Gossip

27 රෑ ඩැඩාට ඔස්ට්‍රේලියාවට යන්න තිබුණා – මම ඩැඩාට අන්තිමට කිව්වේ ගෝඩ් බ්ලෙස් ඩැඩා කියලයි – රොනී ලීච්ගේ පුතු හඬ අවධි කරයි

ඔබේ පියාගේ හදිසි අභාවය ඔබට වගේම ගෙදර අයටත් විශාල කම්පනයක් ඇති කරවන්න ඇති? කොහොමද ඔබ මේ වෙලාවේ හිත සන්සුන් කරගෙන ඉන්නේ?
මෙහෙමයි, අම්මා නම් තවමත් ඉන්නේ කම්පනයෙන්. ඩැඩාගේ මරණය ගැන කියන්න මුලින්ම දුරකථන ඇමතුම ආවේ මටයි. ඒ වෙලාවේ නම් මට මුකුත් හිතාගන්න බැරිව ගියා. ඒත් මම පල්ලියත් එක්ක ගොඩාක් සම්බන්ධ කෙනෙක් හින්දා හිත හදාගෙන තවමත් කඳුළක් නොහෙලා ඉන්නවා. දෙවියන් වහන්සේ ඩැඩාව කැඳවා ගත්තා. මරණය අපි හැමෝටම ‍පොදුයි. මම ඒ සත්‍යය වටහාගෙන නිහඬව වේදනාව දරාගෙන ඉන්නවා.

ඔබේ පියා ඕස්ට්‍රේලියාවේදී අවසන් හුස්ම හෙලූ නිසා දේහය ශ්‍රී ලංකාවට ගෙනවිත් අවසාන කටයුතු සංවිධානය කළේ කොහොමද?
ඩැඩා මේ රටේ විශේෂ කෙනෙක්. මේ විපත සිදු වුණ වෙලාවේ ඉඳන් ඩැඩාගේ සිරුර ලංකාවට ගෙනෙන්න උදව් කරන්න ඒ රටේ බොහෝ අය කතා කළා. ඒ හැමෝටම ස්තූතියි. ඒත් ඕස්ට්‍රේලියාවේ නීති අපට වඩා ගොඩාක් වෙනස්. 10 වැනි බදාදා ඩැඩාගේ සිරුර ලංකාවට ගෙනාවා. එදා දවල් ඉඳන් 11 වෙනිදා දහවල් වෙනතුරු ජයරත්න මල් ශාලාවේ ඩැඩාගේ සිරුර තැන්පත් කර තිබුනා. ඉන්පසු දෙහිවල පල්ලියේ දේව මෙහෙය පවත්වලා ගල්කිස්ස සුසාන භූමියේ තමයි අවසන් කටයුතු කළේ.

මේ මොහොතේ කිශාන්ට ඔබේ ආදරණීය පියා පිළිබඳ මතකය අවදි වනවා ඇති?
මේ ලෝකේ හොඳම තාත්තා තමයි මගේ ඩැඩා. කිසිම දවසක ඩැඩා අක්කටවත් මටවත් පාරක් ගහලා නැහැ. ඒ වගේම ගෙදර ඉද්දී හරිම විනෝදෙන් තමයි හිටියේ.

කිශාන් දකින රොනී ලීච්ගේ විශේෂම ගුණාංගය මොකක්ද?
ඩැඩාගේ මා දකින විශේෂම ගුණාංගය තමයි මිනිස්සු දිහා සුබවාදීව බලන එක. හැම කෙනෙක්ගෙම හොඳක් තියෙනවා. ”මිනිස්සු තුළ තියෙන හොඳ පැත්ත බලන්න” කියන අවවාදය ඩැඩා නිතරම අපට දුන්නා. දරුණු කෙනෙක් ගැන පත්තරේක ආටිකල් එකක් පළවෙලා තිබිලා ඒ ගැන කතා වෙනවා ඇහුණත් ඩැඩා කියනවා” ඒ මනුස්සයා ඒ තත්ත්වයට පත්වෙන්න හේතු ඇති’ කියලා.

ඔබගේත් ඔබ සොයුරියගේත් විවාහයන් ගැන රොනී මොන විදියේ අදහසක්ද දැරුවේ?
ඩැඩා මගේ අම්මව විවාහ කරගෙන තියෙන්නේ ආදර සම්බන්ධයකින්. අක්කගේ විවාහය වුණේ ප්‍රේම සම්බන්ධතාවකින්. ඩැඩා අක්කගේ පෙම් සම්බන්ධතාවය දැනගත්තට පස්සේ කිසිම විරෝධතාවක් දැක්වූයේ නැහැ. මටත් උපරිම නිදහස දීලා තිබුණේ කැමති කෙනෙක් හොයා ගන්නයි.

රොනීගේ අඩුව පුරවන්න ඔහුගේ දරු දෙදෙනාගෙන් කෙනෙක් මතු දාක කලාවට එනවාද?
අක්කටවත්, මටවත් ඩැඩාට තරම් සුවිශේෂ ගායන හැකියාවක් නැහැ. ඒ හින්දා අපි ඊට යොමු වන්නේ නැහැ. මම පුංචි කා‍ලේ වෙළෙඳ දැන්වීම් කීපයක හිටියත් දැනට ටුවරිසම් සම්බන්ධ ආයතනයක ගොඩාක් කාර්ය බහුල රැකියාවක් කරනවා. ඒ හින්දා රඟපෑම ගැන හිතන්න වෙලාවක් නැහැ. දෙවියන් වහන්සේගේ තීරණය අනුව මට රඟපෑමට එන්න සිදුවනවා නම් හැබැයි ඒක වළක්වන්නත් බැහැ. කාලය ඔය ප්‍රශ්නයට උත්තර දේවි.

ඔබේ පියා සමග එකට ගෙවූ අවසන් හෝරා කිහිපය ඔබට මතකද?
ඒක ජීවිත කාලයටම අමතක වෙන්නේ නැහැ. 27 රෑ ඩැඩාට ඔස්ට්‍රේලියාවට යන්න තිබුණා. ඊට පැය කිහිපයකට පස්සේ මට දඹුල්‍ලේ යන්න තිබුණා. 27 හවස ගෙදර හැමෝම දෙවියන්ට යාච්ඤා කළා. පාන්දර ඩැඩා පිටත් වුණා. ගෝඩ් බ්ලෙස් ඩැඩා කිව්වා. ඊට පස්සේ දුරකථනයෙන්වත් අපිට කතා කරන්න ලැබුණේ නැත්තේ මම පහුවදා මගේ වැඩේට ගිය හින්දා. මම ඩැඩාට අන්තිමට කිව්වේ ගෝඩ් බ්ලෙස් ඩැඩා කියලයි.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!