Gossip

“මළ කෙළියයිනේ උදය, මගේ බෑග් එක නැතිවෙලානේ” බන්දුලට සහ ගම්මන්පිලට වුණු අකරතැබ්බය

coverමෙවර කැබිනට් රැස්වීමට සැත්කමින් පසුව පළමුවරට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ද සහභාගී වූ අතර සියලුම ඇමතිවරු ඔහුට සුබ පැතුවා. කැබිනට් රැස්වීමේ ප්‍රධානම මාතෘකාව වුණේ ජනමාධ්‍යයේ හැසිරීම පිළිබඳවයි.

ජනාධිපතිවරයා පුවත්පතක් අතට ගෙන ලයිට් කැපීම වාර්තා කර තිබූ ආකාරය විවේචනය කරද්දී අගමැතිවරයාත් ඒ කතාබහට එකතුවුණා.

”මෙතන වරද තියෙන්නේ ප්‍රවෘත්ති කර්තෘවරුන්ගේ නෙමෙයි. මේකට වගකියන්න ඕන මාර්කටින් කරන අයයි. ආණ්ඩුවේ වැරැද්දක් හොයලා පත්තර විකුණගන්න හදනවා.

මේ ගැන හොයන්න කියලා මම ගයන්ත ඇමතිතුමාට උපදෙස් දීලා තියෙනවා. වැරදි වාර්තා ගැන දැන් වාර්තාවක් හදාගෙන යනවා.

අගමැතිගේ කතාවෙන් පසුව සෙසු ඇමතිවරු මාධ්‍ය විවේචනය කරන්න ගත්තා.

“මේ විදිහට මාධ්‍යට හැසිරෙන්න දෙන්න බෑ, මොකක් හරි පියවරක් ගන්න ඕන”

ඇමතිවරු බොහෝ දෙනෙකුගේ මුවින් මේ අදහස කියවුණත් කැබිනට් රැස්වීමේදී ඒ ගැන අවසන් එකඟතාවකට පැමිණියේ නැහැ.

කැබිනට් රැස්වීමේදී බොහෝ දෙනෙකුට සිනහ ගියේ පරිසර අමාත්‍යාංශය ගැන සිදුවූ කතාබහක් හේතුවෙන්.

“හම්බන්තොට පරිසර ගැටලුවක් කියලා අලි, හරක්, රිලව් ඔක්කොම පසුගිය කාලයේ පොළොන්නරුවට එලෙව්වා. දැන් පොළොන්නරුවේ මිනිස්සුන්ට හරිම කරදරයක් වෙලා.

ජනාධිපතිවරයා ගැටලුව පැහැදිලි කරද්දී ඇමතිවරු කිහිපදෙනෙක් පැනලා උත්තර දුන්නා.

”ඕකට කරන්න තියෙන්නේ පොළොන්නරුවේ අලි, හරක්, රිලව් සේරම දැන් හම්බන්තොටට එළවන එකනේ”

ඇමතිවරුන්ගේ යෝජනාවට ජනාධිපතිවරයාටත් හිනාගියා.

පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂයට සිදුවන අසාධාරණකම් පිළිබඳව අන්තර් පාර්ලිමේන්තු සංගමය දැනුවත් කිරීම සඳහා ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල යන මන්ත්‍රිවරුන් ජිනීවා බලා පසුගියදා පිටත්ව ගියා.

ගුවන්සේවා තුනකට අයත් ගුවන්යානා තුනකින් ගිය මේ තිදෙනාගෙන් මුලින්ම ජිනීවා ගුවන්තොටුපලට උදය ගම්මන්පිල ගියා.

උදයගේ ගමන්මල්ල ගුවන්යානයට ඇතුළු කිරීමට ගුවන් සේවා කාර්ය මණ්ඩල අසමත් වීම නිසා ඔහු ඒ ගැන ගුවන්තොටුපල නිලධාරීන් දැනුවත් කළා.

ඩලස් අලහප්පෙරුම පැමිණීමෙන් පසුව බන්දුල ගුණවර්ධනත් පැමිණි නමුත්, ඔහු කලබල වී ඒ මේ අතට දුවන ආකාරය දැකපු උදය ඔහු ළඟට ගියා.

“මළ කෙළියයිනේ උදය, මගේ බෑග් එක නැතිවෙලානේ”

බන්දුල කියද්දී උදයට හිනාගියා.

“මගේ ඔළුව ගිනි අරන්, ඔයා මෙතන හිනාවෙනවා”

”ඔබතුමාව බෑග් නැතිවූවන්ගේ සංගමයට සාදරයෙන් පිළිගන්නවා.”

ඒ කතාවෙන් පසුව උදයට වී ඇති අකරතැබ්බය බන්දුලට වැටහී ගියා.

මේස් කුට්ටමේ සිට දත් බුරුසුව දක්වා සියලු දේ අහිමි වූ උදයට සහ බන්දුලට ඒවා මිලදී ගැනීමට සිදුවුණා.

ස්විට්සර්ලන්තයේ ජාතික ඇඳුම් නොමැති වීමෙන් උදයට යුරෝපා ඇඳුම් මිලදී ගැනීමට සිදුවුණා.

“මේක ඔයාට කලිසන් අන්ඳන්න කරපු බටහිර කුමන්ත්‍රණයක්” කියමින් ඩලස් හිනාවෙද්දී බන්දුල යළිත් කලබල වුණා.

“මළ කෙළියයිනේ”

“ඒ පාර මොකද ?”

“අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්ට දෙන්න ගෙනාපු වාර්තාවත් මගේ නැතිවුණ බෑග් එකේ. දැන් මොකක්ද අපි දෙන්නේ? ”

මහාචාර්ය ජී.එල්. පීරිස් සකස් කළ ඒ ලියුමේ පිටපතක් උදයගේ කම්පියුටර් බෑග් එකේ තිබූ නිසා යන්තන් ජිනීවා ගිය අරමුණ ඔවුන් ඉටුකර‍ගත්තා.

තිරය පිටුපස තවත් දේවල් අපි කියන්නම් ලබන සතියේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!