Gossip

හොඳටම වෙරිවී සිටි යතුරුපැදිකරු පොලිස් නිලධාරියෙක් යැයි සිතා මාර්ග කම්කරුවාට පගාවක් දෙයි

මත්පැන් බීමට තදින් ඇබ්බැහි වී ඇති අයෙකු ප්‍රදේශයේ මත්පැන් හිඟය නිසා අල්ලපු ගමකට ගොස් හොඳ හැටි පදම් වී නැවත ආපසු එන විට පොලීසිය යැයි රැවටී මාර්ග කම්කරුවෙකුට රුපියල් දෙදහසක සන්තෝෂමක් දුන් පුවතක් රත්නපුරයට ආසන්න ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

එම පුද්ගලයා පෙදරේරුවෙක්. මේ දිනවල වැඩ අධික බැවින් හොඳින් මිල මුදල් අතේ ගැවසෙයි.

දරුමල්ලන්ට අවශ්‍ය අහාරපාන ඇතුළු අවශ්‍යතා වෙනුවෙන් වියදම් අවම ලෙස සිදුකළත් මත්පැන්වලට නම් ඔහු අත දිගහැර වියදම් කිරීමට පසුබට නොවේ.

මේ හේතුවෙන් නිතර නිතර නිවසේ දෙමහල්ලන් අතර ප්‍රශ්න ඇති වුණා.

බිරිඳට අවශ්‍ය වූයේ ඔහු මත්පැන්වලින් බේරාගැනීමට වුවත්, ඔහු බිරිඳට දරුවන්ට වඩා ආදරය කළේ මත්පැන්වලටයි.

ඔහු පදිංචි ප්‍රදේශයේ තාවකාලික මත්පැන් හිඟයක් ඇතිවූයේ මත්පැන් සඳහා ඇතිවුණු අධික ඉල්ලුම හේතුවෙන්.

දිනක් ඔහුට මත්පැන් සොයාගැනීම අතිශය දුෂ්කර වී තිබුණා. එහෙත් ඔහු උත්සාහය අත්හැරියේ නැහැ.

මිතුරෙකුගේ උපදෙස් මත ඔහු යතුරුපැදියෙන් මත්පැන් සොයා ගෙන ආසන්නයේ පිහිටි ගමකට ගියා.

එහිදී ඔහු වැඩි මුදලක් ලබාදී ගත් මත්පැන් එම ස්ථානයේ සිටම පානය කළා.

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මේ දිනවල ජල නළ එළිමේ ව්‍යාපෘතියක් සිදුකරමින් තිබෙනවා.

එහි නඩත්තුව සිදුකරන දෙපස කම්රුවන් දෙදෙනක් රාජකාරියට යොදවා සිටියේ රථ වාහන පාලනයට. පදමට වෙරි වී සිටි පෙර කී පුද්ගලයා නැවත නිවසට යාමය මෙම නඩත්තු කටයුතු සිදුකරන ස්ථානය හරහා යාමට පැමිණියා.

වාහන හැසිරවීමට යොදාසිටි කම්කරුවා තම අත තිබූ නළාව නාදකර අදාළ යතුරුපැදිය නතර කිරීමට ඔහුට අණ කළා.

ඒ අවස්ථාවේ පැවැති සුළු වැස්ස හේතුවෙන් එම කම්කරුවා වැසි කබායක්ද පැලඳ සිට තිබෙනවා.

බීමත් පුද්ගලයා සිතා ඇත්තේ තමා මත්පැන් පානය කර යතුරුපැදිය ධාවනය කරන බව තේරුම් ගෙන පොලිස් නිලධාරියෙකු තම යතුරුපැදිය නැවැත්වීමට කටයුතු කළ බවයි.

යතුරුපැදිය මාර්ගය අයිනේ නැවැත්වූ ඔහු වෙරි මරගාතේ පොලිස් නිලධාරියෙකු බව සිතූ මාර්ග කම්කරුවා අසලට ගොස් පවසා ඇත්තේ, “සර් අද ටිකක් බිව්වා තමයි, ඒත් දඩ නොගහා මට යන්න දෙන්න,” ලෙසයි.

ඒ සඳහා රුපියල් දෙදහසක් ලබාදීය හැකි බවද පවසා තිබෙනවා.

අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මාර්ග කම්කරුවා ඔහුට පවසා සිටියේ, “හා හා ඕක දීලා ඉක්මනින් යනවා,” ලෙසයි.

රුපියල් දෙදහස මාර්ග කම්කරුවා අතට දුන් ඔහු ප්‍රීතියෙන් එතැනින් නික්ම ගොස් ඇත්තේ රුපියල් පනස්දහසේ දඩය රුපියල් පනස්දහසේ දඩය යන්තම් රුපියල් දෙදහසින් අවසන් කරගත හැකි වූ බව සිතමින්.

පසු දිනක ඔහු මෙම ස්ථානයෙන් මත්පැන් පානයෙන් තොරව හොඳ සිහියෙන් යාමට පැමිණ තිබෙනවා.

එවිට ඔහුට වැටහී ගොස් ඇත්තේ තමා එදා පොලිස් නිලධාරියෙකු යැයි රැවටී රුපියල් දෙදහස දී ඇත්තේ මාර්ග කම්කරුවෙකුට බවයි.

(අරුණ පුවත්පතෙන් උපුටා ගැනුණි)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!