Gossip

මම ඉස්සර කුඩු ගැහුවා – හැම මත්ද්‍රව්‍යයක්ම වගේ භාවිතා කළා – චාමර රණවක

මාධ්‍ය වල වැඩිය කතා බහට ලක් නොවන ගායකයෙකු වුවත් චාමර රණවක කියන්නේ ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයෙක්. මේ චාමර රණවක සමග සති අන්ත පුවත්පතක් කළ සංවාදයක්.

ප්‍රසංග වේදිකාවේදී ගායකයෙක් විදිහට චාමර අනුගමනය කරන්නේ වෙනස්ම ශෛලියක් කියලා කීවොත් නිවැරදිද?
මම වෙනස්ද නැද්ද කියන්න මම දන්නේ නැහැ. හැබැයි ප්‍රසංගය නරඹන අයට සතුටක් ලැබෙන විදිහටයි මම මගේ ඉදිරිපත් කිරීම කරන්නේ. මොකද ගායකයෙක් ප්‍රසංග වේදිකාවේ නිකම්ම හිටගෙන ගීත ගායනා කරලා වැඩක් නැහැනේ.

එකිනෙකට වෙනස් විදිහේ ගීත ගයන ගායකයෙක් විදිහටත් ඔබ ප්‍රසිද්ධයි?
ඔව්. මම රොක්, රෙගේ මේ ආදී හැම ශෙලියකම ගීත ගායනා කරනවා. එතැනදී මම ගීත ගායනයට විතරක් සීමා වෙන්නෙ නැහැ.

ඔබ මව්ගුණ ගැන කියැවෙන කවි පවා ගායනා කරනවා. ඇයි ප්‍රසංග වේදිකාවේදී එවැනි දෙයක් කරන්න හිතුවේ?
ඒවා මානකඳුරේ ප්‍රඥාසාර හාමුදුරුවන්ගේ කවි. ඒ ස්වාමින් වහන්සේම තමයි ‘චාමර මහත්තයා මේ කවි ලස්සනට කියනවා’ කියලා මට දිගටම ඒවා ගායනා කරන්න කිව්වේ.

ප්‍රසංග වේදිකාවේදී ගයන සියලු ගීත ඔබේම ඒවාද?
අ‍පොයි ඔව්. මම වෙනත් ගායකයන්ගේ ගීත ගයන්නේ නැහැ. ඉංග්‍රීසි ගීත හැරුණාම අනිත් සියලු ඒවා මගේම ගීත ඒවා ලියලා සංගීතවත් කරන්නේ මමම තමයි.

ඇයි වෙනත් අය රචනා කරන සහ සංගීතවත් කරන ගීත ගායනා නොකරන්නේ?
කිහිප දෙනෙක් දායක වුණාම ඒ ගීතයට වෙන්නේ ආඩි හත්දෙනාගේ කැඳ හැලියට වෙච්ච දේ තමයි.

ඔබේම අත්දැකීම් අනුවද ඔබේ ගීත රචනා වෙන්නෙ?
ඔව්. ඒවා මගේම අත්දැකීම්.

මේ සියල්ල තනිවම කරන්න තරම් ඔබට හොඳ සංගීත දැනුමක් ඇති?
ඒ හැමදේම මම තනිවම ඉගෙනගත් දේවල් තමයි. මට සංගීත ගුරුවරයෙක් නැහැ. ලොකු අධ්‍යාපන පසුබිමකුත් නැහැ. මගේ අම්මා තාත්තාට සින්දු කියන්නත් බැහැ. අද මම මේ ඇවිල්ලා තියෙන ගමන ගැන මටම පුදුමයි.

කොහොමද ඔය ගමන ආරම්භ වුණේ?
1989 අවුරුද්දේ මුලින්ම ගමේ ප්‍රසංගයකදී සින්දු කිව්වා. පස්සේ මාරිම්බා සංගීත කණ්ඩායමේ අවුරුදු 10ක් විතර හිටියා. දැන් තනිවම ගමනක් යනවා.

