සංවිධානාත්මක අපරාධකරුවන් හෙවත් පාතාල සාමාජිකයන් ඇතුළු මත් ජාවාරම්කරුවන් සොයා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ක්‍රියාත්මක කරන මෙහෙයුම්වලදී දිනෙන් දින අත්අඩංගුවට පත්වන අපරාධකාරයන් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ යමින් තිබේ. ඒ අතරේ මහා පරිමාණ මත් ජාවාරම්කාරයන්ට නොදෙවැනිව මහා පරිමාණ මත් ජාවාරම්කාරියන් බොහෝ දෙනෙක් පසුගිය දින කිහිපයේ අත්අඩංගුවට පත්වූහ.
මෑත ඉතිහාසයේ පාතාලයේ නායිකාවක් ලෙස වැජඹෙමින් මත් ජාවාරම සිදු කළේ කොළඹ ජම්පටාවීදිය මුල්කොට අවට බලය පැතිරූ එඩ්වඩ් මේරි සෙල්වි හෙවත් කුඩු සෙල්වි නමැති කාන්තාවයි. කොරෝනා වසංගතයෙන් පසු බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඍජු අධීක්ෂණයෙන් සිදු කෙරෙන පාතාලය සහ මත් ජාවාරම් මෙරටින් අතුගා දැමීමේ ක්‍රියාන්විතයේදී මේ වන විට මහා පරිමාණ මත් ජාවාරම්කාරියන් සහ පාතාලය සමඟ ඍජුව සබඳතා පැවැත්වූ ප්‍රබල ගණයේ අපරාධකාරියන් දහයකට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවටගෙන ඇති බව වාර්තා වේ.
මෙකී ජාවාරම් සඳහා ළාබාල වයසේ පසුවන තරුණියන්ගේ සිට වයස අවුරුදු පනහ ඉක්මවූ කාන්තාවන්ද සම්බන්ධ වී ඇත. රටේ විවිධ පළාත්වලින් මෙකී කාන්තාවන් අත්අඩංගුවට පත්වන්නේ මත්ද්‍රව්‍ය සහ ලක්ෂ ගණනින් මුදල් සහ දේපළ ද සමඟිනි. ගෙවී ගිය සතියේ දකුණේ පාතාලයේ ප්‍රබලයෙක් වීමට වලි කන දැනට බූස්ස බන්ධනාගාරයේ සිටින ජනිත් මධුශංඛ ද සිල්වා හෙවත් පොඩි ලැසීගේ මව වන 52 හැවිරිදි දිල්ෂානි තනෝජා අත්අඩංගුවට පත් වූයේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් පරිහරණය සම්බන්ධයෙනි.
පෑලියගොඩ පිහිටි බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී පොඩි ලැසීගේ මව අත්අඩංගුවට ගනු ලැබූවේ පන්නිපිටිය මාකුඹුර අධිවේගි පිවිසුමට ආසන්න මායා මාවතේ තුන්වන පටුමගේ තුට්ටු තුනකින් යුත් සුවිසල් නිවෙසක සැඟවී සිටියදීය. රුපියල් 51,000ක්, ජංගම දුරකථන පහක්, බැංකු පොතක් සමඟ අත්අඩංගුවට පත් ඇය පොලීසියට කියා තිබුණේ, “පොඩි ලැසි කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සමයේ පුවත්පතක පළවූ දැන්වීමක් මඟින් මෙකී නිවෙස සොයාගෙන ඇති බවයි. වීඩියෝ දුරකථන ඔස්සේ සම්බන්ධ වෙමින් මීට මාස හතකට පමණ පෙරදී අදාළ සුවිසල් නිවෙස මිලදී ගැනීමට කටයුතු කළ බවයි. ඒ සඳහා ලැසී නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් මිලදීගෙන තිබූ අවුඩි වර්ගයේ රථයක් සහ තවත් රථයක් විකුණා කෝටි එකහමාරක මුදලක්ද ලබාගෙන ඇති බවයි. අනාවරණය වන පරිදි පොඩි ලැසි නමැත්තා අපරාධකාරයෙකු වීමේ තිරය පිටුපස සිටි තැනැත්තියද මෙකී කාන්තාව බවයි.
මේ අතරේ පසුගියදා තවත් මහා පරිමාණ මත් ජාවාරමක ප්‍රධාන හවුල්කාරියක වූ ඇඟලුම් සේවිකාවක ලෙස රැකියාව කළ මිනුවන්ගොඩ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට මීගමුව නොවිසඳුණු අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක ප්රමුඛ පොලිස් කණ්ඩායමට හැකි විණි.
