නිලූකා කල්පනාකාරීව පුද්ගලයා දෙස බලමින් පිළිතුරු දුන්නාය.
“මට එහෙම තරහකාරයෝ කවුරුත් නැහැ. ඉතින් ඇයි ඔයා මේවා මගෙන් අහන්නෙ…” නාඳුනන පුද්ගලයා විමසන්නෙ කුමක්ද යන්න නිලුකාට තිබුණේ කුතුහලයකි.
ඒත් එක්කම එම පුද්ගලයා කලිසම් සාක්කුවේ තිබූ ලියුම් කවරයක් ඇද ඡායාරූපයක් පෙන්වීය. එම ලියුම් කවරයේ නිලුකාගේ නිවෙසට එන මාර්ගයද ඇඳ තිබිණි. “මේ පින්තූරේ ඉන්නෙ මිස් නේද?“. නිලූකා වික්ෂිප්ත වූවාය.
“ඔව්නේ මේ මගේ පිත්තූරයක්නේ.“ ඇයට කියැවිනි. අනතුරුව මේ පුද්ගලයා කී දෙයින් ඇය තිගැස්සුනාය.
“මට මිස්ව මරන්න කොන්ත්‍රාතුවක් දීලා තියෙන්නෙ… ලක්ෂ තිහකට… ඒක දුන්නෙ මිස්ගෙ හස්බන්ඩ්… කොන්ත්‍රාත් එක ගත්තෙ වෙනත් ගෑනු කෙනෙක්. එයා මට වැඩේ භාර දුන්නා.“ මේ සිදුවන්නේ කුමක්දැයි ඇයට වැටහෙන්නේ නැත. තමන් ඝාතනයට කොන්ත්‍රාත්තුව රැගෙන පැමිණි මිනීමරුවා ඇයට තමන් ගත් කොන්ත්‍රාත්තුව පිළිබඳ කියමින් හිඳී.
මේ පුද්ගලයා ලීලාරත්න නැමැත්තෙකි. 47 හැවිරිදිය. පදිංචිය අම්බලන්ගොඩ ගෝනපීනුවලය. ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි. දැනට හමුදාවෙන් විශ්‍රාම ගොස් සිටී.
“මට මිස් මරන්න අවශ්‍යතාවක් නෑ. ඒත් මුං මං ඉන්න අසරණකමින් ප්‍රයෝජන ගන්න හදන්නෙ. හැබැයි මට මේ සල්ලි ටික කොහොමහරි ගන්න ඕනෙ.“ ලීලාරත්න අධික මුදල් හිඟතාවෙන් ගැටලු රැසකටම මුහුණදී අන්ත අසරණව සිටි අයෙකි. ඔහු නිලුකාට පුන පුනා පවසන්නේ එකම දෙයකි.
“මිස් මං ප්‍රශ්න ගොඩක ඉන්නෙ… මට මේ සල්ලි ටික කොහොමහරි ගන්න උදවු කරන්න.“ පසුව කළ යුතු සැලැස්මක්ද ලීලාරත්න කීවේය. ඊට නිලුකා එකඟ වූවාය. නමුත් ඒ එක කොන්දේසියක් පිටය.
“හැබැයි ඔයා මට මේ පිරිස නීතිය ඉදිරියට ගෙනයාමට උදව් කරන්න ඕනෙ.“ ලීලාරත්නගේ සැලැස්ම වූයේ නිලුකා ඝාතනය කිරීමේ ආකාරයෙන් පැහැරගෙන ගොස් පසුව ඔහුට කොන්ත්‍රත්තුව දුන් කාන්තාවද අදාළ ස්ථානයට කැඳවා විදේශයේ සිටින තැනැත්තාට ඒ බව දන්වා මුදල් ලබාගැනීමේ උපක්‍රමයයි.
ඒත් සමඟම ලීලාරත්නද නිලුකාට කොන්දේසියක් පැනවූයේ මේ බව කිසිවෙකුටත් නොකියන ලෙසටය.
“මිස් මේ වැඩේට අවශ්‍ය පාළු නිවෙසක් හොයාගන්න. කිසි දේකට බයවෙන්න එපා… ඕනෙනම් සම්පූර්ණ සිද්ධිය වීඩියෝ කරගන්න… මං මිස්ට අතක්වත් තියන්න ඉඩ දෙන්නෙ නෑ. හැබැයි ඒ ගෑනි මහ ජරා ගෑනියෙක්… මිස්ට බයනම්… පැහැරගන්න උදව්වට මම ගෙනා ගෑනියෙක් විදිහට මිස්ගේ යාළු ගෑනු කෙනෙකුත් තනියට කතා කරගන්න.“
ජීවිතයේ පළමු වතාවට එදින දුටු ලීලාරත්න නමැති පුද්ගලයා පවසන්නේ සත්‍යයක්දැයි ඇයට තිබුණේ සැකයකි.
