Gossip

ඩිලන්ත ගිනස් වාර්තාවකට සැරසෙයි

ලොව ප්‍රකට ඉමෝලා ධාවන පථයේ වාර්ෂිකව පවත්වන ඉසව් පහකින් සමන්විත ලැම්බෝර්ගනී සුපර් ටි්‍රප්‍රෝ 2017 ජාත්‍යන්තර ශූරතා තරඟාවලියේදී ඩිලන්ත මාලගමුව එක් ඉසව්වකින් තෙවැනි ස්ථානය දිනා ගනිමින් එම ධාවන පථය ජයගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීමේ භාග්‍යය හිමිකර ගත්තේය.

උතුරු දිග ඉතාලියේ ඉමෝලා ප්‍රදේශයේ පිහිටි ලෝක ප්‍රසිද්ධ ෆෙරාරි වාහන නිශ්පාදන සමාගමේ හිමිකරුවන් වන නැසි ගිය එන්සෝ ෆෙරාරි හා ඔහුගේ පුත් ඩිනෝ ෆෙරාරි නමින් මෙම ධාවන පථය ඉදිකර ඇත.

එහි වසරකට ලෝකයේ පලමු පෙලේ මෝටර් රථ ධාවන ශූරතා තරග කිහිපයක්ම පවත්වනු ලැබේ. ඒ අතරින් පෝර්මියුලා වන් ශූරතාවය විශේෂිතවේ. ලෝක ප්‍රසිද්ධ මෝටර් රථ ධාවන ශූරයෙකුවූ බ්‍රසීල ජාතික ඇරිටන් සේනා වර්ෂ 1994 මැයි මස 01 වෙනිදාා මෙම ධාවන පථයේ සිදුවූ අනතුරකින් මිය ගියේය. කිමී 4.909ක් දිග වංගු 15 කින් සමන්විත මෙම ධාවන පථයේ අවම ධාවන කාල වාර්තාව ලෙස සටහන් වන්නේ මිනිත්තුවයි තත්පර 20 දශම 411කි. හිටපු ලෝක ශූර ජර්මන් ජාතික මයිකල් ෂූර්මාකර් විසින් වසර 2003දී ෆෝර්මියුලා එක ශූරතාවයේදී ෆෙරාරි කාරයක් පදවමින් ඉහත වාර්තාව තැබුවේය.

තරගයක ජය හිමිකරගත් ඩිලන්ත මාලගමුව ජයග්‍රහණයට අදාළ ශූරතාවය ලබා ගැනීම සඳහා පැරිස් අගනුවර කොන්කෝඞ් චතුරශ්‍රය අසල පිහිටි ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලන මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී අපි ඔහු හා කතා කළෙමු.

 

ප්‍රශ්නය:
ඩිලන්ත ඔබ වර්තමාන ශ්‍රීලංකාවේ ප්‍රථම ස්ථානයේ සිටින ධාවන ශූරයෙක්. ඉමෝලා ජයග්‍රහණය දක්වා ඔබගේ තරග ඉතිහාසය කොහොමද?

පිළිතුර:
මම මින් පෙර ආසියාවේ තමයි ගොඩක් රේස් පැද්දේ. සිංගප්පූරුව, කොරියාව, මැලේසියාව, ජපානය, ඩුබායි ආදි රටවල පැවැත්වූ ශූරතා විශාල ප්‍රමාණයක් ජය ගැනීමට මට හැකි වුණා පමණක් නොවෙයි ආසියාවේ වැඩිම ලැම්බොගිනි කාරයෙන් රේස් ගණනාවක් ජයගත් පුද්ගලයා වීමේ භාග්‍යයත් ලැබුණා. ඒ අතර තමයි මේ  වසරේ සිට යුරෝපයේ ලැම්බෝර්ගනී ශූරතාවන්ට සහභාගි වීමේ අවස්ථාව ලැබුණේ. එහිදී ප්‍රථමයෙන් ප්‍රංශයේ පැවැත්වූ පෝල් රිකාර්ඞ් ධාවන ශූරතාවයට සහභාගි වීමට අවස්ථාව ලැබුණා. ඉන් පසු ස්පාඤ්ඤය හා ඉතාලියේ ශූරතාවන් කිහිපයකට සහභාගි වුණා.


