තරු හුට පට

අක්ෂා නිසා මේනකා රහස් පොලීසියට යයි

රුපියල් කෝටි 14කට අධික මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කරන ලදැයි කියන සැකකාර නිළි ආක්ෂා සුධාරි මෙනෙවිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයට අදාළව ජනප‍්‍රිය නිළි මේනකා මධුවන්ති මෙනෙවිය ඇතුළු 05 දෙනකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගත් බව රහස් පොලිසිය කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.

මෙතෙක් කරන ලද විමර්ශනවලට අනුව ගමගේ ආශා කුමාරි නොහොත් ආක්ෂා සුධාරි මෙනෙවිය විසින් පෙම් සබඳතාවක් පවත්වමින් ලිංගික ඇසුරක්ද පැවැත්වූ බව කියන ඉන්දියානු ජාතික ගෝපිරාජ් යන අය රවටා මුදල් ලබාගෙන වංචා කර ඇති බවද රහස් පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ සඳහන් වේ.
රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මෙරිල් රන්ජන් ළමාහේවා මහතා විසින් අදාළ වාර්තාව අතිරේක මහෙස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඉදිරිපත් කර තිබිණි.
ඉන්දියන් ජාතිකයකු වන ගෝපිරාජ් නමැත්තා සමඟ පෙම් සබඳතාවක් පවත්වා විවිධ අවශ්‍යතා සඳහා ඔහුගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කරන ලදැයි කියන චෝදනාවකට අදාළව ඉකුත් 13 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටි ජනප‍්‍රිය ටෙලිනාට්‍ය හා චිත‍්‍රපට නිළි ආක්ෂා සුධාරි නමැති සැකකාරිය රුපියල් ලක්ෂ 300ක ශරීර ඇප සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත මුදා හරින ලෙස අතිරේක මහෙස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියම කර තිබිණි.

සැකකාර නිළි ආක්ෂා සුධාරි මෙනෙවිය, අතිරේක මහෙස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ පසුගියදා (16දා) පෙනී සිටියාය. තමන් වෙත නියම කර තිබූ ඇප තැන්පත් කිරීමට සැකකාර නිළිය එලෙස අධිකරණය හමුවේ පෙනී සිටියාය.

පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ නිලධාරීන් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින්, සැකකාර නිළි ආක්ෂා සුධාරි යන අය විසින් 2015 මැයි 26 වැනි දින නුගේගොඩ, එස්.ද එස්. ජයසිංහ මාවත, අංක 155 දරන ලිපිනයේ ARA CALLACTION  නමින් ඇඟලූම්, අත්බෑග්, පාවහන්, ආදී භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවට අනාවරණය වී ඇතැයි දන්වා සිටියේය.

එමෙන්ම සැකකාරිය විසින් 2014 වර්ෂයේ මුල සිට මේ දක්වා විසල් වර්ගයේ ජීප් රථයක්, දෙහිවල ප‍්‍රදේශයේ මැරයින් සිටි නමැති නිවාස සංකීර්ණයේ නිවෙසක් මිලට ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙම විමර්ශනයට අදාළව මත්තේගොඩ, ජාතික නිවාස සංකීර්ණය, අංක බී. 5/7 ලිපිනයේ පදිංචි ජී.එච්.ටී. මේනකා මධුවන්ති නමැත්තියගෙන් ප‍්‍රකාශයක් සටහන් කළ බවට වාර්තාවෙයි.

තමා ආක්ෂා සුධාරි නොහොත් ආශා කුමාරි යන අයගේ මිතුරියක් බවත් ඇය සමඟ තමා තායිලන්තයේ බැංකොක් නුවරට ගිය බවත් තම ව්‍යාපාරවලට අවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමට එලෙස ගිය බවත් මේනකා මධුවන්ති රහස් පොලිසිය හමුවේ පවසා තිබේ.

මෙම සිද්ධියට අදාළ නඩුව ලබන 30 වැනිදා යළි කැඳවන ලෙස අතිරේක මහෙස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියම කළේය.

සැකකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මෙරිල් රන්ජන් ළමාහේවා, පොලිස් පරීක්ෂක සුගත් කුමාර යන මහත්වරු පෙනී සිටින ලදී.

 

1 2 3 4 5 6 7 8

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!