Gossip

කටකතා ගැන හිතලා නාස්ති කරන්න කාලයක් මට නෑ – චූලක්ෂි

සුන්දර රුවකින් විලාසිකා ලෝකයේ ඔටුනු කිහිපයක්ම දැරූ ඈ මේ වනවිට දේදුන්නයි ආකාසේ චිත්‍රපටියේ ප්‍රධාන නිළියක ලෙස ප්‍රේක්ෂකයන්ගේ ආදරයද දිනාගෙන සිටියි. සිය පළමු චිත්‍රපටියෙන් ජනතාව අතරට ගිය තමන්ට ලැබෙන ප්‍රතිචාර ගැන මෙන්ම සිය රංගන දිවිය ගැනද තොරතුරු කියන්නට චුලක්ෂි මෙලෙස සංවාදයට එක් වූවාය.

දේදුනු ආකාසේ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ඔබට මේ දිනවල ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

“දේදුනු ආකාසේ” කියන්නේ මගේ පළමුවෙනි චිත්‍රපටය. ගොඩාක් හොඳ ප්‍රතිචාර ඒ වෙනුවෙන් මට ලැබෙනවා. රංගනයේදී තවත් හදාගන්න ඕනෑ තැනුත් සමහරු පෙන්වලා දෙනවා. මගේ කුළුදුල් චිත්‍රපටිය නිසා මට ඒක ටිකක් අභියෝගාත්මක වුණා. හැබැයි හේමාල් ඇතුළු කණ්ඩායමෙන් ලොකු සහයෝගයක් ලැබුණු නිසා එහි රඟපෑම විශාල අපහසුතාවයක් වූයේ නැහැ.

එහිදී ඔබ නිරූපණය කරන චරිතය ගැන කතා කළොත්?

එහි මම රඟපාන්නේ විහඟි කියන චරිතය. ආදරය ජීවිතය කරගත් යුවතියක් තමයි විහඟි කියන්නේ. චිත්‍රපටය නරඹපු අයට දැන් විහඟිව හොඳට හුරුපුරුදු ඇති.

අද වනවිට ඔබේ වෘත්තිය රංගනයද? මෝස්තර නිරූපණයද?

රංගනය සහ නිරූපණය කියන දෙකම දැන් මම කරනවා. මගේ වෘත්තිය රංගනය හෝ නිරූපණය කියලා එකකට විතරක් මම සීමා හදාගෙන නැහැ.

අද බොහෝ නිරූපිකාවන් රංගන ශිල්පීන් බවට පත් වෙනවා. නමුත් ඒ අතරින් බොහෝ දෙනා කලා ක්ෂේත්‍රයේ රැඳෙන්නේ ටික කාලයයි නේද?

ඒක තීරණය වෙන්නේ තමන් ගන්නා තීරණ අනුවයි. නිරූපිකාවට රංගනයට එන්න පුළුවන්. ඒ වගේම ටික කාලෙකින් මට ඇති කියලා ඉවත් වෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ තමන්ට තිබෙන ආශාව වගේම කැපවීම මතයි කියලයි මට හිතෙන්නේ.

සිනමාවට පාතැබුවා වගේ පුංචි තිරයේ රංගනයට එකතු වෙන්නත් කැමැත්තක් නැද්ද?

ටෙලි නාට්‍යවල රඟපාන්න නම් මගේ වැඩි කැමැත්තක් නැහැ. මම චිත්‍රපට නිළියක් විදිහට ක්ෂේත්‍රයේ රැඳෙන්න කැමැති. ඒත් එක දිගටම ‍නෙවෙයි. මට ගැළපෙන දේ විතරක් තෝරාගෙන ඉදිරියට යන්නයි හිතාගෙන ඉන්නේ.

නිළියක් වුණාම විවිධ කටකතාවලටත් මුහුණ දෙන්න වෙනවා නේද?

ගොසිප් ඉතිං ප්‍රසිද්ධ වෙන්නත් හැදෙනවානේ. මම නම් හිතන්නේ ගොසිප් කියන්නේ කාලය නාස්ති කිරීමක්. මට නම් ඒවා ගැන හිතලා නාස්ති කරන්න තරම් කාලයක් නැහැ.

චුලක්ෂිගේ ඉදිරි වැඩ කටයුතු ගැනත් මතක් කරමුද?

දැනට වැඩ ඉවර කරපු නව චිත්‍රපටයක් තිරගත වීමට නියමිතව තිබෙනවා. ඒ වගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් බලා‍පොරොත්තුවක් මගේ හිතේ තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!