Gossip

රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය ගායන ශිල්පිනී ශෂිකා නිසංසලාගේ ජීවිතය අලුත් වුණු හැටි

සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ ගායක ගායිකාවෝ පිවිසෙති.
ඇතැමුන් එන වේගයෙන්ම ක්ෂේත්‍රයෙන් බැස යන අතර තවත් පිරිසක් හැමදාමත් ජනප්‍රියත්වය එකලෙස තබා ගනිමින් කලාවේ නියැළෙති.
මෙවැනි කලාවක නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාවට හිමි ජනතා සම්මානය දිනාගන්නට ගායන ශිල්පිනී ශෂිකා නිසංසලාට හැකිවී තිබෙනවා.
නොකඩවා වසර හතරක් People’s Female Singer of the year සම්මානයට හිමිකම් කියන ඇය 2019 වසරේත් SLIM – Nielsen People’s Award ජනතාවගේ ජනප්‍රියම ගායිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබූවා.

සිව්වැනි වරටත් ජනතාවගේ ගායිකාව ඔබයි..
ඔව්. නොකඩවා වසර හතරක් ජනතා සම්මානයට උරුමකම් කියන ගායිකාව වුණා. ඒ ගැන ගොඩක් සතුටුයි.

වසර හතරක්ම සම්මානය ඔබ සතු කරගෙන තබා ගන්නෙ කොහොමද?
ඒක ඉතාම අසීරු කරුණක්. කලාවේ අනෙක් ක්ෂේත්‍රයන්ට වගේම ගායන ක්ෂේත්‍රයටත් කාලෙන් කාලෙට අලුත් අලුත් මුහුණු එනවා.
ඒ අය වේගයෙන්ම ජනතාව අතරට යනවා වගේම ඇතැමුන් ඒ වේගයෙන්ම ජනතාවගෙන් දුරස් වෙනවා. එහෙම තත්වයක මගේ ජනප්‍රියත්වය වසර ගණනක් එකලෙස රැඳුණෙ නිකන් ඉඳලා නෙමෙයි. බොහොම දුක් විඳලා. අසීරුතා ගොඩක් මැද නිර්මාණවල නිරත වෙලා.

ඔබ මෙම සම්මානයට මුලින්ම හිමිකම් කියුවේ 2016 වසරේදි..
ඔව්. ‘ඇස්පිය නොහෙළා බැලුවා‘ ගීතය තමයි එයට ගොඩක්ම බලපෑවේ. එම ගීතය වයස අවුරුදු හතර , පහේ දරුවන් අතර පවා ජනප්‍රිය වුණා.
මට මතකයි වරක් අවුරුදු පහක විතර දරුවෙක් මගේ ළඟට ඇවිත් ඔය ගීතය ලස්සනට ගායනා කරලා මට ආදරය ප්‍රකාශ කළා.
දරුවො විතරක් නෙමෙයි සියලුම වයස්වල අය එම ගීතය ඉතා ආදරයෙන් වැලඳගත්තා. ඒ ජනප්‍රියත්වය මම නොකඩවා රඳවා තබා ගත්තා .

ශෂිකා නිසංසලා කියන්නෙ ජනප්‍රියත්වය පිටුපස යන ගායිකාවක්ද?
කවදාවත් නැහැ. ඒත් මම දන්නෙ නෑ මගේ පිටුපස ජනප්‍රියත්වය එන්නෙ ඇයි කියා.
මම කරන නිර්මාණ විවිධයි. ඒවා සරල, ටෙලි නාට්‍ය, සම්භාව්‍ය, ජනප්‍රිය ගීත වශයෙන් බෙදා දක්වනවා.
ඒ අනුව වසරකට එක් ක්ෂේත්‍රයකින් එක් නිර්මාණයයි කරන්නෙ. ඒ අතරින් ජනප්‍රිය රටාවේ ගීත වසරකටම කරන්නේ එකයි. ඒ එක නිර්මාණය තමයි රසිකයන් ඉතා ආදරයෙන් වැලඳ ගන්නේ. එහෙම නැතුව ජනප්‍රිය වෙන්න හිතාගෙන රැල්ලට නිර්මාණ කරන්නේ නෑ.

‘තුරුණු ශක්ති‘ වේදිකාව මතකයිද?
හොඳට මතකයි. පාසල් කාලයේ සිටම ළමා ගායිකාවක ලෙස ගීත ගායනා කරමින් සිටිය මම 99 වසරේ දී තුරුණු ශක්ති වේදිකාවට ගොඩවුණා.
එතැනින් ජයග්‍රහණය ලබා පසුව ප්‍රසිද්ධ වේදිකාවට එනවා. එදා සිට මේ දක්වා වසර විස්සක් ප්‍රවීණයන්ගේ සහාය ඇතිව කලාවේ සාර්ථක ගමනක් යනවා.

කවුරුද සාර්ථක ගමන පිටුපස ඉන්නෙ..
මගේ තාත්තා, අම්මා, සොහොයුරා සහ සැමියා මා වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරනවා.
ඔවුන් මාව ගෙදරින් නිදහස් කරන්නේ දරුවන්ගේ සියලු වගකීම් ඔවුන් භාරගෙන. මගේ තාත්තා මා කුඩා කාලයේ සිටම මාව ගායිකාවක් කිරීමට බොහෝ වෙහෙස මහන්සි වුණා.
ඔවුන් මට හොඳ අධ්‍යාපනයක් දී මේ තැනට ගේන්න දිවා රෑ නොබලා ගොඩක් වෙහෙසුණා.
දැනටත් මවුපියන් මගේ පිටුපස සිටිමින් මගේ දරුවන් රැක බලාගන්නවා. ඔවුන් නිසයි අදවන විට මා මවක්, ගෘහණියක්, බිරියක්, ගායිකාවක් යන භූමිකා සාර්ථකව කරන්නේ. ඒ වගේම ගී පද රචකයන්, සංගීතඥයන් මෙන්ම රසික රසිකාවන් ආදරයෙන් සිහිපත් කරනවා.

ඉදිරි නිර්මාණ මොනවාද?
ඉදිරියේදී වෙනස් ආකාරයේ ගීත ගායනා කිරීමේ බලාපොරොත්තුවක් තිබෙනවා. හැමදාමත් මගේ ගීතයකට මම සෑහීමට පත්වුණොත් පමණයි එය රසිකයන් අතරට යවන්නෙ.
මේ වනවිටත් අලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කරගෙන යනවා. එම ගීත ඉදිරියේදී අසන්න ලැබෙයි.

 

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!