Gossip

“මගේ හෘද සාක්ෂියට එකඟව මම දන්නවා වුණේ මොකක්ද කියලා, මිනිස්සු දන්නේ ඒ කතාවෙන් හතරෙන් එකක් විතරයි” – සිද්ධ වුණු දේ ගැන ශලනි හෙළි කරයි

සිය රංගන හැකියාවෙන් රසික ආදරය දිනාගත්තු රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා.
ඇය ගැන පසුගිය කාලේ ලොකු කතාබහකට ලක්වුණේ සියදිවි නසාගත් ජනප්‍රිය තරුණ නළු දසුන් නිසා.
පසුගිය දිනවල ශලිනි රචනා කළ ගීතයකටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවුණා.
ඒ දේ ගැනක් ශලනිගේ අලුත්ම විස්තර ගැනත් ඇය සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා.

කොහොමද ජීවිතේ?
වරදක් නැහැ. හොඳින් ජීවිතය ගෙවිලා යනවා.

නිහඬව ඉඳපු ශලින් එක පාරටම කරළියට ආවෙ චරිත කිහිපයකින්?
ඇත්තටම නිහඬව හිටපු කාලේ නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. ඒ අතරින් කිහිපයක් ප්‍රතික්ෂේප කළා.
මොකද මම දීර්ඝ ටෙලිනාට්‍ය වල රඟපාන්න අකමැතියි. ඒත් ඒ කාලෙදි හොඳ නිර්මාණ කිහිපයක්ම මම භාර ගත්තා. ඒවා තමයි මේ දවස්වල කරගෙන යන්නේ.

රංගනයෙන් නිහඬවෙලා හිටපු කාලේ නිවේදනය පැත්තට හැරුණේ ඇයි?
කලාවෙන් ඈත් වෙලා හිටපු කාලේ මම කාර්ය බහුල වුණේ නැහැ.
ඒක නිසා මට හිතුණා නිවේදනයට කාලය වෙන් කරන්න.
ඒ වෙනකොට රූපවාහිනී වැඩසටහනක නිවේදන කටයුතු කරමින් සිටි නිසා ඒ කාලය මාව නිවේදනය පැත්තට යොමු කළා.
දන්නෙම නැතුව ඒ වැඩත් එක්ක කාලය ගතවෙලා ගියා. රංගනය අමතක වෙලා ගියා.

ශලිනි එකපාරටම ගීත රචනා පැත්තටත් හැරුණා කියලා ආරංචියි?
මගේ පළමුවෙනි ගීතය “යළි හමුවෙමු“. හිතුවටත් වඩා ලොකු ප්‍රතිචාරයක් ඒකට ලැබුණා. නිරෝෂා අක්කගේ හඬ ඒ ගීතයට නියම සාධාරණයක් කළා කියලා මම හිතනවා.
ගොඩක් අය මට ලියන්න පුළුවන් කියලා දැනගෙන හිටියේ නැහැ.

ඔබේ දෙවෙනි ගීතයත් මේ වන විට නිර්මාණය කරලා අවසන්?
ඔව්. “ඔබ මා හමුවන දිනේ“ කියලා තමයි ඒ ගීතය ලිව්වේ. පසන් ලියනගේ තමයි ගීතය සංගීතවත් කළේ.
ඒ ගීතයත් ඉක්මනින්ම රසික රසිකාවියන්ට අහන්න දෙනවා.

මේ ප්‍රේම ගීතවල, විරහ ගීතවල ශලිනිගේ අත්දැකීම් නැහැ කියන්න බැහැ නේද?
ඔව්. දෙයක් ලියන්න මොකක් හෝ අත්දැකීමක් තියෙන්න ඕනෙ. ගීතයේ සමහර දේවල්වලට මගේ අත්දැකීම් එකතු කරලා තියෙනවා.

රඟපානවා, නටනවා, නිවේදනය කරනවා, සින්දු ලියනවා. ශලිනිට ඉතුරුවෙලා තියෙන්නේ එක දෙයයිනේ?
ඔයා අහන්නේ සින්දු කියන්න අදහසක් නැද්ද කියලනේ. බුදු අම්මෝ.. නැහැ. ඇත්තටම මට සින්දු කියන්න බැහැ.
ඒ වෘත්තියට දක්ෂ අය ඕන තරම් රටේ ඉන්නවා. මම බැරි වැඩ කරන්න යන්නේ නැහැ.

රංගනයෙන් නිහඬවුණු ශලිනි පසුගිය කාලයේ සින්දු ලියන්න පෙළඹුණේ මනස සැහැල්ලු කරගන්නද?
ඇත්තටම ඔව්. හිතට දැනුන දුක සතුට හැමදේම මම ලිව්වා.
මට ටික කාලෙකට හැම දේකින්ම ඈත් වෙලා ඉන්න ඕනි වුණා. රඟපාන්න ඕනෙ නැහැ කියලා හිතුණා.
ඒ දවස්වල මම කළේ කවි සින්දු නිසඳැස් ලියපු එක. එක අවුරුද්දකට ගීත දෙකක් විතර මගෙන් අහන්න ලැබේවි.