ඇය 37 හැවිරිදි වියේ පසුවන මිනුවන්ගොඩ, වෑගොවුවේ පදිංචිකාරියකි. නදීකා සමන්ති නමැති ඇය දැනට රටින් පැනගොස් සිටින පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට මාකඳුරේ මධුෂ්ගේ පාර්ශ්වයට සහාය දුන් මීගමුවේ නවාස් නමැත්තා මෙහෙයවූ එම මත්ද්‍රව්‍ය ජාවාරම තවත් සැකකරුවකුද සමඟ මෙරට සිට මෙහෙයවා ඇති තැනැත්තියයි.
එම ජාවාරමට සම්බන්ධව ඇයගේ නමින් මීගමුවේ පෞද්ගලික බැංකුවක පවත්වාගෙන ගිය ගිණුමක මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ රුපියල් දෙකෝටි තිස්එක් ලක්ෂයක මුදලක් සැරිසරා ඇති බව අනාවරණය වේ. මේ වන විට මත් ජාවාරම්වලට සම්බන්ධව මෑත දිනවලදී කාන්තාවන් වැඩිම දෙනෙක් අත්අඩංගුවට පත්වූයේ දෙහිවල, අත්තිඩියේ මහා පරිමාණ මත් ජාවාරම්කාරයෙක් ලෙස ප්රකටව සිටි දැනට බූස්ස බන්ධනාගාරයේ පසුවන මර්වින් ජානාගේ ඥාති හිතෛෂින්ය.
ගෙවී ගිය සතියේ මර්වින් ජානාගේ මත් ජාවාරමට සම්බන්ධ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නියාමකවරියක් ලෙස කටයුතු කළ තිළිණි විජේරත්න නමැති කාන්තාව අත්අඩංගුවට ගනු ලැබූයේ දෙහිවල පොලිස් නිලධාරින් විසිනි. මර්වින් ජනාගේ මහප්පාගේ දියණියක වන සැකකාරිය බොරලැස්ගමුව, දේවාලමුල්ල, පළමු පටුමඟේදී අත්අඩංගුවට පත්වූයේ වෑන් රථයක්ද සමඟිනි. ඇයගේ බැංකු ගිණුම් පරීක්ෂාවේදී වසර තුනක් වැනි කාලයකදී ගිණුම් පහකින් දාහතර කෝටියකට අධික මුදලක් සංසරණය වී ඇති බවයි.
බොරලැස්ගමුව, රත්මලාන, දෙහිවල ඇතුළු ප්‍රදේශ කිහිපයකටම මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකර ඇති ඇය තිදරු මවකි.
මීට දින කීපයකට පෙර එනම් පසුගිය 14 වැනිදාද මර්වින් ජානාගේ වැඩිමහල් සහෝදරිය වන මනෝරි රන්දිමා හෙවත් අක්කා නමැති කාන්තාවද අත්අඩංගුවට පත්වූවාය. පසුගියදා හෙරොයින් කිලෝග්‍රෑමයක් සමඟ මොරගහහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් යුවළකගෙන් හෙළිවූ තොරතුරු මෙකී ජාවාරම්කාරිය ඇතුළු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක සුලමුල අනාවරණය කරගැනීමට මුල් විය.
මෝටර් රථයක්ද සමඟ අත්අඩංගුවට පත් ඇයගේද බැංකු ගිණුම් පහක වසර තුනක් වැනි කාලයකදී රුපියල් මිලියන 306ක මුදලක් හුවමාරු වී ඇති බව දෙහිවල පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වේ.
මේ අතර පසුගිය 12 වැනිදා බොරැල්ල පොලිසිය සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මෑත අතීතයේ සිටම මත් ජාවාරමට ප්‍රකට කොළඹ නගරයේ බොරැල්ල සින්න දූපතේ වැටලීමකින් තවත් කාන්තාවක අත්අඩංගුවට පත්වූවාය. මත් ජවාරමට අතීතයේ සිටම සබඳතා පැවැති පවුලකින් පැවැත එන ඇය 39 හැවිරිදි සුදර්ශනි ලසන්තා බොතේජු හෙවත් අමාලි නම් වූවාය. අමාලි රැඳවුම් නියෝග මත රඳවා බොරැල්ල පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී බන්ධනාගාරගතව සිදු කෙරෙන හෙරොයින් ජාවාරමක සුලමුලද අනාවරණය වී තිබේ. එ
කී මත් ජාවාරමේ මුදල් කළමනාකරණය කරමින් සුඛෝපභෝගි දිවියක් ගතකර ඇති සැකකාරිය සතුව මැගසින් පාරේ නිවෙසක සඟවා තිබී මෝටර් රථයක් සහ යතුරුපැදියක්ද සොයා ගැනීමට පොලිසියට හැකි විණි.