ඉන් පසුවයි ඉතාලියේ සුප්‍රසිද්ධ ඉමෝලා ධාවන පථයේ ලැම්බෝර්ගනී සුපර් ටි්‍රපෝ ශූරතාවයට ආවේ. එහි රේස් 5ක් තිබුණා. එකකදී මගේ වාහනය අනතුරකට ලක්වුණා. නමුත් එක් ප්‍රධාන ඉසව්වක් ජය ගැනීමට හැකි වුණා. එම තරගයේදි මම ආරම්භ කළේ 15 වැනියට. නමුත් අවසන් කළේ දෙවෙනියට. එසේ වුවද එම ඉසව්වේදි වෙනත් වාහන අනතුරක් හේතු කොට අවසාන වටයට පෙර ඉසව්ව අවසන් කිරීමට බලධාරීන් තීරනය කිරීම හේතුවෙන් ඒ වනවිට මම සිටි තෙවැනි ස්ථානය මට ලබා ගැනීමට මට හැකි වුණා. ඒ ගැන මම සතුටු වෙනවා. මන්ද ? මින් පෙර ආසියාතික ධාවන ශූරයෙක් ඉමෝලාවල ජය අර ගෙන නැහැ. ඒවගේම එම අවස්ථාව හිමි කරගත් ප්‍රථම ශ්‍රීලාංකිකයා වීමේ භාග්‍යයත් මට ලැබුණා. මෙම සියලු කරුණු හේතු කර ඉමෝලාවල පැවැත්වූ ලැම්බෝර්ගනී සුපර් ටි්‍රපෝ ලෝක ශූරතාවය ගැනත් එහිදී මම ලබා ගත් ජයග්‍රහණය ගැනත් සතුටුයි.

 

ප්‍රශ්නය:
ඔබ යුරෝපයේ තරගයට එක් වන්නේ බෝහෝ මෑතක. ඉන් පෙර ආසියාව, මැද පෙරදිග තරග රැසකට සහභාගිවී ජයග්‍රහණ රැසක් හිමි කර ගන්නවා ආසියාවේ හා යුරෝපයේ තරග අතර සමාන අසමානකම් තිබේද?

පිළිතුර:
ආසියාවේ හා යුරෝපයේ කියල විශාල වෙනසක් නැහැ. නමුත් යුරෝපයේ මෙන් ආසියාවේදී අපේ වාහනය හරි හැටි නඩත්තු වෙන්නේ නැහැ. යුරෝපයේදි එක රේස් එකක් අවසන් වුණාම ඊළඟ රේස් එකට ප්‍රථමයෙන් වාහනය අලුතෙන්ම අලුත්වැඩියා කරනවා. නමුත් ආසියාවේදී එහෙම තත්වයක් නැහැ. අනෙක් කරුන නම්; යුරෝපයේ තමයි ලෝකයේ හොඳම කාර් රේස් ධාවකයෝ ඉන්නේ. එම නිසා යුරෝපා ශූරතාවයන් ඉතා උසස් හා තරඟකාරි මට්ටමකින් පැවැත් වෙනවා. අනෙක් කරුන තමයි යුරෝපයේ බොහෝ ධාවකයෝ මෙම ධාවන පථයන්හී කිහිප විටක් තරඟ වලට සහභාගි වෙලා ධාවන පථය ගැන හොඳ අත්දැකීම් තිබෙනවා. මට ඉමෝලා වල පුහුණු වෙන්න ලැබුනේ එක දවසයි. ඉතින් එවැනි ධාවකයෝ සමග ශූරතාවයක් ජය ගන්නවා කියන්නේ විශාල අභියෝගයක්. කෙසේ නමුත් එවැනි ශූරයන් සමග තරඟ කර එක් ඉසව්වක් මට ජය ගැනීමට හැකි වීමත් විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි කුඩා රටක කොල්ලෙක් වුණු මට යුරෝපයේ දැවැන්තයන් සමඟ තරගකර ජය ගන්න ලැබීමත් ඉතිහාසගත සිදුවීමක්. එම නිසාම යුරෝපයේ ක්‍රිඩා පුවත්, මා ගැන විශේෂයෙන් කතා කළා.

ප්‍රශ්නය:
දෙවන ස්ථානය හිමි කරගත් ඔබට තෙවැනි ස්ථානයට යෑමට සිදුවුණා. එසේ වූයේ ඇයි?

පිළිතුර:
අවසාන වටයට පෙර වටයේදී මට පසුපසින් පැමිණි වාහන දෙකක් අනතුරකට ලක්වුණා. ඒ නිසා ධාවන පථය අවහිර වුණා.  මේ වෙලාවේ තරගය අවසන් කිරීමට බලධාරී විනිසුරු මඩුල්ල තීරණය කලා. තරගයේ නීතිරීති වලට අනුව අනතුරට පෙර වටයේ ස්ථාන ලබා දීමට ඔවුන්ට සිදුවුණා. ඒක තමයි නීතියානුකූල ක්‍රමවේදය. එම නිසා මට තෙවැනි ස්ථානය හිමිවුණා. නමුත් අනතුර සිදුනොවී තරගය අවසන් කළා නම් මට ප්‍රථමයා වෙන්නත් ඉඩ තිබුණා.

 

ප්‍රශ්නය:
මෙම තරගය නැරඹීමට හා ඔබව ධෛර්යයමත් කිරීමට ඉතාලියේ වෙසෙන බොහෝමයක් ශ්‍රීලාංකිකයෝ පැමිණ සිටියා. ඒ ගැන මොකක්ද පවසන්නේ?

පිළිතුර:
ලෝකයේ ඉන්න වාසනාවන්තම කාර් රේස් ක්‍රීඩකයා මම වෙන්න ඇතැයි මම සිතනවා. හේතුව මම තරග කළ හැම අවස්ථාවකම අපේ සහෝදර ශ්‍රීලාංකිකයෝ විශාල ප්‍රමාණයක් ශ්‍රීලංකා ජාතික ධජයන් අතැතිව මට ධෛර්යය ලබා දීමට පැමිණ සිටියා. නමුත් වෙනත් ක්‍රීඩකයන් වෙනුවෙන් ජාතික ධජ රැගත් එහෙම පිරිසක් නියෝජනය වුණෙත් නැහැ. වෙලත් නැහැ. බොහෝමයක් නරඹන්නෝ රේස් එක බලන්න ආවාට ධාවකයෝ දිරිමත් කරන්න ආ පිරිස් නොවෙයි. නමුත් අපේ ශ්‍රීලාංකිකයෝ සිය ගණනක් එක පොදියට නැරඹුම් ශාලාවේ ජය ඝෝෂා නගමින් කොඩි වනමින් මාව දිරිමත් කිරීමට පැමිණීම යුරෝපා මාධ්‍යයට පවා විශේෂ දෙයක් වුණා. එහෙම වෙන්නේ කලාතුරකින්. ඔවුන් ශ්‍රීලාංකික ප්‍රේක්ෂකයෝ ගැන විශේෂයෙන් සඳහන් කළා. එය යුරෝපයට අමුතු දෙයක්. ඔවුන්ගේ ජය ඝේෂාව තරඟය සඳහා මට නව පණක් ලබා දුන්නා.  මා ඉපැදුණු රටෙන් මට කිසිම අනුග්‍රහයක් නොලැබුණත් රටට හා ක්‍රීඩාවට ආදරය කරන පිරිසක් මාව දිරිමත් කිරීමට පැමිණීම ගැන ම
ම ආඩම්බර වෙනවා. ඒ ගැන ඉතාලියේ ශ්‍රීලාංකික සහෝදර සහෝදරියන්ට මම විශේෂයෙන් ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි.

ප්‍රශ්නය:
ඉපැදුණු රටෙන් ඔබට කිසිම අනුග්‍රහයක් නොලැබුණු බව පැවසුවා. වර්තමාන ක්‍රීඩා ඇමති ඔබ උපන් ප්‍රදේශයෙන් පාර්ලිමේන්තුවට පැමිණි අයෙක්. ඔබ ඔවුන්ව දැනුවත් කළාද?

පිළිතුර:
ඔයා දැක්ක නේද මගේ රේස් පදින වාහනය. ඉදිරියෙන්ම ගහලා තියෙන්නේ ශ්‍රීලංකා ධජය. අනෙක් කිසිම වාහනයක ඔවුන්ගේ ජාතික කොඩි ගහල නැහැ.ඇයි ඒ ? මම සැම විටම තරග කළේ රට වෙනුවෙන්. ජයග්‍රහණ ලබා ගත්තේ රට වෙනුවෙන්. නමුත් එහි ප්‍රතිඋපකාර ගැන සඳහන් කළහොත් ලැබුණු දෙයක් නැහැ. අවශ්‍යය සියලු දෙනා දැනුවත් කරලා තියෙන්නේ නමුත් වැඩක් නැහැ. අපි බලමු මොනවා හරි කරන්න යැයි වර්තමාන ඇමතිතුමා වරක් මට පැවසුවා. නමුත් සිදුවූ දෙයක් නැහැ. ඔයා දකින්න ඇත්තේ පසුගිය කාලේ කෝටි ප්‍රකෝටි ගනන් වියදම් කරල දළදා මාලිගාව ලඟ කාර් රේස් පැද්දේ. අවශ්‍යයම නම් ඕන තරම් අත්දැකීම් කියන්න පුළුවන්. නමුත් නීරස දේවල්වලට කාලය වැය කරන්නේ ඇයි? වැඩිපුරම තියෙන්නේ කලකිරීම්.අපි රටට ආදරේ කළාට වැඩක් නැහැ. කොටින්ම කියනව නම් මම පිටරට වල ජාත්‍යයන්තර රේස් ශූරතාවයන් දිනලා තියෙනවා. නමුත් එම රටවල තියෙන අපේ එම්බසියවත් මට කතා කරලා ස්තුතියක්වත් කරලා නැහැ. ඉතින් රට ගැන මොන කතාද? නමුත් ප්‍රථම වතාවට මම මෙවර පැරීසියට පැමිණි වෙලාවේ ප්‍රංශයේ ඉන්න අපේ ලංකාවේ තානාපතිතුමා මා වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් පැවැත්වුවා.ඒ වෙලාවේ මගේ ඇස් දෙක කඳුළුවලින් පිරුණා. ඒ මොකද? මගේ අවුරුදු 37ක රේස් ඉතිහාසයේ එය තමයි මට රාජ්‍ය අනුග්‍රහණයක් ලැබුණු ප්‍රථම අවස්ථාව. එවැනි අය තමයි අපේ තානාපති සේවයට පත් කළ යුත්තේ. එබැවින් ප්‍රංශ තානාපති බුද්ධි ආතාවුද මැතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මම විශේෂයෙන් ස්තුති වන්ත වෙනවා.

ප්‍රශ්නය:
තව කොපමන කලක් මෙම තරගවලට සහභාගි වන්නට බලාපොරොත්තු වෙනවාද?

පිළිතුර:
අඩුම තරමින් තව අවුරුදු 10ක් වත් තරගවලට සහභාගි වීමට බලාපොරොත්තු වෙනවා. දැනට මම තරග කරන්නේ මට වඩා වයස අවුරුදු 10ක 15කට පමණ වයසින් අඩු තරගකරුවන් සමග. රටට තියෙන ආදරයත් ක්‍රීඩාවට ඇති ආදරයත් හිතේ තියෙන හයියත් සමඟ තව කලක් තරගවලට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා.කාර් රේස් වලින් ගිනස් වාර්තාවක් තියලම මම රේස්වලින් සමුගන්නවා.

 

ප්‍රශ්නය:
මොකක්ද ඒ ගිනස් වාර්තාව?

පිළිතුර:
දැනට මම අවුරුදු 37ක් රේස් පැදල තියෙනවා. වැඩිම කාලයක් ජාත්‍යයන්තර තලයේ රේස් පැදපු කෙනා ලෙස ගිනස් වාර්තාවක් තියනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!