පසුගිය කාලයේ ගැහැණු ළමයෙකුට දරා ගන්න බැරි චෝදනා, හිත් රිදවීම්වලට ඔබට මුහුණදෙන්න සිද්ධ වුණා?
ප්‍රශ්නයක් ආවම අපිව ශක්තිමත් කරන මිනිස්සුන්ට වඩා ඉන්නේ අපිව වට්ටන මිනිස්සු.
පහුගිය කාලේ මිනිස්සුන්ව මම හොඳට අඳුරගත්තා. ඇත්තටම මට කියලා ඉන්නේ කවුද කියලා මම දන්නවා.
මට දැන් යාළුවෝ කීපදෙනයි ඉන්නේ. ඒ වුණාට ඒ කීප දෙනාට මං පණ වුණත් දෙනවා.
කිසිම දෙයක් ගැන නොදැන චෝදනා කරන එක හරිම වැරදියි. ගෑණු ළමයෙක් විදිහට හැමදේම දරාගෙන මනස ශක්තිමත් කර ගත්තා.
ඒ දේවල් මම නැවත අවුස්සන්න කැමති නැහැ. මිනිස්සු දන්නේ ඒ කතාවෙන් හතරෙන් එකක් විතරයි. මේ කතාව අපි මැරෙනකන්ම සම්පූර්ණ වෙන්නේ නැහැ.

බොහෝ අය නිහඬව ඉන්න එකෙන්ම ඔබව වැරදිකාරිය කළා. කොහොමද මේ තරම් චෝදනා එද්දි හිත හදාගත්තේ?
හිත හදාගත්තේ මිනිස්සු මට ගහපු ගල්වලින්ම තමයි.
මාව වැටුණොත් ගොඩ ගන්න කවුරුත් නැහැ. මගේ ශක්තිය මමමයි කියලා මේ ප්‍රශ්නෙදි මම තේරුම් ගත්තා.
මගේ හෘද සාක්ෂියට එකඟව මම දන්නවා වුණේ මොකක්ද කියලා. මේ කතාවේ අගමුල දන්න අයත් ඒක හරියටම දන්නවා.
මගේ අතින් වරදක් වෙලා තිබුණා නම් ප්‍රතිචාර දක්වන්නේ මීට වඩා වෙනස් විදිහකට.
ඇත්තටම ඔය ප්‍රශ්නෙදි මට විවිධ චෝදනා කරද්දි මාව නොමරා මරද්දි මට හයියක් වුණු මාව ආරක්ෂා කරපු මේ ක්ෂේත්‍රයේ හිටියේ ටිකදෙනයි. දාහක් මට ඇඟිල්ල දික්කරද්දි දහ දෙනෙක් වගේ තමයි මාව ආරක්ෂා කළේ. දිනක්ෂි, අසේකා, චන්න අයියා, හේමාල්, කාවිංග, සාරංග අයියා, දමිතා අක්කා හැම වෙලාවේම මාව ඇවිත් බලලා ගියා.
කාලයත් එක්ක හිත හදාගන්න ඒ අය මට උදවු කළා.
ඒ අයටත් මම නිසා මඩ ප්‍රහාර එන්න පටන් ගත්තා. එකම ක්ෂේත්‍රයේ එහෙම යාළුවෝ හරි අඩුයි. මට ඇඟිල්ල දික්කරපු කා එක්කවත් මගේ තරහක් නෑ. ඒ කාටවත් මම වැරදි කියන්නේ නැහැ. මම එදා ඒ දේවල්වලට උත්තර නොදුන්නේ ඇත්ත නොදන්න අය එක්ක මෝඩයෝ වගේ කෑ ගහන්න බැරි නිසා.

ඇයි ශලිනි මාධ්‍ය ප්‍රතික්ෂේප කළේ?
පත්තර කිහිපයක්ම මට මඩ ගැහුවා. එදා මට මාධ්‍යයත් එපා වුණා. ඇත්තටම අපිට ප්‍රේක්ෂකයින් අතරට එන්න උදවු කළේ මාධ්‍යය.
ඒවා මට අමතක නැහැ. මම මාධ්‍යයට ගොඩක් ගරු කළා. ඒත් ඒ සිද්ධි එක්ක මාධ්‍ය ගැන මට කලකිරුණා. මඩගහන පත්තරවලට මං උත්තර බඳින්නේ මොකටද කියලා මම සියළුම මාධ්‍යන් ප්‍රතික්ෂේප කළා.
අදටත් මම කතා කරන්නේ පුවත්පත් කීපයකට විතරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!