ප්‍රසංග කීයකට විතර දවසකට සහභාගි වෙනවාද?
ආරාධනා කොච්චර ලැබුණත් එක දවසකට එක ප්‍රසංගයයි බාරගන්නේ. ඒ බාරගන්නා ප්‍රසංගයේදී මම මහන්සිවෙලා මගේ වැඩේ කරනවා.

ඒ නිසාද වැඩි මුදලක් ප්‍රසංගයක් සඳහා අය කරන්නේ?
එළිමහන් ප්‍රසංග වේදිකාවේ වැඩිම මුදලක් අයකරන ගායකයා මමයි කියලා සමහරු කියනවා මටත් ආරංචි වෙලා තියෙනවා මම මගේ උපරිමයෙන් රාජකාරිය කරන නිසා මගේ අය කිරීම සාධාරණයි කියලා මට හිතෙන්නේ.

චාමර සමහර වෙලාවට වේදිකාවේදී කමිසය පවා ගලවා දමලා පිස්සු නටනවා කියල සමහරු කියනවා?
දාඩිය දාන වෙලාවට එහෙට මෙහෙට දුවලා පැනලා කමිසය ගලවලා දාන අවස්ථා තියෙනවා තමයි. නරඹන අය සතුටු කරන්නයි මේ හැම දෙයක්ම මම කරන්නේ. අනික මම වේදිකාවේ කුණු හරුප කියන්නේවත්, වෙනත් වැරදි වැඩක් කරන්නේවත් නැහැනේ. ඉතින් කමිසය ටිකක් ගැලෙව්වා කියලා මොකද වෙන්නෙ?

එළිමහන් ප්‍රසංග වේදිකාව සහ මත්ද්‍රව්‍ය අතරත් ලොකු සම්බන්ධයක් ගොඩනැගිලා තියෙනවා නේද?
මාත් මත්පැන් බොනවා. හැබැයි හැමතිස්සේම ‍නෙවෙයි. ‘චාමර ටිකක් ගනිමු’ කියලා යාළුවෝ කිව්වාම නොබි බැහැනේ. නමුත් ඉස්සර කරපු දේවල් නම් දැන් මම කරන්නේ නැහැ.

චාමර ඉස්සර වෙනස් චරිතයක්ද?
මමත් ඉස්සර කුඩු ගැහුවා හැම මත්ද්‍රව්‍යයක්ම වගේ භාවිතා කළා. ඒ දේවල් දිගටම කරගන ආවා නම් මම අද ජීවතුන් අතරත් නැහැ. හොඳ සමාජ ආශ්‍රයක් නැතුව මම අයා‍ලේ ගිහිල්ලයි හිටියේ. හැබැයි වයසින් වැඩෙද්දී ඒ නරක පුරුදු අත්හැරියා.

ඔබ වටේ සිටින රසික පිරිස ගැනත් ඔබට විශේෂ දෙයක් කියන්න තියෙනවා නේද?
ඔව්. අනිත් ගායකයන්ට ආකර්ෂණය වෙන්නේ ගැහැනු ළමයිනේ. නමුත් මගේ වටේ කොල්ලෝ තමයි එක් රොක් වෙන්නේ. ඒ ආදරය නිසා තමයි මම අද මෙතැන ඉන්නේ.

ඔබ මේ වන විට විවාහකයි?
ඔව්. දරුවෝ නැතුව අවුරුදු 15ක් තිස්සේ දුක් වින්දා. දැන් මට මාස හයක පුංචි පුතෙක් ඉන්නවා.

එළිමහන් ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය චරිතයක් වෙන්න ලැබිම ගැන ආඩම්බරයක්ද තියෙන්නේ?
මට හිතෙන්නේ නැහැ මම ජනප්‍රියයි කියලා. ජනප්‍රියයි කියන එක ඔළුවට ගත්තොත් කරදරයි. අදටත් මම සරම ඇඳගෙන ඉස්සර ගමේ හිටපු කොල්ලාම තමයි.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!