“එක් රටක්, එක් නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායට තමා පත්කළ දින සිට ජීවිත තර්ජන එල්ල වන බව එම බළකායේ නියෝජිතයකු වන අබ්දුල් අසීස් මොහොමඩ් නිශාර්දීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.
මෙම තර්ජන හේතුවෙන් කාර්ය සාධක බළකායේ සාමාජිකයින් සමග මෙම සති අන්තයේ නැගෙනහිර පළාතට යෑම තමා ප්රතික්ෂේප කළ බව ඔහු පවසනවා.
මුස්ලිම් සමාජයෙන් තමා තුරන්කරන බව දන්වමින් සමාජ ජාල මගින් තමා කෙරෙහි වෛරය ඇතිකරන අන්දමේ ප්රකාශ දිගින් දිගටම ප්රචාරය වන බවද ඒ මහතා සඳහන් කළා.
සමාජ ජාලවල සිටින අන්තවාදය වපුරන පුද්ගලයන් තමාට දුරකථන ඇමතුම් දී මෙම කාර්ය සාධක බළකායට එක්වීම ගැන කරුණු විමසන්න බවත් ඔහු පැවසුවා.
මේ වනවිට මුස්ලිම් සමාජයේ වෛරයක් ඇතිකරන අයුරින් තමාට එරෙහිව ප්රචාරයක් යවන බවක් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලේ දැක්වෙනවා.
මෙම තත්ත්වය මත තමා මෙන්ම තම පවුලේ අය ද දැඩි පීඩනයකට ලක්ව ඇති බව ඔහු සිය පැමිණිල්ලේ පෙන්වා දී තිබෙනවා.
“එක් රටක් එක් නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් යුතුව ජනාධිපතිවරයා විසින් ගැසට් කරනු ලැබුවේ පසුගිය නොවැම්බර් 06 වනදායි.
(අරුණ පුවත්පත)
