Gossip

කෝටි දෙකකට අලෙවි වූ මාළුවාගේ කතාවත් ගොතපු බොරුවක් වෙයි

මීගම‍ුවෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවකට හසුවූ විශාල දුර්ලභ මාළුවකු රුපියල් කෝටි දෙකකට අලෙවි වූ පුවතක් පසුගිය දිනවල රට පුරා පතළ විය. මීගමුව පිටිපන ලෙල්ලමෙන් පසුගිය ඔක්තෝබර් 13 වැනිදා දියඹට ගිය සංජනා පුතා 06 ධීවර යාත්‍රාවට හමුවූ මේ අසාමාන්‍ය ටූනා මාළුවා රුපියල් කෝටි දෙකකට දියඹේදීම ගැනුම්කරුවකුට විකුණු බව ද වාර්තා විය. ඒ කුතුහලය ඔස්සේ පුවත පිළිබඳ සොයා බැලූ අපට දැන ගැනීමට ලැබුණේ එවන් අති විශාල මුදලකට එවන් මාළුවකු අලෙවි නොවූ බවය.

මේ ගැන අපට තොරතුරු අනාවරණය කළේ මීගමුව පිටිපන ධීවර වරායේ අධීක්ෂණ නිලධාරී නවරත්න මහතාය. එවැනි අතිවිශාල මුදලකට එවන් මාළුවකු අලෙවි නොවූ නමුත් විශාල ටූනා මාළුවකු හසුවූ පුවත සැබෑවක් බව නවරත්න මහතා පැවසීය.

මාරවිල තල්විල ප්‍රභාත් සංජීව මහතාට අයත් සංජනා 6 නමැති ධීවර යාත්‍රාව දියඹට ගොස් දින දහයකට පසුව සී සෙල්ස් අවට ජාත්‍යන්තර මුහුදේදී කිලෝ 120ක් පමණ බරැති මේ අසාමාන්‍ය දැවැන්ත ටූනා මත්ස්‍යයා හසු වී තිබේ. දිගින් අඩි 10ක් පමණ වන මාළුවාගේ අපූරු ලක්ෂණ කිහිපයක් ධීවර පිරිසට දක්නට ලැබී ඇත. ඉන්දීය සාගර‍ කලාපයේ බහුලව හසුවන ‘යෙලෝ ෆින් ටූනා’ මත්ස්‍යයාට සාපේක්ෂව වෙනස් පෙනුමක් සහිත මේ මාළුවාගේ මතුපිට දිගට පිහිටි අසාමාන්‍ය නිල් පැහැති වර්ණ රේඛාව සහ දෙනෙත් තරමක් විශාලව ඉදිරියට නෙරා තිබීම මත්ස්‍යයා දුටු සියලු දෙනාගේ කුතුහලයට හේතු විය.

වැඩි‍ වේලාවක් යෑමට පෙර මාළුවා ගැන තොරතුරු මුහුදේ වූ අනෙකුත් ධීවර බෝට්ටුවලට ද දැනගන්නට ලැබිණි. පසුව එම විශේෂ මාළුවා ගැන තොරතුරු ගොඩබිමටද සැල කිරීමට සංජනා 6 බෝට්ටුවේ ධීවර පිරිස කටයුතු කළහ. මාළුවාගේ නිල් ඉර නිසා අධික වටිනාකමින් යුත් නිල් ඉර සහිත දුර්ලභ මාළුවකු ලෙස සැලකෙන ‘බ්ලු ෆින් ටූනා’ මාළුවකු ලෙස කවුරුත් විශ්වාස කරන්නට වීම නිසා මෙය විශේෂ සිද්ධියක් විය.

සාමාන්‍යයෙන් ඉන්දියන් සාගරයෙහි සිටිනුයේ ‘යෙලෝ ෆින් ටූනා’ මාළුන්ය. එහෙත් අධික වටිනාකමකින් යුත් දුර්ලභ බ්ලු ෆින් ටූනා මත්ස්‍යයා සිටිනුයේ නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාවට ආසන්න සාගර කලාපයේය. එසේම ‘බ්ලු ෆින් ටූනා’ යනු ජපාන වැසියන් අතර ඉහළ ඉල්ලුමක් තිබෙන අධික වෙළෙඳපොළ මිලක් සහිත මත්ස්‍යයෙකි. විශේෂයෙන් ජපනුන් දෙසැම්බර් 31 ජනවාරි 2 වැනි දා දක්වා වන නව වසර සැමරීමේ උත්සවවලදී පරිභෝජනයට ගන්නා ප්‍රියතම මාළුවෙකි.

මේ බ්ලූ ෆින් ටූනා යැයි අනුමාන කළ මත්ස්‍යයා රැගත් සංජනා ධීවර බෝට්ටුව පසුගිය 21 වැනිදා පිටිපන ධීවර වරායට පැමිණීමෙන් පසුව මත්ස්‍යයා මිලදී ගැනීමට ජපානයට මත්ස්‍ය අපනයනය කරන්නෙකු වන ෙමාෙසා් නමැත්තාද පැමිණ ඇත. මත්ස්‍යයා බ්ලූ ෆින් ටූනා මත්ස්‍යයකු නොව ඉන්දීය සාගර කලාපයේ සැරිසරන ඇස්ගෙඩි ටූනා මත්ස්‍යයකු බව අනාවරණය වූයේ ඒ මොහොතේදීය.

මත්ස්‍යයා ගැන තොරතුරු නාරා ආයතනයට දැනගන්නට ලැබීමෙන් පසු මත්ස්‍යයා ගැන නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා මත්ස්‍ය කොටස් පරික්ෂා කිරීමට කටයුතු යොදා ඇත්තේය.

නාරා ආයතනයේ සමුද්‍රජීව විද්‍යා අංශ ප්‍රධානී ආචාර්ය සිසිර හපුතන්ත්‍රි මහතා මේ ගැන අපට කරුණු පැහැදිලි කළේය.

“අපි ඒ මත්ස්‍යයා ගැන මතුපිටින් පරීක්ෂණ කීපයක් කළා. අපට නිශ්චිතව කියන්න බැහැ මේ මත්ස්‍යයා බ්ලූ ෆින් ටූනා කියලා. අපි කළ පරීක්ෂණවලින් හෙළි වුණේනම් ඌ ඇස් ගෙඩි කෙළවල්ලා කියන මෙරට අවට සාගර කලාපයේ වෙසෙන විශාල මාළුවා බව. ඒත් අපි දැන් ජාන පරීක්ෂණයක් සඳහා මේ මත්ස්‍යයාගේ කොටස් යොමු කරලා තියෙන්නෙ. එයින් හරියටම කියන්න පුළුවන් මේ මත්ස්‍යයා කුමන ගණයට අයත්දැයි කියා. එහි වාර්තාව ඒමට තවත් දින කීපයක් කාලයක් ගතවෙයි” මත්ස්‍යයකු ‍මැවූ ආන්දෝලනය එසේය.

මාළුවා බ්ලූ ෆින් වර්ගයේ එකකු වූයේ නම් සැබැවින්ම ඌ කෝටි ගණනක් වටින්නේය. මේ මාළුවා කිලෝව රුපියල් 1100 කට මිලට ගෙන සමාගමක් මගින් කිලෝව රුපියල් 2500 බැගින් ජපානයට විකුණූ බව හෙළි විය. ඒ මෙවන් විශාල මාළුන් මෙරට අලෙවි නොකර විදේශවලට අපනයනය කරන බැවිනි. රටම කතා කළ පුවතක ඇත්ත කතාව එසේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!