මෙලෙස මත් ජාවාරම්හි නිරතව අත්අඩංගුවට පත් කාන්තාවන් අතර කොට්ටාව පොලිසිය කාන්තාවක අත්අඩංගුවට ගත්තේ වෑන් රථයක්ද සමඟිනි. 39 හැවිරිදි එක්දරු මවක් වන ඇය වසරකට පමණ පෙරදී බණ්ඩාරවෙල සිට කොට්ටාව ප්‍රදේශයට පැමිණ කුලී නිවෙසක වාසය කරමින් ඇඳුම් මසන රැකියාවක් කරන බවට ව්‍යාජ රඟපෑමක් සිදුකොට කුඩා දරුවාද වෑන් රථයේ නංවාගෙන යමින් මත් ජාවාරම ගජරාමෙට කරගෙන ගොස් තිබුණාය. පසුගියදා පිළියන්දල ප්‍රදේශයේදී තරුණ කාන්තාවන් දෙදෙනෙක්ම සිය ස්වාමියන් සමඟ මත් ජාවාරම්හි නිරතව සිටියදී අත්අඩංගුවට ගැනීමට මොරටුමුල්ල පොලිසියට සහ කොළඹ අපරාධ කොට්ඨාසය නිලධාරින්ට හැකි විණි. මොරටුමුල්ලෙ යුවළක් පිළියන්දල සුවාරපොළ නිවෙසක් කුලියට ගෙන මත්ද්‍රව්‍ය පැකට්කොට ජාවාරමේ නිරත වන බවට මොරටුමුල්ල පොලිසියට ලද තොරතුරක් මත එම යුවළ අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙලෙස කොළඹ අවට මහා පරිමාණයෙන් සිදුවන මත් ජාවාරම් සඳහා කාන්තාවන් ඍජුවම සබඳතා පවත්වා ඇති බව හෙළි වෙද්දී පසුගියදා හෝමාගමදී අත්අඩංගුවට පත් කොස්ගොඩ තාරකට අයත් බවට සැලවෙන ගිනිඅවි තොගයට සබඳතා පැවැත්වූ කාන්තාවක්ද අත්අඩංගුවට පත් වූවාය. හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට පත් නුවනි විවේකා නමැති 32 හැවිරිදි එම කාන්තාව ගිනිඅවි 12ක් සොයා ගැනුණු පස්මහල් ගොඩනැඟිල්ලේ හිමිකරුවා වන කෞශල්‍ය නමැත්තාගේ අනියම් බිරියක ලෙස සිටි කාන්තාවකි. ඇය කොස්ගොඩ තාරකට අයත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පිටිපන සිල්වර්හස්ට් වත්තෙ නිවෙසක සඟවාගෙන සිටි බවට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගැනිණි.
එසේම අපරාධ මැඬලීමේ මෙහෙයුම ආරම්භයේදීම කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් පරිපාලනය කළ ලක්මිණි ප්‍රියදර්ශනී නමැති කාන්තාවක්ද සපුගස්කන්ද ප්‍ර දේශයේ ආරක්ෂිත නිවස්නයක සිටියදී අත්අඩංගුවට ගැනුණාය. ඇය හෙරොයින් ජාවාරමෙන් ලැබෙන අතිවිශාල මුදල් කන්දරාව දවල් කාලයේදී එකතුකොට රාත්‍රී කාලයේදී ගණන් බලා කොස්ගොඩ තාරක දෙන උපදෙස් මත අදාළ ස්ථානවලට හෝ නිවෙස්වලට රැගෙන ගොස් දෙන බව පොලිසිය අනාවරණය කර ගත්තේය. පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්ද සමඟ ඇයව අත්අඩංගුවට ගැනුණේ මත්කුඩු සමඟ වැගන්ආර් රථ තුනක් සමඟිනි.
මෙලෙස මත් ජාවාරම්හි නිරත පාතාල අපරාධකාරයන් සමඟ සබඳතා පවත්වන කාන්තාවන් කොතෙක්ද යන්න නිශ්චිතව කිව නොහැකිය. එහෙත් සක්සුදක් සේ පැහැදිලි වන්නෙ පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය මත්ද්‍රව්‍ය සහ පාතාලය මෙරටින් අතුගා දැමීමට සිදු කරන අඛණ්ඩ මෙහෙයුම් මඟින් මෙකී කුමාරිහාමිලාට ලගින්නට සිදුවන්නෙ මහ උළු ගෙදර බවනම් මනා සේ පිළිබිඹු වේ.
උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත
