Gossip

අපරාධ ඉතිහාසය වෙනස් කරමින් මරණ දඬුවම ඉල්ලන අපරාධකරුවා

ඇමරිකාවේ දකුණු කැරෝලිනා ජනපදයේ පිහිටි ක්ලෙම්සන් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව හැදෑරු 20 හැවිරිදි ටිෆ්නි මාරි සුවර්ස් ශිෂ්‍යාව දුෂණය කොට ගෙල සිර කර ඝාතනය කර තිබීම විශ්ව විද්‍යාලය තුළ පමණක් නොව මුළු මහත් ජනපදය පුරාම දැඩි ආන්දෝලනයක් ඇතිකර වන්නට සමත් විය.
ඒ එම මරණය සිදු වී ඇති ආකාරය අනුව ලිංගික අපරාධකරුවකු විසින් එය සිදුකරන ලද්දක් ලෙස සැලකීමත් එම අපරාධකරුවා නිදැල්ලේ හැසිරිම ද එම බිය තව තවත් උග්‍ර කිරීමට හේතුවිය.
විශ්ව විද්‍යාලය අසල පිහිටි නිවාස සංකීර්ණයක ටිෆ්නි නැවතී සිටියේ තවත් සිසුවියක සමඟය.
රාත්‍රියේ ටිෆ්නි ගේ කාමරයට ඇතුළු වූ ඇගේ මිතුරියට දක්නට ලැබුණේ ටිෆ්නි සයනය මත මරා දමා ඇති අයුරුය. ඇගේ බිකිනියේ උඩ කොටස නිසා ඇගේ ගෙල සිර වී තිබිණි. පසුව මේ බව පොලිසියට දැනුම් දෙනු ලැබිය.
ටිෆ්නිගේ සිරුර පුරා දක්නට ලැබුණු තුවාල වලට අනුව ටිෆ්නි ඝාතකයා සමඟ පොර බදිමින් දරුණු සටනක යෙදී ඇති බව පරීක්ෂණවලදී නිගමනය විය.
විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් මේ අයුරින් සාහසික ලෙස දුෂණය කොට මරා දැමීම මුළු මහත් සමාජයේ ම දැඩි දෝෂ දර්ශනයට ලක් වු අතර ඇගේ ඝාතකයා සෙවීම පොලිසිය වෙත පැවැරුණු දැවැන්ත අභියෝගයක් විය.
ටිෆ්නිගේ සිරුරෙන් ලබාගනු ලැබු ඩී.එන්.ඒ. කොටස් වහාම ලිංගික අපරාධකරුවන්ගේ විස්තර ඇති ජාතික දත්ත ගබඩාව වෙත යොමු කරන ලදුව එම ඩී.එන්.ඒ. කොටස් වලට සමානත්වයක් දරණ අයෙකු සොයා ගැනීමට පොලිස් නිලධාරින්ට හැකිවිය.
ඒ 35 හැවිරිදි ජෙරි බක් ඉහ්මන් නමැත්තෙකි. ඔහු ලිංගික අපරාධ රැසකට වරදකරුවී 16 වසරක් ෆ්ලොරිඩා සිර ගෙදර දඬුවමට ලක් වී තාවකාලික නිදහසක් ලබා තිබු අයකු විය. ෆ්ලොරිඩා හා උතුරු කැරොලිනා ප්‍රදේශවල ලිංගික අපරාධ කරුවන්ගේ නම් ලැයිස්තුවේ ඔහුගේ නම ඉහළින්ම සඳහන් වී තිබිණ.
සිරගෙදරින් ලැබුණු තාවකාලික නිදහසින් පසුව ටෙනසි ජනපදයේ ගොඩනැගිල්ලක් තනන ස්ථනයක සේවය කරමින් සිටි ඔහු සති දෙකක් සේවයට නොපැමිණීම නිසා ඒ වන විටත් රැකියාව අහිමිව තිබු බවත් පොලිසියට අනාවරණය කරගත හැකිවිය.
ටිෆ්නි සුවර්ස් මරා දැමීම සම්බන්ධයෙන් ඉහ්මන් වහාම අත්අඩංගුවට ගැනීමේ අධිකරණ නියෝගය සහිතව ඔහු සොයා ගිය පොලිස් නිලධාරින්ට ඔහුගේ දෙමාපියෝ වාසය කළ ඩැන්ඩ්‍රිජ් ප්‍රදේශයේ අඳුරු ස්ථානයක දී ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවිය. අත්අඩංගුවට පත් වන මොහොතේදීත් ඔහු උසාවි නියෝගය පිළිබඳ කිසිවක් දැන නොසිටි බව පොලිසියට තේරුම් ගියේය.
ශරීරය පුරා මිනී ඔළු, හා වෙනත් විකාර රූප කොටාගෙන තිබු ජෙරි බක් ඉහ්මන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබු අතර ඔහු එකවරම ටිෆ්නි සුවර්ස් ශිෂ්‍යාව දුෂණය කොට ගෙල සිරකොට මරා දැමු බව පිළිගත්තේය. තමා මානසික ව්‍යාධියකින් පෙළෙන ලිංගික අපරාධකරුවකු බව ද ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශ කළේය.
රූමත් කාන්තාවන් දුටුවිට ඔවුන් පසුපස ගොස් තොරතුරු සොයාගෙන සැක නොසිතන වෙලාවක ඇය දුෂණය කොට මරා දමන බව අධිකරණයට පැවසු ජෙරි බක් විශ්වවිද්‍යාල සිසුවියක්වූ ටිෆ්නි ඝාතනය කළ ආකාරය ද කියා සිටියේය. ටිෆ්නි නින්ද යනතෙක් බලාසිට ඉන් පසුව ඇයගේ කාමරයට ඇතුළු වූ ආකාරය ද ඔහු විස්තරාත්මක ලෙස පැවසිය.
ලිංගික අපරාධකරුවකු විසින් තමා කළ අපරාධය සවිස්තරව විස්තර කරමින් වරද පිළිගැනීම සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය බවඇමෙරිකානු මාධ්‍ය බොහොමයක් පවසා සිටියහ.
“මා කළ සෑම අපරාධයකටම හේතුවක් දැක්වීම අවශ්‍ය වෙන්නේ නෑ. මා කළ අපරාධය නිසා වේදනාව ඇති වූ අයට සහනයක් මෙමඟින් ඇති වේ යැයි මා සිතන්නේ නෑ. ඒත් ටිෆ්නි ගේ පවුලේ උදවියට මම කියන්න දන්නේ “සමාවෙන්න” කියා පමණයි” යැයි ඔහු අධිකරණයේදී ප්‍රකාශ කිරීම ඓතිහාසික සිද්ධියක් ලෙසට ද මාධ්‍ය වාර්තා කර තිබිණ.
තම සේවාදායකයා මානසික ව්‍යාධියකින් පෙළෙන නිසා ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලබාදෙන ලෙස ඉහ්මන් ගේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් එම අවස්ථාවේදී ඊට හරස් කැපු ඉහ්මන් තමාට මරණ දඬුවම ලබාදෙන ලෙස අධිකරණයට දන්වා සිටියේය.
මෙහි දි සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ඉහ්මන් එහිදී ප්‍රකාශ කළේ මෙවැන්නකි.
“සිර ගෙදර තුළදීත් ඉන් පිටතදීත් මගේ හැසිරීම ගැන සලකා බලන විට මා පුනරුත්ථාපන කළ හැකි පුද්ගලයකු නොවන බව පැහැදිලියි. මම ඔබතුමාට අපහාසයක් හෝ අගෞරවයක් කරනවා නොවෙයි. ඒත් ස්වාමිනි යාථාර්ථය වන්නේ මට දීමට ඇත්තේ එකම දඬුවම මරණයයි. මම ඔබතුමාගෙන් ගෞරවරයෙන් ඉල්ලා සිටින්නේ ඒ දඬුවම ලබාදෙන ලෙසයි.“
ඔහු විනිසුරු අමතමින් කියන්නට විය. මේ අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජිම් බැනිස්ටර් තම සේවාදායකයා විසින් සිදුකර ඇති අපරාධ නිසා ඔහු තමාටම වරද පටවා ගන්නා මානසික තත්ත්වයකින් පසුවෙනවා. ඔහු සිරගෙදර සිටි කාලය තුළ දී කිහිපවතාවක්ම සියදිවි හානිකර ගැනීමට තැත්කර තිබෙනවා. එසේම ලිංගික අපරාධකරුවන්ට සිරගෙදර අනෙකුත් සිරකරුවන් දරුණු ලෙස සැලකීම නිසා එවැන්නක් සිදුවී තිබෙනවා. ඒ නිසා ඔහුට සිරදඬුවමක් දීමට තමා එරෙහිවන බව ඔහු උසාවියට පැවසීම තවත් විශේෂ සිද්ධියක් විය.
මේ අතර අධිකරණය ඉදිරියේ සාක්ෂි දුන් සමාජසේවා නිලධාරියකු පවසා සිටියේ ඉහ්මන් වයස අවුරුදු 3 දී පමණ වයසේ පසුවන විට ඔහුගේ පියා විසින් ඔහුට අතවර සිදුකරලීම නිසා ඔහු මානසික ව්‍යාධි තත්ත්වයකින් පෙළෙන බවය. එහෙත් ඉහ්මන් ගේ මවගේ දෙවැනි සැමියා සාක්ෂි දෙමින් තමාත් බිරිඳත් ඉහ්මන්ට ඉතාම ආදරයෙන් සෙනෙහසින් සැලකු බව කීවේය.
මෙම සියළුම කරුණු සලකා බැලු එඩ්වඩ් මිලර් නමැති විනිසුරු විසින් මෙම අපරාධය “ඉතාම වනචාරි ප්‍රචණ්ඩ ඉතාම අයුක්ති සහගත” එකක් ලෙස සලකා ඉහ්මන්ට මරණීය දණ්ඩනය නියම විය.
ඒ අනුව දකුණු කැරොලිනාවේ නීතියට අනුව විෂ සහිත එන්තකින් හෝ විදුලි පුටුව මගින් ඔහු මරා දමන්නට නියම කෙරිණ.
කෙසේ වෙතත් ටිෆ්නිගේ මෑණියන් වන බ්‍රෙන් සුවර්ස් ද පවසා සිටියේ ලිංගික අපරාධකරුවකු ලෙස සහතික කොට තිබු කෙනෙකුට නිදැල්ලේ හැසීරීමට ඉඩ සලසා තිබිම ගැන තමා බලධාරීන්ට දැඩි ලෙස දොස් පවරන බවයි.
කෙසේ වෙතත් අපරාධකරුවකු විසින් තමාට මරණ දඬුවම නියම කරන ලෙස ඉල්ලා සිටිම අපරාධ ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් ලෙස මෙම නඩුව පෙන්වා දිය හැකිය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!