ඔහු ගිය සැණින් නිලුකා දසඅතේ කල්පනා කළේ ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ගය කුමක්ද යන්නය. ඒ අනුව නිලුකා තීන්දු කළේ මේ ගැන පොලිසියට පැවැසීමටය.
එහෙත් ඇයට පසුගිය කාලයේ සිදුවූ කරදරවලට ඇතැම් පොලිස් නිලධාරින්ගෙන් නිසි සාධාරණයක් ඉටු නොවූ හෙයින් පොලිසිය ගැනද නිලුකාට අවිශ්වාසයක් තිබුණි.
එම නිසා ඇය සිය මාරක අනතුර ගැන පැවැසීමට ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා සොයා යාමට සිතුවාය.
නිලුකාගේ කතාව ඇසූ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊට ක්ෂණිකවම ප්‍රතිචාර දැක්වීමට කටයුතු කළේය. ඒ අනුව අපරාධකාරයන් කොටුකරගැනීමේ මෙහෙයුම බාර කෙරුණේ ගාල්ල පොලිසියේ සිටින මෙවැනි අපරාධකාරයන් පසුපස හඹා යාමේ දක්ෂයකු වන අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වාටය.
ලීලාරත්නගේ සැලැස්ම එලෙසින්ම ක්‍රියාත්මක කරන ලෙස පොලිස් පරීක්ෂකවරයා නිලුකාට උපදෙස් දුන්නේය.
ලීලාරත්න කියූ පරිදි තනියට තවත් කාන්තාවක එක්කරගන්නට යැයි කීමෙන් ප්‍රයෝජන ගත් පොලිසිය ඒ සඳහා පොලිස් කාන්තාවක යෙදවීමට සූදානම් වූවාය.
සෙනසුරාදා (15) නැවතත් නිලුකා ‍හමුවීමට පැමිණි නාඳුනන පුද්ගලයා පවසා තිබුණේ, පැහැරගැනීම සඳුදා (18) සිදුකිරීමට යොදාගන්නා බවයි.
සැලැසුම ක්‍රියාත්මක කිරීමට යොදාගන්නා නිවෙසද නිලුකා විසින්ම සොයා ගත්තාය.
ඒ රූමස්සල කන්දෙ කැලෑබද පෙදෙසක පිහිටි පාළු නිවෙසකි. වයිෆයි වීඩියෝ කැමරාද සවි කෙරිණි. සඳුදා පාන්දරම රූමස්සල නිවෙසට සිවිල් ඇඳුමින් සැරැසුණු පොලිස් පරීක්ෂක දිනේෂ් ඇතුළු කණ්ඩායමද පැමිණ අවට සැඟවී සිටියේය. නිවෙස අවට පොලිසිය සැඟවී සිටින බවක් ලීලාරත්න දැන සිටියේ නැත.
නිලුකාගේ අත්තරගොඩ නිවෙසට පැමිණි ලීලාරත්න, නිලුකා සහ යහළු වෙස්ගත් පොලිස් කාන්තාව සමඟ රූමස්සල කන්දෙ අදාළ නිවෙසට ගියාය.
ලීලාරත්න කෙසේ කීවද පොලීසිය හෝ නිලුකා ඔහුගේ සැලැස්ම ගැන කිසිදු විශ්වාසයකින් පසු නොවූයේය.
ලීලාරත්න බොරුවක් කළහොත් අනතුර භයානකය. එසේ යම් හෙයකින් ඔහු කිසියම් ආයුධයක් සඟවාගෙන පැමිණ නිලුකා සහ නිලුකාගේ යහළු වෙස්ගත් පොලිස් කාන්තාවට කිසියම් හෝ අනතුරක් කරාවියැයි සැකයක් සැමට තිබිණි.
ඒ නිසාවෙන් ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ පොලිසිය නිවෙසට පැමිණ විනාඩි ගණනක් ඉක්ම යත්ම ලීලාරත්නව කොටුකරගත්තෙ ඔහුට සිතා ගැනීමටවත් නොහැකි වන පරිදියි.
ඒ වනතුරු නිලුකා සහ පොලිස් කාන්තාව පසු වූයේ මර බියෙනි.
පසුව ලීලාරත්න පොලීසියට පාපෝච්චාරණය කළේ අදාළ කොන්ත්‍රාත්තුව ලබා දුන්නෙ රජ්ගම ප්‍රාදේශීය සභාවේ ලිපිකාරිනියක ලෙස සේවය කරන මංජුලා නමැති කාන්තාවක බවත් නිලුකා ගැටගසා සිටින බව දැන්වූ විට ඇය එම ස්ථානයට පැමිණෙන බවත්ය.
