Gossip

මගෙ හැඟීම්වලට ආවෙ ඒ මොහොතෙදී මගෙ අම්මයි තාත්තයි හිටියානම් කොයිතරම් සතුටුවෙයිද කියන දේ විතරයි – චිත්‍රාල් සෝමපාල

පසුගියදා පැවති දෙරණ සිනමා සම්මාන උළෙලේ හොඳම ගායකයාට හිමි සම්මානය දිනාගැනීමට වරම් ලැබුණේ ගායන ශිල්පී චිත්‍රාල් සෝමපාටයි. ඒ ඇගේ ඇස අග චිත්‍රපටය වෙනුවෙනුයි. මේ ගැන වගේම ඉදිරි කටයුතු ගැනත් චිත්‍රාල් පුවත්පතක් සමග කියලා තිබුණේ මේ විදියට.

පී.එල්.ඒ සෝමපාල සහ චිත්‍රා සෝමපාල යුවලගේ පුතණුවන් වන ඔහු සමඟ කළ කතාබහයි මේ.

ඔබ පසුගියදා හොඳම ගායකයාට හිමි සම්මානය ලබාගත්තා ඒ මොහොතෙ මොනවගේ හැඟීමක් ද ඇතිවුණේ?
ලොකු ආඩම්බරයක් ඇතිවුණා. ඇත්තටම මගෙ හැඟීම්වලට ආවෙ ඒ මොහොතෙදී මගෙ අම්මයි තාත්තයි හිටියානම් කොයිතරම් සතුටුවෙයිද කියන දේ විතරයි.

ඔබේ දෙමව්පියන් සංගීත ක්ෂේත්‍රයේම රටට සුන්දර දේවල් කරපු දෙපළක්?
ඔව් අනිවාර්යයෙන්ම මේ සුන්දර රටට දෙයක් කරපු සුන්දර මනුස්සයෝ දෙන්නෙක්. ඒ ගොල්ලො සින්දු හැදුවේ සංගීතය කළේ රැකියාවක් විදියට නෙමෙයි. සංගීතයට ගොඩක් ආදරය කරන නිසා. ඒ නිසාම තමයි ලංකාවෙ ලස්සන සුන්දර ස්ථාන ගීතවලින් ඉදිරිපත් කළේ. මගෙ තාත්තා චිත්‍රපට 50කට අධික සංඛ්‍යාවකට වගේ සංගීතය සපයලා තියෙනවා.

ඒ නිර්මාණ ගැනත් කතා කරමු?
දඹුළුගල, නුවර වැව, සීගිරිය, ගාලූ පුරවරය වගේ ඓතිහාසික වටිනාකම් ගැන තමයි නිර්මාණ බිහිවුණේ

ඔබ සංගීතයට ඇල්මක් දැක්වූවෙත් දෙමව්පියෝ නිසාද?
මම සංගීතඥයෙක් වෙන්න නම් කවදාවත් හිතුවෙ නෑ. ඒත් ගොඩක් දෙනෙක් දැනගෙන හිටියා මට ඒ අංශයෙන් දක්ෂතා තියෙනවා කියලා. ඒ නිසා ගොඩක් දෙනා කිව්වෙ දක්ෂතාවයත් තියෙන නිසා දෙමව්පියන්ගෙ නම රැකගන්නත් එක්ක දිගටම ඒ පැත්තෙන් ඉදිරියට යන්න කියලා. ඒවත් එක්කම තමයි මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. ක්ෂේත්‍රයට සම්බන්ධ වෙද්දි මට අවුරුදු දොලහක් වගේ ඇති

ඔබ වැඩිපුර ජීවිතේ ගෙවුවෙ එතෙර? එහි ගෙවුණු සංගීත ජීවිතේ කොහොමද?
මම අවුරුදු 33 ක් දැන් ලංකාවෙන් පිට ඉන්නෙ. එහි ජාත්‍යන්තරේ ගොඩක් ප්‍රසිද්ධ සංගීතඥයන් සමඟ මම රොක් සංගීතය කියන කලාව පිළිබඳ ඉගෙනගෙන තියෙනවා. අද වනතුරුත් ඒ පිළිබඳ වැඩ කරනවා.

ඔබේ ඒ වෙනස්ම ගීතකලාව පිළිබඳ කතා කරමුද?
ඒක මම කව්රුත් ආදර්ශයට ගත්තෙ නෑ. මොකද මම හැම තිස්සෙම හිතුවෙ මගෙම ශෛලියක් හදාගැනීම තමයි.

ඇයි වෙනස්ම ගීත කලාවකට යන්න හිතුණෙ?
ලංකාවෙ වෙලා තියෙන්නෙ එකපාරට රැල්ලක් එනවා. එතැනින් පස්සෙ ඔක්කොම සංගීතඥයො ඒ රැල්ල පස්සෙ දුවන්නෙ. හොඳම උදාහරණය තමයි 1990 ගණන්වල ආපු සංගීත සංදර්ශන රැල්ල, ඒ පසුපස බොහෝ දෙනෙක් දිව්වා. ඒත් මම දිව්වේ නෑ. මමත් ඒ පැත්තෙ දිව්වනම් අද මට මගේම ගීත කලාවකට යන්න වෙන්නෙ නෑ.

පසුගියදා ලැබුණු සම්මානය ගැනත් මතක් කරමු?
හොඳම ගායකයාට හිමි සම්මානය ලැබුණෙ ඇගේ ඇස අඟ චිත්‍රපට පසුබිම් ගායනයට ගීතය ලිව්වෙ අශෝක හඳගම එහි සංගීත අධ්‍යක්ෂණයත් මගෙම තමයි.

මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ කොහොමද?
මම 2013 වසරෙ වගේ ලංකාවට ආපු වෙලාවෙ තමයි මට මේ වෙනුවෙන් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ. මම දැනට චිත්‍රපට 4 කට පමණ සංගීතය සපයලා තියෙනවා.

මේ වගේ ආදරයක් හි ඔබ ගායනා කළ ගීතයටත් හොඳ ප්‍රතිචාර තිබුණා නේද?
ඔව්, චන්ද්‍ර රත්නම්ගෙ මේ වගේ ආදරයක් චිත්‍රපටයේ ගීතයට හොඳම ප්‍රතිචාර තිබුණා. ඒ ගීතය හැම විවාහ උත්සවයකම ප්ලේ කරන ගීතයක්. ගොඩක්ම ප්‍රසිද්ධ වුණා. ඒ ගීතයගැන ගොඩක් දෙනා කතා කරනවා. ඉතින් හරි සතුටුයි. ඔවුන්ගෙ ඒ ප්‍රතිචාර වලින් අපි තව තවත් ශක්තිමත් වෙනවා.

ඔවුන්ගේ ඒ ආදරේ ගැනත් කතා කරමු?
මම කොහොමත් පොළොවෙ පයගහලා ජීවත් වෙන මනුස්සයෙක්. ඒ නිසාම කොහෙ ගියත් ඕන කෙනෙක් මගෙත් එක්ක හොඳට කතාබහ කරනවා. හරි ගරුත්වයක් තියෙනවා. ඉදිරියටත් ඔවුන් වෙනුවෙන් හොඳ නිර්මාණ එළිදක්වන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. ඒවා හොඳ වැදගත් ගුණාත්මක ගීත වෙන්න ඕනෑනෙ. ඒ නිසා ටික ටික හොඳ නිර්මාණ කරගෙන ඉදිරියට එනවා. එතකම් මගෙත් එක්ක හැමදාම රැදිලා ඉන්න කියලා කියනවා මගෙ ආදරණීය රසිකයන්ට.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!