එලෙසින් එම සැලැස්මේ ඉතිරි කොටසද ලීලාරත්න ලවාම ක්‍රියාත්මක කිරීමට පොලිස් පරීක්ෂක දිනේෂ් තීන්දු කළේ උසස් පොලිස් නිලධාරින්ගේද උපදෙස් ඇතිවය.
අනතුරුව ලීලාරත්න මංජුලාට ඇමැතුමක් දෙමින් පැවැසුවේ නිලුකා පැහැරගත් බවත් අදාළ ස්ථානයට පැමිණෙන ලෙසත්ය.
මංජුලා ඇමැතුම් ගන්නා වාරයක් පාසා ‘දැන් එනවා… දැන් එනවා…’ කීවත් පැය ගණනාවක් යනතෙක්ම ඇයගේ ගමන ප්‍රමාද විය.
අවසානයේ දහවල් එකට පමණ ලීලාරත්න කී පරිදි ගාල්ල සිමෙන්ති කර්මාන්ත ශාලාව අසලට ඇය පැමිණියාය. ඒ අදාළ නිවෙස ඇයට සොයා ගැනීමට අපහසු හෙයිනි. එම ස්ථානයේ පොලිසිය රැකවල්ලා සිටියේය.
අදාළ ස්ථානයට යතුරුපැදියෙන් ආ කාන්තාවගේ ගමන් විලාසයෙන්ම ඇයව තම කණ්ඩායම සොයන අපරාධකාරිය බව හඳුනාගැනීමට පොලිස් නිලධාරින්ට සූක්ෂ්ම ඉවක් තිබිණි.
ඒ අනුව එම ස්ථානයේදීම ඇයව පොලිස් බාරයට ගත්තාය. පසුව අදාළ පාළු නිවෙසට මංජුලා රැගෙන ආවාය. එහෙත් ඇය නොයෙක් වහසි බස් දොඩවමින් අපරාධයේ ප්‍රධානියා ලීලාරත්න බවටද අඟවන්නට වූවාය. එහෙත් ඒ වන විට පොලිසිය බොහෝ තොරතුරු අනාවරණය කරගෙන හමාරය.
පසුව මංජුලා, පොලිසිය සහ නිලුකා ඉදිරියේම කොන්ත්‍රාත්තුව ලබාදුන් බව කී ජයන්ත දිසානායක නමැති ස්විස්ටර්ලන්තයේ වෙසෙන නිලුකාගේ ස්වාමියාට කතා කළාය.
ඝාතන කොන්ත්‍රාත්තුව ලක්ෂ තිහකි. ඇයට පැවැරී තිබුණේ නිලුකාගේ අත්පා ගැටගසා වීඩියෝ දුරකථන ඇමැතුමක්ගෙන ජයන්තට පෙන්වීමය.
පසුව ලක්ෂ 30ක මුදල ජයන්ත විසින් තම බැංකු ගිණුමට සැණින් තැන්පත් කරන බවට ඔහු පොරොන්දු වූ බවද ඇය පැවැසුවාය.
මංජුලා කියන පරිදිම ක්‍රියාත්මක වූ පොලිසිය නිලුකාගේ අත්පා ගැටගසා මුවටද ප්ලාස්ටර් අලවා පැහැරගත් ආකාරයට නිලුකා වෙස් ගැන්වීය. මංජුලාට නියෝග කළේ ජයන්තට වීඩියෝ දුරකථන ඇමැතුමක් ගන්නා ලෙසටය. ඇයගේ දුරකථනයේ ‘ජයා අයියා’ ලෙසට ජයන්තගේ දුරකථන අංකය තහවුරු කර තිබිණි. ඇය සහ ජයන්ත අතර කලෙක සිටම ළඟ ඇසුරක් තිබූ බවට ඒ දුරකථන අංකය ජංගම දුරකථනයේ දිස්වූ ආකාරයෙන්ම පොලිසියට පසක් විය.
වීඩියෝ ඇමැතුම ගෙන නිලුකා සිටින ආකාරය පෙන්වූ විට ජයන්ත කීවේ, “ඕකිව මට හරියට පේන්නෙ නෑ. ඉමෝවලින් පින්තූර ටිකක් ඉක්මනට එවන“ ලෙසය. එසැණින් මංජුලා පින්තූරද යැවුවාය. ජයන්ත ඉහවහා ගිය සතුටකට පත්වී තිබිණි. ඡායාරූප ලැබී ඇති බවට වූ ඔහුගේ ප්‍රමෝදාන්විත වදන්වලින් සියල්ලන්ටම ඇසිනි. පසුව ජයන්ත, නිලුකා ඇතුළු සැමටම ඇසෙන පරිදි කීවේ, “මොකද ඕකී අඬනවද… ඕකි මට මහා කරදරයක්… ඔතනම ඉවරයක් කරලා දාන්න… මං බැංකුව ළඟ ඉන්නෙ… දැන්මම පොරොන්දු වූ මුදලෙන් ලක්ෂ විස්සක් එකවුන්ට් එකට දාන්නම්…“ යනුවෙනි.
එම ඇමැතුමෙන් පැය භාගයකට පසු මංජුලාගේ අදාළ බැංකු ගිණුම පරීක්ෂා කිරීමේදී ලක්ෂ දහයක තැන්පතුවක් ලැබී තිබිණි. නැවතත් මංජුලා, ජයන්තට ඇමැතුමක් දුන් විට කී පරිදිම විනාඩි පහෙන් තවත් ලක්ෂ දහයක් තැන්පත් කෙරිණි.
පරීක්ෂණ සිදුකිරීමේදී පොලිසියට අනාවරණය වූයේ එම තැන්පතු දෙකම සිදුකර තිබුණේ මීගමුව ප්‍රදේශයේ බැංකු ශාඛාවකින් එකම පුද්ගලයෙක් බවය.
මේ වන විට වැඩිදුරටත් අනාවරණය වන්නේ එම මුදල්, අන්තර්ජාතික මුදල් හුවමාරු ආයතනයක් විසින් මීගමුවේ රාජ්‍ය බැංකුවක තැන්පත් කර ඇති බවය. ජයන්ත එම මුදල් ඉතාලියේ සිට මෙරට මුදල් හුවමාරු ආයතනික ඉතාලි ශාඛාවේ තැන්පත් කිරීමට යනෙ’න ආකාරය සීසීටීවී දසුන්වල සටහන් වී ඇති බවටද අනාවරණය කරගෙන තිබිණි.
පැහැරගැනීමේ ප්‍රධාන චරිතය රඟපෑ මංජුලා අම්බලන්ගොඩ කුලීගොඩ වෙසෙන 46 හැවිරිදි විවාහක කාන්තාවකි. ඇය රජ්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටි, වර්ෂ 2015 මාර්තු 23 වැනිදා ඝාතනය වූ මනෝජ් මෙන්ඩිස්ගේ ඥාතියෙකි.
තම විවාහක බිරිය ඝාතනය කිරීමට තැත් කළ ස්විස්ටර්ලන්තයේ වෙසෙන ජයන්ත දිසානායක නමැත්තා සොයා ජාත්‍යන්තර පොලිසියේද සහාය ඇතිව කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය කීවේය.
නිලුකාට, ජයන්ත හමුවී තිබුණේ 2012 වසරේදී උණවටුන ප්‍රදේශයේ මහමඟදීය. එය මගදී දැකීමෙන් ඇතිවූ පෙම් පළහිලව්වකි. පසුව එම වසරේදීම දෙදෙනා විවාහ වී ජයන්ත සතුව තිබූ උණවටුනේ පර්චස් 30ක ඉඩමක නිලුකාගේ මුදල්ද යොදවා සංචාරක නිකේතනයක්ද ඉදිකළේය. අනතුරුව ඔවුහු එම නිවසේ සතුටින් ජීවත් වූහ.
ඉතාලි ජාතිකයෙක් වන ජයන්ත ස්විස්ටර්ලන්තයේ පදිංචිකරුවෙකි. ඔහුට මෙරට පුරවැසිභාවයද නොමැති බව නිලුකා පවසන්නීය. විවාහ වී දින කීපයක් ඉක්ම යද්දීම දෙදෙනාටම අවශ්‍ය වූයේ දරු පැටියෙකුගේ සුරතල් බැලීමටය. ඒ අපේක්ෂා ඵල දරමින් 2012 වස‍රේදීම නිලුකාගේ කුසෙහි දරුගැබක් පිළිසිඳ ගත්තාය.
එහෙත් දරුගැබත් සමඟින් සියලු ආරවුල් ඇතිවූ බවත්, ජයන්තගේ හිතමිතුරු නීතිඥ යුවළක් දුන් උපදෙස් මත සියලු ගැටුම් ඇතිවූ බවත් කියන නිලුකා නිතරම ජයන්ත තමාට දරුගැබ විනාශ කිරීමට බලකළ බව කීවාය.
“ඒත් සමඟ ඇතිවූ ප්‍රශ්න නිසා මේ මනුස්සයා මාව මරන්න හැදුවා. දූෂණය කරන්න මැරයො යෙදෙව්වා. ඒ කාලෙ ඒ අපරාධය භාර දීලා තිබුණෙ මනෝජ් මෙන්ඩිස් කියන මැරයගෙ ගෝලයන්ට. මේ තාඩන පීඩනවලට එරෙහිව සියලු වගකිවයුත්තන් දැනුවත් කළා. ඉන් කිසිම වැඩක් වුණේ නෑ. මං වෙනුවෙන් පෙනී සිටියේ මාධ්‍යය විතරයි.“ නිලුකා අපට කීවාය.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!